Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා නිසා ලොව පුරා ISPලා දැවැන්ත අභියෝගයක

COVID-19 වසංගතයට එරෙහිව නිවසේ සිට සටන් වදින ජනතාව තමන්ගේ එදිනෙදා කටයුතු සඳහාත්, විනෝදය උදෙසාත් අන්තර්ජාලය අධික ලෙස භාවිතා කරන්නට පටන්ගෙන තිබේ. මෙතෙක් කල් WiFi සබඳතා හරහා සිදුවුනු කටයුතු ද දැන් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල මොබයිල් ඩේටා හරහා සිදුවෙමින් පවතී. බොහෝ රටවල් මේ ක්ෂණික භාවිත ඉහළ යාමෙන් පීඩා විඳිමින් සිටියි.

යුරෝපයේ අන්තර්ජාල සේවා සම්පාදකයන් (ISP) වන Comcast, Vodafone, Verizon, Telefónica යනාදීන් වාර්ෂික පරිශීලක සංඛ්‍යා වැඩිවීමට සරිලන සේ ධාරිතා වැඩි කරගන්නා නමුත්, වසරක දී සිදුවන්නට තිබුණු එම වැඩිවීම දවස් කිහිපයකින් සිදුවී තිබිණි.

“අපි 2020 වසර සඳහා සැලසුම් කර තිබුණු ප්‍රමාණය දින 2කින් පිරී ගියා” ස්පාඤ්ඤ විදුලි සංදේශ සමාගමක් වන Telefónica හි ප්‍රධාන තාක්‍ෂණික නිලධාරි එන්රික් බ්ලැන්කෝ NewYork Times සමග කියයි.

COVID-19 නිසා ඇතිවූ අන්තර්ජාල බලපෑම. කොළ පැහැයෙන් වැඩිවීමත්, රතු පැහැයෙන් අඩු වීමත් දැක්වේ (@eastdakota)

දැනට ඇතිව තිබෙන අධික අන්තර්ජාල පීඩනය අඩු කරන ලෙස යුරෝපීය සංගමය කළ ඉල්ලීමට ඇතැම් සමාගම් ප්‍රතිචාර දක්වා ඇත. ගූගල් සමාගමේ YouTube සේවාව ලොව පුරා සිය වීඩියෝවල ගුණාත්මකභාවය 480p දක්වා අඩු කර තිබේ. Disney සමාගම සිය Disney Plus වීඩියෝ සේවාව ප්‍රංශයට හඳුන්වාදීම සති දෙකකින් ප්‍රමාද කළේ ය. Microsoft සමාගමේ Xbox සේවාව පරිගණක ක්‍රීඩා සමාගම්වලින් ඉල්ලා සිටියේ අන්තර්ජාල භාවිතය අඩු වේලාවන්වල දී Updates සහ නව Games එළිදක්වන ලෙස යි.

ISP ආයතනයක් වන AT&Tහි මාර්තු 23 වන දා වන විට පෙර මාසයේ එම දිනයටම සාපේක්ෂව 27%කින් භාවිතය ඉහළ ගොස් තිබිණි. Verizon සඳහා එය මොබයිල් සහ ෆයිබර් සේවාවන් දෙකටම බලපාන ‍සේ 22%ක ඉහළ යාමක් විය. Wi-Fi ඇමතුම් ද දෙගුණයකින් වැඩිව තිබිණි.

වෙනදා රැහැන් වලින් සිදුවුණු භාවිතය දැන් මොබයිල් ඩේටාවලට දරන්නට සිදුව තිබේ (medianama.com)

Telefónica ආයතනය දක්වන පරිදි යුරෝපයේ රැහැන් සහිත අන්තර්ජාල භාවිතයන් 30%කින් ඉහළ ගියේ ය. අන්තර්ජාල ක්‍රීඩා, වීඩියෝ ඇමතුම් දෙගුණ විය. WhatsApp භාවිතය සිව්ගුණයකින් ඉහළ ගියේ ය.

Cisco සමාගම සඳහන් කළේ ඔවුන්ගේ WebEx නමැති වීඩියෝ ඇමතුම් සේවාව වෙත මුලින් ආසියාවෙනුත්, පසුව යුරෝපයෙනුත්, මාර්තු අග භාගයේ දී ඇමරිකාවෙන් 240%කත් ක්ෂණික වර්ධනයක් අත්දුටු බව යි. ඉන් සේවා බිඳවැටීම් ද බෙහෙයිව් සිදුවූ බව එම WebEx හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ශ්‍රී නිවාසන් NY Times වෙත කියා තිබේ.

“ආසියාවේ භාවිත ප්‍රමාණය අඩුවන බවක් නම් පේන්න නැහැ,” ඔහු කියයි.

2020 ජනවාරි වන විට ජනගහනයට සාපේක්ෂව සමාජ ජාල භාවිතය (HootSuite)

ඇතිව තිබෙන ගැටළු විසඳාගැනීම සඳහා යුරෝපියානු නියාමනයන් Netflix සහ YouTube වැනි සේවාවන්ගෙන් ඒවාට වැයවන bandwidth එක අඩු කරගන්නා සේ දන්වා තිබේ. 

ඇමරිකානු රජය ඒ වෙනුවට, වැඩිපුර සංඛ්‍යාත පරාසයක් ලබා දෙමින් එරට අන්තර්ජාල සේවා සම්පාදකයන්ගේ ධාරිතාවන් පුළුල් කරගන්නට අවස්ථාව දී තිබේ. එහෙත් මාර්තු අගභාගය වන විට නගර 88ක්ම අන්තර්ජාල වේග අඩුවීම් අත්විඳි බව BroadbandNow වාර්තාවක් පෙන්වා දෙයි.

සිංගප්පූරුව එවන් වැඩිවීමකට ලැහැස්ති වෙමින් සෑම නිවසකටම අධිවේගී ෆයිබර් සබඳතා ලබාදුන් බවත්, මේ නිසා එරට ISP සමාගම්වලට ගැටළුවක් නොමැතිව සේවා සැපයීමේ හැකියාව තිබෙන බවත් The Straits Times වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔබේ අදහස කුමක් ද?

කවරය: technadu.com

මූලාශ්‍රයයන්:

  • nytimes.com
  • broadbandnow.com
  • popsci.com
  • straitstimes.com

Related Articles