Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වන විට AIවල පසුබිම සහ ඔබටම අත්විඳිය හැකි භාවිත අවස්ථා

මෑතක පටන් අපිට නිරන්තරයෙන් අහන්නට ලැබෙන වචනයක් වන AI, එහෙමත් නැත්නම් කෘත්‍රීම බුද්ධිය, සීඝ්‍රයෙන් වර්ධනය වනු දකින්නට ලැබෙනවා. Go වැනි ඉහළ බුද්ධි මට්ටම්වල ක්‍රීඩා ශූරයන් පවා පරාජය කළ AI මේ වන විට බොහොම ඉදිරියට ගමන් කර තිබෙනවා. මේ වන විට එය කෙතරම් දියුණුවක් ලබා සිටිනවා ද? එන්න, අපි සොයා බලමු.

AI වෙස් මුහුණ යට සිටින යාන්ත්‍රික ඉගෙනුම

මිනිස් මොළයේ නියුරෝන ජාල පරිගණක මත ගොඩනැගෙයි (medium.com)

කෘත්‍රීම බුද්ධිය හෙවත් යාන්ත්‍රික බුද්ධිය නිසා පරිගණකවලට විධාන මතම නොයැපී සත්ත්වයන් මෙන් තමාට ලැබෙන දත්ත මත ගොඩ නැගුණු, දත්ත මත පදනම් වුණු දැනුමක් ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. දත්ත ගොන්නක තිබෙන රටාව හඳුනාගැනීම යි මූලික වශයෙන්ම සිදු වෙන්නේ. කිසියම් ප්‍රදේශයක කාලගුණ දත්ත වසර ගණනාවක් අධ්‍යයනය කළාම අපිට වහින – පායන කාලයන් ගැන අනාවැකි කියන්නට හැකි වෙනවා. සංගීතය කියන්නේ ස්වර හතක් මූලික වුණු රටාවක් සහ භාෂාව කියන්නේත් හෝඩියේ අකුරු ගණන මුල් වුණු රටාවක්. එය නිර්මාණශීලීව යොදා ගැනීමට උගැනීම සාමාන්‍ය භාවිතයට සහ ඉන් ඔබ්බට ගිය රසාස්වාදයන් මවනවා.

වැඩිදුර කියැවීමට: AI ක්‍රියාකරන්නේ කොහොම ද?

අනෙක් සත්තුන්ට වඩා මිනිසාගේ වෙනස විවිධ ‍ක්ෂේත්‍ර පරතෙරට ඉගෙනීම වූවාක් මෙන්ම, පරිගණක අතරින් ද AI ගොඩ නැගීමට දායක වන්නේ යාන්ත්‍රික ඉගෙනීම යි. ඡායාරූප පෙළක් ලබා දුන් විට උල් කන් සහ ලෝම තිබීම මඟින් ඒ පූසෙක් බවට කේත කැවීම ඉස්සර සිදු කළා. නමුත් දැන් පෙන්වන ඡායාරූපයක් පාසා ඉගෙන ගනිමින් කොටියෙක් පෙන්වූ විට ඒ පූසෙක් නොවන බවට එය කේත කැවීමකින් තොරවම අව‍බෝධ කරගන්නවා. එනම්, මෙතෙක් කල් මෘදුකාංගයක් ක්‍රමලේඛකයාගෙන් කී දේවල්වලින් පමණක් ක්‍රියා කළත්, AI නිසා පරිශීලකයා සමග කටයුතු කරන අවස්ථාවේදී පවා තවදුරටත් යාවත්කාලීන වීම සිදු වෙනවා. වැඩිපුර පාවිච්චි කරන තරමට ප්‍රාඥයෙක් බවට පත් වෙනවා. මේ නිසාම, වැරැද්දක් සිදුවුණු අවස්ථාවක දී (උදා: ස්වයං ධාවන රථ අනතුරක්) එය සිදුවූයේ කෙසේදැ යි ක්‍රමලේඛකයාටවත් සොයා ගැනීම අපහසු යි.

ඡායාරූපකරණය වෙනස් කරන හැටි

දකින දේ හඳුනාගන්නා දුරකතන කැමරා (ephotozine.com)

හැංගි හැංගී වෙස් බැඳි කෘත්‍රීම බුද්ධිය එළිපිට අපිට දකින්නට ලැබුණු අවස්ථාවක් වන්නේ Google Photos (සහ පසුව Apple Photos) වැනි මෘදුකාංගවල AI භාවිත අවස්ථා යි. එයට පුද්ගලයන් වයස්ගත වත්ම මුහුණේ සිදුවන වෙනස්කම් ක්‍රම ක්‍රමයෙන් හඳුනාගෙන ඒවා ගොනු කරගන්නට හැකියි. ඡායාරූපයේ තිබෙන දෙයක්; උදාහරණයක් ලෙස cat ලෙස සෙවීමක් කළහොත් ඔබ ලබාගත් පූසන් සිටින ඡායාරූප පමණක් ගෙන එනවා. 2015 දී Google Photos හඳුන්වාදෙන්නටත් පෙර, ඔවුන්ගේ අසාර්ථක සමාජජාලය වූ Google+ සතුව ද එවන් Photo search එකක් තිබුණා. මෙය ගූග්ල් සමාගමට පහසු වුණේ DNNresearch ආයතනය තමා සතු කරගැනීමත් සමග යි. ඔවුන් සතුව තිබූ දැනුම ගූග්ල් සමාගම තම ඡායාරූප හා ශබ්ද හඳුනාගැනීම්වලට යොදාගත්තා. Adobe Scan වැනි Appවලත් ඡායාරූපය හඳුනාගන්නට කෘත්‍රීම බුද්ධිය යොදාගන්නවා.

වැඩිදුර කියැවීමට: සිහින දකින කෘත්‍රීම බුද්ධිය

නූතනයේ නිපැයෙන මොබයිල් ප්‍රොසෙසරවල වෙනම NPU හෙවත් AI කටයුතු සඳහා අවශ්‍ය සවිබලය සපයන ස්වාධීන කොටස් අඩංගු කෙරෙනවා. මේ නිසා බාහිර සර්වරයක් මත යැපෙන්නේ නැතිව වේගවත්ව සහ ස්වාධීනව තීරණ ගන්නට දුරකතනවලට හැකි වෙනවා. ඒ හරහා කැමරාව තුළින් දකින දසුන් මොනවාදැ යි හඳුනාගෙන, ලබාගන්නා ඡායාරූපවලට ගැලපෙන සැකසුම් ලබාදෙන්නට ඊට හැකිවෙනවා. Facebook මත අපි දකින 3D ඡායාරූප පවා දෙවැනි ටෙලිෆොටෝ කැමරාවෙන් ගැඹුර හඳුනාගැනීමේ සහාය ඇතිව කෘත්‍රීම බුද්ධියෙන් ගොඩ නගන ලද ඒවා යි. Pixel දුරකතනවලට තනි කැමරාවකින් ගැඹුර හඳුනාගන්නට හැකියාව ලැබුණේත් AI නිසා යි.

කාටූන්වලට ප්‍රිය කෘත්‍රීම බුද්ධිය

වර්ණ ඉරි කැබලි කීපයක් දුන්විට ඉන් ඡායාරූපය සම්පූර්ණ කරනවා (artspark.co.jp)

ද්විමාණ චිත්‍ර කලාව සඳහා දැනටමත් කෘත්‍රීම බුද්ධියේ දායකත්වය ලැබී තිබෙනවා. චිත්‍ර ශිල්පියා විසින් ඉරි සටහන ඇඳ, වර්ණ ස්වල්පයක් යෙදූ පසු එය සම්පූර්ණ කරන්නට හැකි ආකාරයේ සේවාවක් වන ClipStudio ඊට උදාහරණයක්. අපි අඳින ඉරි කැබලි අනුව අඳින්නට යන්නේ කුමක්දැ යි කියන්නට ගූග්ල් සමාගමේ Quick, Draw! මෘදුකාංගයට හැකියි. ඒ වගේම, මුල් ඉරි කැබලි කිහිපය ඇන්දාට පසු චිත්‍රය සම්පූර්ණ කිරීමට යෝජනා ලබා දෙන්නට Sketch-RNN වෙබ් මෘදුකාංගයට පුළුවන්. කාටූන්වලින් ඔබ්බට ගියහොත්, NVIDIA සමාගමේ සත්‍ය මුහුණු මැවිය හැකි AI එක අපට හමුවෙනවා. එයට දෙන ලද මිනිස් මුහුණු මුසු කරමින් නව මුහුණු නිර්මාණය කරන්නට පුළුවන්. පූසන්ගේ මුහුණු පවා නිපදවන්නට එය දක්ෂ යි.

අනාගත චිත්‍රපට පහුසවෙන් නිපැයේවි

වම්පස තෝරාදෙන දෑ AI මගින් දකුණු පස ඉවත් කළ අයුරු (aolcdn.com)

වීඩියෝ සංස්කරණයන්ට Project Cloak වැනි ව්‍යාපෘති නිසා ලබා ගත් වීඩියෝවක ඇති අනවශ්‍ය කොටස් ඉවත් කරමින් තත්පර කිහිපයකින් clip එකක් සකසා ගන්නට අවස්ථාව තිබෙනවා. ‍ඒ හරහා Frame එකෙන් frame එකට කොටස් ඉවත් කරමින් ගත කළ කාලය ඉතිරිවීමෙන් නව අදහස් සඳහා නිර්මාපකයන්ගේ කාලය ඉතිරි‌ වන්නේ, AI හරහා ලැබෙන වඩාත් නිරවද්‍ය ප්‍රතිදානයක් ද සමග යි. Adobe සමාගමේ Sensei නමැති, කෘත්‍රීම බුද්ධියෙන් බලගැන්වූ  Premiere Rush CC නිෂ්පාදනයට වීඩියෝවක කටහඬ ඇති තැන් හඳුනාගෙන එහිදී පසුබිම් සංගීතයේ Volume එක පාලනය කරන්නට හැකියි.

සංගීත ක්ෂේත්‍රයට අත

Caption: මේ ගීතයේ සංගීතය AI යොදාගෙන සකසා තිබෙනවා 

සංගීත ක්ෂේත්‍රය දෙසට හැරෙන්නට කලින් ඔබව සංගීතඥයෙක් කරන්නම්? Semi-Conductor වෙබ් පිටුවට ගිහින් වාද්‍ය වෘන්දවල අත් දෙක එහෙ මෙහෙ කරන සංගීත මෙහෙයවන්නෙක් වගේ කැමරාව ඉස්සරහා දෑත් එහා මෙහා කරන්න. එවිට තිරය මත සිටින සංගීත කණ්ඩායම ඔබට අවනත වේවි. මෙය මිස්ටර් බීන්ගේ කතා ජවනිකාවක් ඔබට සිහිගන්වනු නියත යි.

සංගීත කලාව දෙස බලද්දී, ගීත ඔප මට්ටම් කර දෙන Landr වැනි වානිජ්‍ය මෘදුකාංග දැකගත හැකියි. එහි සිදුකරන්නේ අප සැකසූ ගීතයක් පරිගණක, රේඩියෝ, ප්ලේයර් ආදී ඕනෑම මාධ්‍යයකින් අහන කෙනෙක්ට සමාන අත්දැකීමක් ලැ‍බෙන පරිදි ගීතයේ ශබ්ද කළමනාකරණය කර දීම යි. පෘථුල අත්දැකීමක් සහ ඉහළ වියදමක් යන මේ කොටස AI බාරගෙන තිබෙනවා. සංගීතඥයන් විසින් තම පර්යේෂණයන් විහිදුවන තවත් අංගයක් වන්නේ (සංගීත භාණ්ඩවල) ශබ්ද දෙකක් මුසු කර නව ශබ්ද නිපැයීම යි. NSynth සමග ඔබටත් සිතාරයකට පූසෙකුගේ හඬ මුසුකරමින් පවා ශබ්ද සංයෝජන අත්හදා බලන්නට පුළුවන්.

