Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විදෙස් රැකියාවක් සොයන ඔබට වැදගත් LinkedIn ජාලය

LinkedIn කියන්නේ Facebook, Instagram සහ Twitter ආකාරයේ ම සමාජ මාධ්‍ය ජාලයක්. කෙසේ නමුත්, සියලු ම සමාජ මාධ්‍ය ජාලාවලට වඩා LinkedIn සැලසුම් කොට තිබෙන්නේ වෙනස් ම අරමුණක් වෙනුවෙන්. ඔබත් බොහෝ දුරට දන්නා පරිදි ම වෘත්තිකයන්, ව්‍යාපාරික කරුණු සහ සබඳතා ඉලක්ක කර ගනිමින් LinkedIn සැලසුම් වී තිබෙනවා. Facebook වැනි සමාජ මාධ්‍ය ජාලයක් භාවිත වන්නේ අපගේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධ කාරණා බෙදා හදා ගැනීම සඳහා යි. එසේත් නැතිනම්, පෞද්ගලික ජීවිතයේ සබඳතා දිගින් දිගට ම පවත්වා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස හෝ අලුත් සබඳතා ඇති කර ගැනීමේ වේදිකාවක් ලෙසත් Facebook භාවිත වෙනවා.

Facebook, Instagram ආකාරයේ සමාජ මාධ්‍ය ජාලා අද වනවිට විවිධ අරමුණු ඔස්සේ විවිධාංගීකරණය වී තිබුණත්, LinkedIn දිගින් දිගට ම විශාලත ම ව්‍යාපාර සහ වෘත්තීය සබඳතා ජාලයක් ලෙස සයිබර් අවකාශයේ විශේෂීකරණය වීමට උත්සහ දරනවා. මේ නිසාම තම වෘත්තීය කුසලතා, සුදුසුකම්, වෘත්තීය ජයග්‍රහණ ප්‍රදර්ශනය කරමින් දේශීය හෝ විදේශීය රැකියා අවස්ථාවක් සොයා ගැනීමේ දී LinkedIn හරහා ලැබෙන පිටුවහල ඉතා ඉහළ යි. තම වෘත්තීය දැනුම අන්‍යයන් සමඟ බෙදාහදා ගනිමින් සහ සාකච්ඡා කිරීමෙන් තමා වටා ඉතා හොඳ වෘත්තීය සබඳතා ජාලයක් ගොඩනඟා ගැනීමටත් LinkedIn සහාය වෙනවා.

ශ්‍රී ලාංකිකයන් ලෙස ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරමිනුයි අප සිටින්නේ. මේ නිසා විදේශ රැකියා අවස්ථාවක් සොයා ගැනීමේ උනන්දුවත් ඉතා කෙටි කලක් ඇතුළත ඉහළ ගොස් තිබෙනවා. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා LinkedIn භාවිත කළ හැක්කේ කෙසේ ද?

මේ ලිපියෙන් ඒ සඳහා ඔබට යම් සහායක් ලැබේවි.

LinkedIn සමාජ මාධ්‍ය ජාලයේ සාර්ථකත්වය – www.crazyegg.com 

LinkedIn වැදගත්කම තවදුරටත්..

බටහිර රටවල් සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය ඇතුළු මැද පෙරදිග කලාපයේ සිටින මිනිසුන්ට අද LinkedIn යනු අත්‍යවශ්‍ය මෙවලමක්. ඒ තරමට ම රැකියා අවස්ථා පළ කරන වේදිකාවක් ලෙස LinkedIn වැදගත් වී තිබෙනවා. තමාට අවශ්‍ය සේවාදායකයා සොයා ගැනීමේ ප්‍රධාන ආධාරකරුවෙක් ලෙසත් LinkedIn සේවා යෝජකයන් අතර ජනප්‍රිය වී අවසාන යි. ශ්‍රී ලංකාව තුළ LinkedIn යනු තවමත් ජනප්‍රිය වෙමින් පවතින සේවාවක්. මේ නිසා LinkedIn ගැන දැනුම්වත් නැති පිරිසක් මෙන් ම, LinkedIn ගිණුමක් තිබුණත්, එය නිසියාකාර ව පවත්වා ගෙන යන්නේ නැති බහුතරයක් ද සිටිය හැකි යි. LinkedIn සේවාවේ වැදගත්කම තව දුරටත් පැහැදිලි කරගත යුත්තේ ඒ නිසා යි.

රැකියාවලට බඳවා ගන්නන් ගෙන් සැලකිය යුතු පිරිසක් ඉල්ලුම්පත්‍රවලින් එහාට ගොස් අපේක්ෂකයන් ගේ LinkedIn ගිණුම පරීක්ෂා කර බැලීමේ ප්‍රවණතාවක් දැන් තිබෙනවා. සේවා යෝජකයාගේ අවසාන තීරණයට බලපාන සන්නාමයක් ලෙසත් ඔබගේ LinkedIn ගිණුම ක්‍රියා කළ හැකි යි. ඒ නිසා මෙතෙක් ඔබ අත්කර ගත් වෘත්තීය කුසලතා, ජයග්‍රහණ සහ සුදුසුකම් යන සියල්ල ම LinkedIn ගිණුමට ඇතුළත් කිරීම ඉතා වැදගත්. ඇතැම් විට ඔබ රැකියාවකට ඉල්ලුම් නොකළත්, ඔබගේ වෘත්තීය පසුබිම ගැන පැහැදී රැකියා අවස්ථාවක් වෙනුවෙන් ආරාධනා කිරීමේ හැකියාවකුත් තිබෙනවා. LinkedIn හි තවත් වැදගත්කමක් වන්නේ ඔබ රැකියා අවස්ථාවක් සඳහා විවෘත බව අනෙක් අය දැනුම්වත් කිරීමේ පහසුකමක් (Open to work පහසුකම) LinkedIn සතුව තිබීම යි.   

තමා වටා ඇති වෘත්තීය සබඳතා ජාලය වර්ධනය කිරීමට භාවිතා කළ හැකි ක්‍රමවේද – visual.ly

විශ්වාසය ගොඩනැඟෙයි

LinkedIn ගිණුමක් තිබීම මඟින් සේවා යෝජකයින් හෝ රැකියාවලට බඳවා ගන්නන් සමඟ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට ඔබට හැකි වෙනවා.  ගිණුමේ සිටින අනෙකුත් සාමාජිකයන් ඔබට ලබා දුන් නිර්දේශ/රෙකමදාරු, ඔබ නිරත වන ක්ෂේත්‍රය තුළ කොතෙක් දුරට ඔබ සබඳතා ගොඩනඟා ඇති ද යන්න වග සහ ඔබගේ කුසලතා ගැන සාක්ෂි LinkedIn ගිණුමක් හරහා ලබා ගැනීමට හැකි වීමත් ඊට හේතුව යි. රැකියා ඉල්ලුම් පත්‍රයකින් විදහා දැක්වෙන පුද්ගල ස්වභාවයට වඩා LinkedIn ගිණුමකින් ප්‍රදර්ශනය වන පුද්ගල ස්වභාවය වඩාත් ප්‍රායෝගික තලයක ඇති අතර, අයදුම් පත්‍රයකට ඇතුළත් කළ නොහැකි ඔබගේ වටිනා ආකල්ප LinkedIn ගිණුමකින් පැහැදිලි ව ප්‍රදර්ශනය කිරීමේ හැකියාව තිබෙනවා.

රැකියා සොයා ගැනීමේ පහසුව  

රැකියා වෙබ් අඩවි, පුවත්පත්වල පළ නොවන රැකියා අවස්ථා රාශියක් LinkedIn තුළ තිබීමේ හැකියාව ඉහළ යි. මීට හේතුව වන්නේ අද මෙම සමාජ මාධ්‍ය ජාලය රටවල් 200 ක් පුරා මිලියන 800 කට වැඩි සාමාජිකයන් ගණනක් අතර ජාලගත ව තිබීම යි. LinkedIn ගිණුමක් සාදා ගත් පසු “Jobs” යන කොටසේ ඔබ නිරත වන ක්ෂේත්‍රය සහ ඔබට අවශ්‍ය රට හෝ ප්‍රදේශයට අනුව රැකියා සෙවීම කළ හැකි යි. තවදුරටත් මෙම රැකියා සෙවුම, අත්දැකීම් මට්ටම, ‍රැකියා පළ වූ කාල පරාසයේ වෙනස් කිරීම්, ආයතනයේ නම සහ තවත් බොහෝමයක් තොරතුරු ඇතුළත් කිරීමෙන් විශේෂීකරණය කළ හැකි යි. එවිට අදාළ ක්ෂේත්‍රයෙත් වඩාත් ම සුදුසු රැකියා පළ කිරීම්වලට ළඟා වන්නට පුළුවන්. මේවාට සෘජුව ම අයදුම් කිරීමේ හැකියාව පවතින නමුත්, මේ රැකියා බොහෝමයක් අතිශයින් තරගකාරී වන බවත් තේරුම් ගත යුතු යි.

Headline එකක් සැකසීමේ දී Keywords ගැන සැලකිලිමත් වෙන්න – www.reputationdefender.com 

ආයතනික තොරතුරු වෙත ප්‍රවේශය

ඔබට කිසියම් ආයතනයක් ගැන සෙවීමේ අවශ්‍යතාවක් ඇතැයි සිතන්න. අදාළ ආයතනයේ නිළ වෙබ් අඩවියට ගොස් ඒ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබුණත්, එම ආයතනයේ ම LinkedIn පිටුව පරිශීලනය කිරීමෙන් ලබා ගත හැකි තොරතුරු ප්‍රමාණය සාපේක්ෂ ව විශාල යි. එමඟින් ඔබට ආයතනය ගැන වඩාත් හොඳ ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්න පුළුවන්. වැදගත් ම කාරණය වන්නේ ආයතනික LinkedIn පිටුවක් හරහා එහි සේවය කරන කාර්ය මණ්ඩලය ගැනත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම යි. ඔවුන් ඔබගේ සබඳතා ජාලයට එක් කර ගැනීමෙන් වෘත්තීය මට්ටමේ සබඳතාවක් අදාළ ආයතනය සමඟ ගොඩ නඟා ගැනීමේ හැකියාව හිමි වේවි. 

LinkedIn සමූහයකට එක් වන්න

Facebook තුළ විවිධාකාර අරමුණු අරබයා ගොඩ නැඟුණු Facebook සමූහ දකින්න පුළුවන්. LinkedIn තුළත් මේ පහසුකම තිබෙනවා. LinkedIn තුළ දකින්නට ලැබෙන සමූහ, බොහෝ දුරට සමාන වෘත්තීය අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ සිට යම් ක්ෂේත්‍රයක සේවය කරන වෘත්තිකයන් දක්වා වූ පුළුල් පරාසයකින් ගොඩ නැඟී තිබෙනවා. එවැනි සමූහ සමඟ විවිධ සාකච්ඡාවලට සහභාගී වීමේ ඉඩකඩ, ඔබ නිරත වන ක්ෂේත්‍රයට අදාළ දැනුම ප්‍රදර්ශනය කිරීමේ හැකියාව, එම ක්ෂේත්‍රයේ ම නව ප්‍රවණතා සහ ඔබ නොදන්නා තාක්ෂණික හෝ කළමනාකරණ ගැටලු පවා විසඳා ගැනීමේ ඉඩ ප්‍රස්තාව පවා මින් ලබා ගැනීමට හැකි වේවි.   

මෙතෙක් සාකච්ඡා කළ සියලු කරුණුවලට අදාළ ව LinkedIn හරහා නිසි ප්‍රයෝජන ලබා ගැනීමට නම් ඔබ අනුගමනය කළ යුතු තවත් එක් වැදගත් කාරණයක් තිබෙනවා. ඒ තමයි ඔබගේ LinkedIn ගිණුම නිසියාකාර ව ගොඩනැඟීම සහ පවත්වා ගැනීම. ලිපියේ මෙතැන් සිට සාකච්ඡා කරන්නේ LinkedIn ගිණුමක් ගොඩ නැඟීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණා කිහිපයක් ගැන යි. 

Profile Picture එක සරල වන තරමට ම ගිණුමට එකතු වන වටිනාකමත් වැඩි යි – www.theenglishmeetingroom.com 

ඡායාරූපවල වැදගත්කම

Facebook සමාජ මාධ්‍ය ජාලයේ Profile picture එක සඳහා අප බොහෝ විට භාවිත කරන්නේ සාමාන්‍ය ඡායාරූපයක්, එහෙමත් නැත්නම් “කැෂුවල්” ඡායාරූපයක්. LinkedIn සඳහා Profile picture එකක් තේරීමේ දී එය විධිමත් එකක් වෙනවා නම් වඩාත් උචිත යි. මෙහි දී කාර්යාලීය ඇඳුමෙන් සැරසුණු ඡායාරූපයක් වීම අනිවාර්ය නැහැ. තම වෘත්තීය පෙනුම රැකෙන පරිදි සරල ඇඳුමකින් සැරසුණු ඡායාරූපයක් වීමත් ප්‍රමාණවත්. අපගේ ගිණුම පරීක්ෂා කරන ඕනෑම කෙනෙක් අප ගැන මූලික තක්සේරුවක් ඡායාරූපය හරහා ලබා ගැනීමේ හැකියාවක් පැවතීම මීට හේතුව යි.

ඔබ නිරත වන වෘත්තීය හා සම්බන්ධ ඡායාරූපයක් හෝ ඔබ වඩාත් කැමැත්තක් දක්වන විෂය පථයක් විදහා දැක්වෙන ඡායාරූපයක් Cover photo එක සඳහා යොදා ගැනීම, ගිණුමේ දෘශ්‍යමය අගය තවත් ඉහළ දැමීමට ඉවහල් වෙනවා.

සිරස්තලය ඉතා වැදගත්!

Facebookවල “බයෝ” එකට සමාන අංගයක් ලෙස LinkedIn හි සිරස්තලය (හෙඩ්ලයින් එක) දක්වන්න පුළුවන්. මෙහි දී ඔබ නිරත වන රැකියාව හෝ වෘත්තීය දක්ෂතාවය දක්වන ක්ෂේත්‍ර සරල ව දක්වන්නට පුළුවන්. අවශ්‍ය නම් සිරස්තලය තරමක් නිර්මාණශීලි ලෙස දැක්වීම ගැටලුවක් නොවෙයි. එහෙත්, වෘත්තීයමය වශයෙන් ඔබ හොඳින් විස්තර කළ හැකි මූලික වචන කිහිපය සිරස්තලයේ අන්තර්ගත විය යුතුම යි.

Summary එකක් සඳහා උදාහරණයක්. මෙහි දී මූලික කරුණු රැකෙන පරිදි කැමති ආකාරයකට ඔබව හඳුන්වා දිය හැකි යි – www.hippovideo.io 

සාරාංශය මඟ හරින්න එපා!

ඊළඟට වැදගත් ම කාරණාව ලෙස ඔබ ගැන සාරාංශගත විස්තරයක් (Summary) ගිණුමේ ඇතුළත් කිරීමට උත්සුක වන්න. මේ සඳහා ඔබට වචන 2000 කට වැඩි ඉඩ පහසුකමක් සපයා තිබෙන නිසා කල්පනාකාරී ලෙස වඩාත් හොඳ සාරාංශයක් නිර්මාණය කරන්න පුළුවන්. මෙම අවකාශය ඔබගේ කුසලතා සහ වෘත්තීයමය හැකියා ලැයිස්තුගත කිරීමට පමණක් භාවිත කරන්න එපා. ඔබගේ කුසලතා සහ වෘත්තීය පසුබිම වැදගත් වන අන්දම, ඔබට ලබා දිය හැකි සේවා, එමඟින් ආයතනයක් තුළ ඔබට සිදු කළ හැකි සාධනීය වෙනස්කම් ගැන විස්තර කරන්න. LinkedIn ගිණුමක Summary එක යනු එක්තරා විදිහකින් ඔබට ඔබ ම ම අලෙවි කිරීමට අවකාශය සපයන ස්ථානයක්. ඉතින්, මේ සඳහා යම් කාලයක් ආයෝජනය කරමින් සාරාංශ කිහිපයක් උත්සහ කිරීම නිශ්පල ක්‍රියාවක් නොවෙයි. දිනෙන් දින අතිශයින් තරගකාරී වන ගෝලීය රැකියා වෙළඳෙපොළට LinkedIn සෘජුව ම විවෘත වෙන නිසා Summary එක වෙනුවෙන් වෙහෙස වීම වැදගත්.

රැකියා ඉතිහාසය

අයදුම් පත්‍රයකට අපගේ රැකියා ඉතිහාසය ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයෙන් ම සිදු කරන්නක්. LinkedIn තුළත් මේ පහසුකම ඉතා විධිමත් ව සපයා තිබෙනවා. රැකියා ඉතිහාසය යටතේ ඔබ නිරත වූ එක් එක් රැකියාවලට අදාළ රැකියා විස්තරය (රැකියාව තුළ ඔබට පැවරුණු රාජකාරි) ඇතුළත් කිරීමේ දී තරමක් සැලකිලිමත් වෙන්න. ආයතනවලින් ඔබට ලිඛිත ව ලැබුණු රාජකාරි ලැයිස්තුව ඒ ආකාරයෙන් ම ඇතුළත් කරන එක එතරම් ම සුදුසු නැහැ. ඒ ඒ රාජකාරියට අදාළ ව ඔබ ගොඩ නඟා ගත් කුසලතාව හෝ දැනුම ඉස්මතු වෙන ආකාරයෙන් ඒවා විස්තර කරනවා නම් වඩාත් සුදුසු යි.

උදාහරණයක් ලෙස වෘත්තියෙන් ඔබ රසායනික විශ්ලේෂකයෙක්යැ යි සිතමු. රසායනික විශ්ලේෂණයට අමතර ව  යම් විධායක බලයක් ඉහළ කළමනාකාරීත්වයෙන් ඔබට පවරා ඇත්නම්, එමඟින් ඔබ ආයතනයට අත්කර දුන් ප්‍රතිලාභයක් කෙටියෙන් විස්තර කළ හැකි යි. බොහෝ විට නවකයන් පුහුණු වන්නේ මෙවැනි විධායක බලයක් ඇති වෘත්තිකයන් හරහා යි. එබැවින් ඔබ විධායකයෙකු ලෙස මෙපමණ නවකයන් ගණනක් සාර්ථක ව පුහුණු කළායැ යි සඳහන් කරන්න පුළුවන්.

