MacOS Mojave සතු නවතම විශේෂාංග

ඇපල් සමාගම විසින් මැක් පරිගණක සඳහා නිකුත් කරන ලද නවතම යාවත්කාලීනය වන Mojave හරහා මෙතෙක් දක්නට ලැබුණු විශේෂාංගයන්ට වඩා අපූර්ව දේවල් රැසක් එක්වුණා. මෙහි නම කියවන්නේ “මොහාවි” ලෙසයි. කැලිෆෝනියාවේ තිබෙන කාන්තාරයක නමක් පදනම් කරගෙන එම නම යොදා තිබෙන අතර පෙරනිමි wallpaper එකටත් එහි ඡායාරූපයක් තිබෙනවා. ඔබ තවමත් මේ යාවත්කාලීනය ලබා ගන්නට මැලි වෙමින් සිටිනවා නම් මේ විශේෂාංග ගැන දැනගත්තාම අනිවාර්යයෙන්ම ඔබේ ඇපල් පරිගණකයටත් එය ලබා ගන්නට අවශ්‍ය වේවි.

iPhone එකෙන් ඡායාරූපයක් පරිගණකයට ඇතුල් කිරීම පහසුයි

ytimg.com

ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඡායාරූපයක් මැක්බුක් එකට ලබාගැනීමට අවශ්‍ය වුණාම එය දැන් වඩාත් පහසුවෙන් කරගන්නට Mojave හරහා අවස්ථාව ලබාදී තිබෙනවා. මෘදුකාංග සඳහා ඡායාරූප එක් කරද්දී මෙන්ම ඩෙස්ක්ටොප් එකට ඡායාරූපයක් ෆයිල් එකක් වශයෙන් අවශ්‍ය වූවත් ඒ සඳහා iPhone එක පාවිච්චි කරන්නට පුළුවන්. ