Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණික සමාගම් Cheerleadersලා සේවය වෙත බඳවා ගන්නේ ඇයි?

චීනයේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ද සමාගම් වටා බිහි වූ රැල්ලක් මේ වෙද්දී ලෝකය පුරාම පැතිරෙන බවට දැනගන්නට ලැබෙනවා. මේ රැල්ල නම්; තමන්ගේ සේවකයන් දිරිමත් කිරීමට Cheerleadersලා බඳවා ගැනීම යි. බොහෝ විට මෙසේ බඳවා ගන්නේ පරිගණක වැඩසටහන් නිර්මාණය කරන සමාගම්. තමන්ගේ ක්‍රමලේඛකයන්ගේ කාර්යක්ෂමතාව අකණ්ඩව තබාගැනීම අරමුණු කරගෙන යි මෙය සිදුකරන්නේ. මෙලෙස බඳවා ගන්නා දිරිගන්වන්නියන් “programmer motivator”වරු එහෙම නැති නම්, ‘programming cheerleaders’වරු විදිහට යි හැඳින්වෙන්නේ. මේ නවතම රැකියාව ජනප්‍රිය කරවීමට මුල් වූ බවට සැලකෙන්නේ සුරූපී නිළි ‘Shen Yue’ යි. කතා මාලාවන් ගණනාවක රඟපෑමේ යෙදුණ අතිශය ජනප්‍රිය නිළියක් වගේම, ඇය “programmer motivator”වරියක ලෙසත් සේවය කරන බව New York Times පුවත්පත සඳහන් කර තිබුණා. 26 හැවිරිදි ඇය, සිවිල් ඉංජිනේරු උපාධියක් හිමි තැනැත්තියක්.

සුරූපී නිළි ‘Shen Yue-pinterest.com

මෙලෙස cheerleadersලා ලෙස බඳවාගන්නා යුවතියන්ට පැවරෙන රාජකාරී ගණනාවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් ක්‍රමලේඛකයන් විටින් විට දිරිමත් කිරීම ප්‍රධාන රාජකාරිය වෙනවා. සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණය හා ඒ ආශ්‍රිත රැකියා කරන පුද්ගලයන් යම් තරමක් ඒකාකාරී ජීවිතයක් ගෙවන්නන්. දිගින් දිගටම පරිගණකය අසල වාඩි වී සිටීමෙන් යම් තරමක් දුරට ඔවුන්ගේ කාර්යක්ෂමතාව අවම විය හැකි බව ආයතන ප්‍රධානීන්ගේ මතය යි. මේ සුරූපී cheerleadersලා වෙත විටින් විට කතා කිරීමෙන් එය අවම කර ගැනීමට හැකිවනවා. ඒ වගේම අත්පොළසන් නාදයන් ලබාදීමත් මේ දිරිමත් කිරීම් යටතට ඇතුළත්. ක්‍රමලේඛනයක් නිවැරදිව කේතනය කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත cheerleadersලාගෙන් අත්පොළසන් නාදයක් වගේම, ඔබ හොඳින් එය කළා වගේ අගය කිරීමක් ලැබෙනවා. මෙයින් ක්‍රමලේඛකයන් දිරිමත් වෙන බව තමයි දැනට පවතින මත ය. ඊට අමතරව නිරතුරු සිනහා මුසු මුහුණින් සිටීම ඔවුන්ට අනිවාර්ය දෙයක්. විටින් විට සේවකයන්ට විඩාව දැනෙන විට ඔවුන්ගේ උරහිස් සම්භාහනය කිරීම, ඔවුන් අධෛර්යයට පත් වූ විට ඔවුන් ඇස වසාලීමත් මොවුන්ට කරන්න සිදුවන රාජකාරීන්ගෙන් කොටසක්. ඊට අමතරව ක්‍රමලේඛන සමග ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩාවක යෙදීමටත් සමහර විට ඔවුන්ට සිදුවනවා. ඒ සියල්ලෙහි අරමුණ ක්‍රමලේඛනගත කිරීම්වල ඇති ඒකාකාරී බව මඟහරවා ගැනීම යි. 