රටවල් අනුව වැඩියෙන් ම භාවිත වූ Buzzwords – theundercoverrecruiter.com 

Buzzwords ගැනත් සැලකිලිමත් වෙන්න

Buzzwords යනු LinkedIn හි සිරස්තල සහ සාරාංශවල නිතර භාවිත වන විශේෂණ පද වන අතර, ඒවා භාවිත කිරීමෙන් විශේෂ ප්‍රතිලාභ අත්වේයැ යි සිතන්න එපා. LinkedIn හඳුනා ගත් Buzzwords අතරින් ‘specialised’, ‘leadership’, ‘focused’, ‘strategic’, ‘experienced’, ‘passionate’, ‘expert’, ‘creative’, ‘innovative’ සහ ‘certified’ යන වචන බහුලව ම භාවිත වන බව පැවසෙනවා. මෙම වචන ඇතුළත් කිරීම නුසුදුසු හෝ අර්ථ විරහිතයැ යි මින් හැඟවෙන්නේ නැහැ. ගැටලුව වන්නේ මෙවැනි වචන භාවිත කළ පමණින් එම ගුණාංග පවතින බව ඔබට ඔප්පු කළ නොහැකි වීම යි. එම නිසා ඉහත විශේෂණ පද සත්‍ය බව ඔප්පු වන අන්දමින් ඔබ හැකියා ප්‍රදර්ශනය කිරීම වැදගත් වෙනවා. ඔබට ම අනන්‍ය වූ ආකාරයෙන් මේවා සිදු කළ හැකි යි. උදාහරණයක් ලෙස ඔබ “නිර්මාණශීලි රචකයෙක් (Creative Writer)” ලෙස ගිණුමේ හඳුන්වා ඇතැයි සිතමු. එසේ නම් ඔබගේ නිර්මාණශීලි බව ඔප්පු කළ හැකි අන්දමේ උදාහරණ ඇතුළත් කළ හැකි යි.

අමතර කරුණු

වර්තමානයේ දී ඔබ සිටින තත්ත්වය අනුව ගිණුමේ වෘත්තීය කරුණු යාවත්කාලීන කිරීමට සෑම විටම උත්සහ කළ යුතු අතර, සබඳතා ජාලය නිතර පුළුල් කර ගැනීමටත් උත්සහ කරන්න. LinkedIn ගිණුම සහ ඔබගේ ඊ-මේල් ලිපිනයක් synch කිරීමෙන් ඔබට සම්බන්ධ විය හැකි පුද්ගලයන් LinkedIn විසින් ම යෝජනා කරන පසුබිමක් නිර්මාණය වෙනවා. මීට අමතර ව, ක්ෂේත්‍රයට අදාළ රැකියා පළ කිරීම් ගැන පවා දැනුම්වත් වීමක් ලබා ගන්න පුළුවන්.

ඔබගේ වෘත්තීය දැනුම සහ කුසලතා සම්බන්ධයෙන් අනෙකුත් සාමාජිකයන් ලබාදෙන අනුමත කිරීම් (Recommendation) හරහා ගිණුමේ විශ්වාසනීයත්වය වැඩි දියුණු වෙනවා. ඒ සඳහා ඔබගේ ක්ෂේත්‍රයේ ම නියුතු හිතවත් වෘත්තිකයන් ගෙන් සහ සමීපතමයන් ගේ LinkedIn ගිණුම් වලින් සහාය ඉල්ලීමට පැකිළෙන්න එපා.  ඒ ඉල්ලීම ආචාරශීලි ලෙස දැක්වීමේ වගකීම ඔබ සතු යි. අනෙක් අතට, එවැනි ම සහයෝගයක් ඔබ වටා සිටින සාමාජිකයන්ටත් අවශ්‍ය වන බව අමතක කරන්න එපා. ඔවුන් ගේ ජයග්‍රහණ, වෘත්තීය දිවියේ කඩඉම් හමුවේ ඔවුන්ට සුබ පතන්න. ඔවුන් ගේ කුසලතා වෙනුවෙන් යම් අනුමත කිරීමක් ලබා දෙන්න. එවිට ඔබ බලාපොරොත්තු වන සහයත් ඉබේ ම පැමිණේවි.

කවරයේ ඡායාරූපය- LinkedInවලින් නිසි ප්‍රයෝජන ලැබීමට නම් එය නිසි ආකාරයෙන් භාවිත කරන ආකාරය අධ්‍යනය කිරීම වැදගත් - medium.com

මූලාශ්‍ර:

www.linkedin.com

www.topresume.com

www.linkedin.com 

www.mindtools.com 

Related Articles