Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණික ආයතන තම වාසිය වෙනුවෙන් ප්‍රතිවාදීන් මත යැපෙන හැටි

තාක්ෂණික ආයතන එකිනෙකා එක්ක තරහා ඇති නේ ද? 2017 වර්ෂය වන විට ඇපල් සමාගම ගෝලීය දුරකතන වෙළඳපොළ කොටස් වලින් අංක 1ට පත්ව සිටිය දී 2018 වර්ෂයේ දී එය තෙවන ස්ථානයට පමුණුවමින් සැම්සන්ග් සමාගම පළමුවැන්නටත්, Huawei සමාගම දෙවැන්නටත් පත්වුණා. ඇමරිකාව (හ්)වාවේ සමාගම තමන්ගේ රටින් පන්නා දමන්නට උත්සාහ කිරීම, සැම්සන්ග් සමාගමේ Exynos ප්‍රොසෙසර ඇමරිකාව තුළ තහනම්වීම ඇතුළු විවිධ පුවත් හරහා අපිට පෙනෙන්නට තිබෙන්නේ ඔවුන් දිය යටින් ගින්දර ගෙන යමින්, දිය රෙද්දෙන් එකිනෙකාගේ බෙලි කපන බව යි.

ලෝකය පුරාම තිබෙන බොහෝ දේශපාලනික විරසකයන් පමණක් නොව අපේ රට තුළ පවා මේ වගේ ගැටුම් දකින්නට තිබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් – ඇපල්, දේශපාලන දර්ශනයන් මත ගොඩනැගූ අන්වර්ථ නාමයන් ආදිය නිසා විරසක වෙලා ඉන්නේ පාරිභෝගිකයන් හා ජනතාව වන අපි විතරයි. නිෂ්පාදකයන් සහ ලොකු පුටු හැමවිටම එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිටින අතර අපව ඔවුන් වටා තබා ගැනීම සඳහා බාහිර ලෝකයට ගැටුමක් මවා පානවා. මේ ලිපිය අවසන් වෙද්දී ඔබේ එවන්වූ දුර්මත දුරුවනු ඇතැයි කියා අපි සිතනවා.

iPhone X නිසා ගොඩයන Samsung

ඇපල් පසුපස සිටින සැම්සන්ග් (fonpit.de)

ඇපල් සමාගමට තමන්ගේ උපාංගවලට විශාල මුදලක් නියම කරන්නට සිදුවන්නේ පාරිභෝගිකයන් රවටා විශාල ලාභයක් ලබන නිසාම නොවෙන්නට පුළුවන්. දිගු කල් පැවැත්ම සඳහා සහතික වූ උපාංග අඩංගු කිරීමට අමතරව, කොටස් නිෂ්පාදනයන් සඳහා ඔවුන්ට වැඩි මුදලක් වැය කරන්නට සිදුවන බව විකිණෙන සෑම iPhone X දුරකතනයකින්ම ඇමරිකන් ඩොලර් 110ක් Samsung සමාගම ලබාගැනීමේ පුවත සනාථ කරනවා. ඇතැම් විට තමන්ගේ උපාංගවලටත් (S8 උපාංගයක් හා සසඳද්දී) වඩා ලාභයක් සැම්සන්ග් සමාගම $999කට විකිණෙන iPhone X වලින් ලබන බව සඳහන් වෙනවා. 2018 වසර වන විට, OLED තිර සඳහා වූ වෙළඳපොළ හිමිකාරීත්වයෙන් 93%ක්ම Samsung සමාගම දැරුවා. ඔවුන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය හැකිවීම සහ තාක්ෂණික පහසුකම් මෙම ආධිපත්‍යයට හේතුවුණා. මෙය බිඳලන්නට Google මෙන්ම Apple සමාගම LG සමාගම වෙත ආයෝජනයන් සිදු කරමින් එහි OLED නිපැයුම් වලට දිරි දෙන්නට ඉදිරිපත් වුණා. එක් ප්‍රතිවාදියෙක් නසන්නට තවත් ප්‍රතිවාදියෙක්ට අත දීම හොඳ තීරණයක් වේවි ද?