මෙලෙස cheerleader කෙනෙක් ලෙස සේවයට යාම එතරම්ම පහසු කටයුත්තකුත් නොවන බව තමයි දැනගන්න ලැබෙන්නේ. එලෙස ආයතනයක් වෙත සම්බන්ධ වීමට ඔබට යම් මට්ටමක තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම හොඳින් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් වන බව තමයි ආරංචි වෙන්නේ. පියකරු සිනහවක උරුම කාරියක් වීම, සාමාන්‍ය උස වගේ කරුණු ද, යම් යම් ක්‍රීඩාවන් කිරීමට ඇති හැකියාවනුත් මෙහි දී සලකා බැලෙනවා. ඊට අමතරව makeup දැමීමේ හා ඒ පිළිබඳ හැකියාවත් තිබිය යුතුම යි. බොහෝ විට මෙවැනි වෘත්තීන් සඳහා කාන්තාවන් තෝරාගන්නේ සමාජ ජාලා ඔස්සේ යි. නමුත්, දැන් දැන් මේ වෙනුවෙන් විවිධ දැන්වීම් අන්තර්ජාලය පුරාම වගේම පුවත්පත්වලත් පළ වනවා. මොවුන්ගේ රැකියාවේ අරමුණ ලෙස ඔවුන්ට හඳුන්වා දෙන්නේ; යම් මට්ටමකට සමාජයෙන් ඈත්ව කාලය ගෙවන ක්‍රමලේඛකයින් ඇතුළු පිරිස තරමක් දුරට හෝ සමාජය වෙත හුරු කර වීම යි. ඒ වගේම ඔවුන් මුහුණ දෙන අධික පීඩනයන් ඔස්සේ විෂාදය වැනි මානසික තත්ත්වයන් වෙත ඔවුන් යොමු වීම වළක්වාලීමත් cheerleadersලා අතින් ඉටු කෙරෙන කාර්යභාර්යයක්. ඔවුන්ව මේ වෙනුවෙන්ම පුහුණු කිරීමේ වැඩසටහන් පවා ක්‍රියාත්මක වෙනවා. සේවකයින්ගේ මානසික වාතාවරණයන් හඳුනාගැනීම, අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීම වැනි කාරණා වෙනුවෙන් ඔවුන් දැනුවත් කෙරෙනවා. 

සේවකයින්ගේ මානසික වාතාවරණයන් හදුනා හඳුනාගැනීම, අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමත් ඔවුන් අතින් සිදුවෙනවා.- pinterest.com 

කොහොම නමුත්, මෙලෙස cheerleadersලා බඳවා ගැනීම යම් යම් අවස්ථාවන්වල ඉතා දැඩිව විවේචනය වූ අවස්ථා අන්තර්ජාලයෙන් අපට හමුවුණා. චීනයේ ක්‍රමලේඛ අභිප්‍රේරකයින් විවිධ අක්‍රමික ලෙසින් සේවයේ යොදවන බවත්, වක්‍රාකාරයෙන් ඔවුන්ව ලිංගික සේවකයින් ලෙස ක්‍රියා කරන බවත් සමාජයේ යම් යම් පිරිස් චෝදනා නගනවා. ඒ චෝදනා කෙසේ වුවත්, චීනයේ ක්‍රමලේඛ අභිප්‍රේරකයින් බඳවා ගැනීමේ සංකල්පය අද වෙද්දී ලෝකය පුරා ව්‍යාප්ත වෙන්නට පටන් ගෙන. විශේෂයෙන් තම වෘත්තිය වශයෙන් පරිගණක ක්‍රීඩාවල නිරත වන්නන් දිරි ගැන්වීමට cheerleadersලා හෙවත් පරිගණක ක්‍රීඩක අභිප්‍රේරකයින් වෙත දැන් රැකියා වෙළඳපොල විවෘතව තිබෙනවා. පරිගණක ක්‍රීඩකයන් නිතරම දැඩි ලෙස කෝපයට පත් වීම අවම කිරීම වැනි දේ වෙනුවෙන් මේ අභිප්‍රේරකයින් යොදවා ගන්නවා. සේවය කරන පරිසරය සතුටු දායක එකක් කර වීම වෙනුවෙන් ඔවුන් කරන සේවය ප්‍රශංසනීය බව තමයි තාක්ෂණික ලෝකයෙන් වාර්තා වෙන්නේ. ලංකාව වැනි රටවල්වල මෙවැනි රැකියා සමාජීය වාතාවරණයන් හා සංස්කෘතික පසුබිම් මත එතරම්ම නොගැළපෙන බව පෙනුණත්, මේ මඟින් සමාජයෙන් කොන් වන විශාල පිරිසක් වෙත සහාය ලැබෙන බව nytimes.com පළ කර තිබූ වාර්තාවේ සඳහන්. 

කවරය- Nytimes.com 

මූලාශ්‍රයයන්:

Gizmodo.com 

Nytimes.com 

Dailymail.co.uk 

Cbc.ca 

Related Articles