තවත් ‍ක්ෂේත්‍ර රැසකට පණ පොවයි

අනාගත රෝහලක පිළිබිඹුවක් (padhamhealthnews.org)

ආයතනයකට පුද්ගලයෙක් තෝරා ගනිද්දී ඔහු/ ඇය කිනම් හැකියාවන් දරනවා ද, කුමන ආකාරයේ කෙනෙක් ද ආදී පුළුල් පසුබිම් පරීක්ෂාවක් සිදු කෙරෙනවා. එය අවම කරගන්නට AIවල සහාය මේ වන විටත් DeepSense වැනි සේවාවන් හරහා ආයතනවලට ලබා දෙනවා. මේවායෙන් පුද්ගලයා සම්බන්ධව LinkedIn, Facebook, Twitter ඇතුළු අන්තර්ජාල මූලාශ්‍රයන් ගෙන් තොරතුරු ලබාගෙන ඔවුන් පෙර රැකියාව කළ ආයතනයන්ගේ ‍ක්ෂේත්‍රය හඳුනාගනිමින් ඊට ද ලකුණු එක් කරමින්, නව රැකියාවට ඔහුගේ සුදුසුකම සහිත rating අගයක් සකසනවා. මේ හරහා HR කෙනෙක්ට සාමාන්‍යයෙන් ගත කරන කාලයක් බෙහෙවින් අවම කරගත හැකි වෙනවා.

වැඩිදුර කියැවීමට: මනුෂ්‍යරූපී AI යුවතිය “සොෆියා”

WHO සංවිධානය පෙන්වා දෙන ආකාරයට, ආබාධතාවක් වන මානසික අවපීඩනය සහිත පුද්ගලයන් මිලියන 300ක් පමණ සිටිනවා. ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මොළයේ ක්‍රියාකාරීත්වය හඳුනාගෙන වෛද්‍යවරුන්ට අවශ්‍ය දත්ත ලබා දෙන AI සැකසීමට දැන් ලොව අවධානය යොමුව තිබෙනවා. කාලානුරූපව ඉන් ප්‍රතිකාර කරන රෝගීන් ප්‍රමාණය වැඩි වත්ම, එහි දැනුම වැඩිවන නිසා සෞඛ්‍යය අංශය මෙවන් නිෂ්පාදන නිසා මහත් ප්‍රගතියක් ලබනු ඇති. ගෘහස්ථ සෞඛ්‍යයට සහාය වන AI දත් බුරුසුවක් ද CES හි දී දකින්නට ලැබුණා. එයට දත් මදිද්දී නොමැදෙන ස්ථාන හඳුනාගන්නට, අපේ මැදීමේ රටාව හඳුනාගෙන උපදෙස් දෙන්නට හැකියාව තිබෙනවා.

‍මේ අතරේ, ගූග්ල් සමාගම යුද්ධ හමුදාවට තමන්ගේ කෘත්‍රීම බුද්ධිමය දැනුම ලබා දීමට සැරසීම නිසා තමන්ගේ සේවකයන් ද අහිමි කරගත්තා. AI සහිත අවි ආයුධ නිපැයීම නිසා අනාගත ලෝකයට ඇතිවිය හැකි අවදානම් ගැන එලෙස අභ්‍යන්තරයෙන්ම විරෝධය පළ වුවත් එම Maven ව්‍යාපෘතිය මගින් හුදෙක් මූලධර්ම හා ක්‍රියාදාමයන් ගැන පමණක් සහාය දෙන බවයි CEO සුන්දර් පැවසු‍වේ.

2019 වසර වන විට AI සිටින තත්ත්වය

දැනටම AI හැකියා සහිත ප්‍රොසෙසර නිපැයෙනවා (allianzgi.com)

එකම වචනයක් නිතර නිතර කියද්දී එය සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. AI කියන්නේත් මීට වසර 8කට පමණ පෙර ලිපි ලියද්දී ‍හොඳින් විස්තර කළ යුතු දෙයක් වුවත් දැන් හැම කෙනෙක්ටම ඒ වචනය ගැන මෙන්ම ක්‍රියාදාමය පිළිබඳවත් මූලික හෝ අවබෝධයක් තිබෙනවා. එයට හේතුව, තාක්ෂණික දැවැන්තයන් සියල්ලම පාහේ එය තමන්ගේ මීළඟ ජයග්‍රහණය බවට පත් කර ගැනීමට වෙර දැරීම යි. Google, Facebook වැනි මෘදුකාංග නිෂ්පාදන ආයතන පමණක් නොව එම මෘදුකාංගයන්ට පහසුකම් සලසන දෘඪාංග සකසන Huawei, Samsung වැනි ආයතන ද මේ වෙනුවෙන් දැන් කාලය වැය කරනවා. දැනට තමන් දෙයක් ඉගෙන ගත්තාම ඉන් රැකියාවක් කරමින් උපයන්නට හැකිවාක් මෙන් අනාගතයේදී AI එකක් තම සතු වීම හෝ වෙළඳපොළ කොටස් තිබීම හරහා එය බද්දට දීමෙන් ආදායම් උපයන්නට හැකි වේවි.

වැඩිදුර කියැවීමට: කෘත්‍රීම බුද්ධිය මානවයා නසන්නටම නොවේ

AI දැනට ආ ගමන් මග බලද්දී විවිධ ක්ෂේත්‍ර ආවරණය කර ඇති ආකාරය උදාහරණ මඟින් අප දැක්වූවා. ඒවාට අමතරව තවත් ගූග්ල් සමාගමේ අත්හදා බැලීම් රැසක් experiments.withgoogle.com වෙතින් දැකගත හැකිවේවි. ඉමෝජි සෙවීමේ හා කටහඬ මඟින් පාලනය වන පරිගණක ක්‍රීඩා, සමාන font සෙවීම් ඇතුළු පුළුල් මාතෘකා රැසක් ඔවුන් දැනටමත් ආවරණය කරගත හැකි ආකාරය ඉන් දැකිය හැකියි. Waymo වැනි වාහන මෘදුකාංග හරහා ගූග්ල් සමාගම රියදුරු රහිත වාහන බලගන්වන ආකාරය ගැනත් පෙර ලිපියක අපි කථා කළා.

මුලින් අතට අත දී, පසුව අත් හරඹයකට ඒවිද? (adage.com)

මේ වන විට දැනට තිබෙන රැකියා රැසකට AI නිසා වැඩි පහසුවක් ලැබෙන අතර අනාගතයේ දී රැකියා අහිමිවීමක් සිදුවුවහොත් ඒ Pattern ආකාරයේ සේවා සපයන අයගේ පමණ යි. අපේ රටේ කාර්යයාලවල එකම කටයුත්ත කරන්නට කී දෙනෙක් නම් ඉන්නවා ද? ඇඟිලි සලකුණු උපාංග සවි කිරීමට එරෙහි වන ඇතැමුන් මෙවන් තාක්ෂණයකට බිය වීම පුදුමයක් නොවෙයි. එනමුත් Big picture එක දෙස බලද්දී AIකරණය හරහා මානවයාට ලැබිය හැකි වාසි අපමණ යි. ඒ වගේම, Terminatorලා අනාගතයේ දී බිහිවීම තරම් අවාසිදායක තත්ත්වයන් ඇතිවීමත් ඉතින් නොවැළැක්විය හැකියි.

කෘත්‍රීම බුද්ධියේ ව්‍යාප්තිය ගැන ඔබේ අදහස මොකක් ද?

කවරය: futureoflife.org

Related Articles