Samsung පමණක් නොව, එම දුරකතනවල ඇති මොඩම Intel සහ Qualcomm ආයතන විසින් නිපදවනු ලබනවා. අභ්‍යන්තර ධාරිතාව හෙවත් Flash මතකය Toshiba ආයතනයෙනුත්, OLED තිරයේ බල කළමනාකරණයන් Texas instruments ආයතනයේ නිෂ්පාදිත චිප් වලිනුත් සැකසෙනවා. ඒ අනුව, ඇපල් සමාගම තමාගේ වෙළඳපොළ ප්‍රතිවාදී සමාගම් නමුත් ඔවුන් විසින්ම නිෂ්පාදිත කොටස් තමන්ගේ උපාංගවල යොදනු දකින්නට ලැබෙනවා. Google සමාගමේ Pixel දුරකතන නිෂ්පාදනය කිරීමේ වගකීම ද මුල දී තායිවාන සමාගමක් වන HTC සහ පසුව LG වෙත ද දැන් Foxconn වෙත ද පවරා තිබෙනවා. මෙහි අපිට දකින්නට ඇති මූලික හේතුව වන්නේ, අලුතෙන් ම උපාංග නිෂ්පාදන කර්මාන්තශාලාවක් අරඹනවාට වඩා out source කිරීමෙන් වෙළඳපොළ මිලට ගැලපෙන උපාංගයක් ලබාදෙන්නට ඔවුන්ට හැකිවන බව යි.

iCloud  තිබෙන්නේත් Google සතුව යි

Storage සඳහා ප්‍රතිවාදියා මත යැපීම (industrytrend.net)

“Google එකට වඩා Apple ෂුවර්!” කියන හය හතර නොදත් අපේ මිතුරන් iCloud වල සියළු දත්ත රැඳවූවත් වසර ගණනාවක් මුළුල්ලේ එම දත්ත ගබඩා කිරීම් සිදුවූයේ Google Cloud සේවාව තුළ යි. 2016 සිටම මෙම ගබඩා කිරීම් සිදුවූ බව CNBC හෙළිදරව් කරනවා. ඇපල් සමාගම සතුව Data Centers තිබුණත්, මෙහි පැහැදිලිවම පෙනී යන්නේ එකිනෙකා අතර කෙතරම් තරගයක් ඇතිමුත්, Storage සඳහා වෙනම සර්වර් උද්‍යාන සකසනවාට වඩා අඩු මුදලකට දැනටමත් ඒ වෙනුවෙන් තම පිරිවැය වෙන්කර ඇති ගූග්ල් සමාගමෙන් ලබා ගත හැකි වීම නිසා ඔවුන් එම පියවර අනුගමනය කළ බව යි.

Google සමාගම විසින් සටහන් (Notes) තැබීමට පහසුකම් සලසන Keep සේවාවට එදිරිවාදී නිෂ්පාදනයක් වන Evernote පවා දත්ත ගබඩා කරන්නේ Google Cloud සේවාව තුළ යි. ඊට අමතරව, Spotify, eBay, PayPal, Twitter දත්ත පවා තම සතු බව Google සමාගම ම සඳහන් කරනවා. ඒ අනුව, Google Music වල තරගකාරී Spotify හෝ Drive සහ Google Photos වල ප්‍රතිමල්ලවයා වන iCloud යන කුමන සේවාවක් ඔබ පාවිච්චි කළත් ලාභ ලබන්නේ Google සමාගම යි.

කාගෙත් පියා Foxconn

උපාංග නිෂ්පාදනය පසුපස සිටින Foxconn (futurecdn.net)

Nintendo Switch, Microsoft සමාගමේ XBox One, Sony සමාගමේ Playstation යනාදිය නිපදවන්නේ Foxconn සමාගම යි. පෙර සඳහන් කළ පරිදි iPhone, ඇමසන් සමාගමේ Kindle උපාංග සහ Dell, Toshiba, සහ HP පරිගණක නිෂ්පාදනයෙන් ලාභ ලබන්නේ ද Foxconn ආයතනය යි.

වැඩිදුර කියැවීමට: 2017 දී ලොව වැඩිම ආදායමක් ලැබූ තාක්ෂණික ආයතන 5

චීනයේ ප්‍රධාන භූමි පෙදෙසේ ඇති කර්මාන්තශාලාවලට හිමිකම් කියන Foxconn සමාගම තායිවානයේ ඇරඹුණු සමාගමක්. Foxconn සමාගම විසින්ම නිපදවන Motherboard, FBook නමැති නෝට්බුක් පරිගණක, පරිගණක චැසි ආදිය තිබිය දී ඔවුන් අනෙක් සමාගම්වල ප්‍රතිවාදී උපාංග නිෂ්පාදනය හරහා ලාභ ලබනවා.

Netflix දත්ත තිබෙන්නේත් Amazon රැකවරණයේ

Netflix වල ලාභයත් Amazon වෙතට (thecollegeinvestor.com)

ලංකාවේ Amazon එතරම් ප්‍රචලිත නැතත්, Amazon Prime නමින් ඔවුන්ගේ ම වීඩියෝ සේවාවක් තිබෙනවා. නමුත් ඊට එදිරිවාදී, අපි දන්නා කියන Netflix සමාගමේ දත්ත රඳවා තැබීමේ වගකීම භාරගෙන තිබෙන්නේ Amazon සමාගම යි.

වැඩිදුර කියැවීමට: Netflixහි ජනාදරයට පත් හොඳම TV series – 2018

ගූග්ල් සමාගම පමණක් නොව, AWS හෙවත් Amazon Web Services හරහා අන්තර්ජාල දත්ත ගබඩා කිරීමෙහි ප්‍රමුඛ ස්ථානයක Amazon සමාගම සිටිනවා. තවත් Amazon Prime ප්‍රතිමල්ලවයන් වන Hulu, PBS ආදිය පවා AWS මත තම දත්ත රඳවා තිබෙනවා. ඒ හැරුණු විට, Reddit, Airbnb, Lyft, සහ Dropbox යන වෙබ් අඩවි සහ සේවාවන් ද ඇමසන් සතු සර්වර්වල දත්ත රඳවා තිබෙනවා. ඒ අනුව, තමන්ගේ ප්‍රතිවාදීන්ගේ ලාභය ද තම සතු කරගන්නට Amazon සමත් වෙනවා.

ඔබේ සතුරා ඔබේ ළඟින්ම තියාගන්න

එකට සිටින තරමට වාසි වැඩියි (shopify.com)

එකිනෙක පැති බෙදී තනි වෙනවා වෙනුවට තමන්ගේ එදිරිවාදීන්ගේ පවා ලාභ ලැබිය හැකි බව මේ තාක්ෂණික දැවැන්තයන් අපට කියා දෙනවා. පාරිභෝගිකයන් තමන්ගේ නිෂ්පාදන හරහා පිල්වලට බෙදුණත්, නිෂ්පාදන සමාගම් තරව අත්වැල් බැඳගෙන අන්‍යෝන්‍ය උපකාරයෙන් ගොඩ යනවා. කෙනෙක් ටයර් කඩයක් දාගන්නවා නම් එහා පැත්තෙන් තව ටයර් කඩයක් දාගන්නවා වෙනුවට පිටිපස්සෙන් රබර් ෆැක්ටරියක් දාගන්නට ඕනෑ. නැතහොත්, එහා පැත්තෙන් වින්කලයක් හෝ වාහන ගැරේජයක් දාගැනීම යි සුදුසු. ඊර්ෂ්‍යාව සහ වෙනත් කෙනෙක් කරනවාටම යමක් කරනවා වෙනුවට අන්‍යෝන්‍ය සහයෝගයෙන් ව්‍යාපාර අපූරුවට ගොඩ නගාගන්නට පුළුවන්. ඒ වෙනුවෙන් අපි, හිතන හැටි වෙනස් කරමු.

කවරය: businessinsider.com

Related Articles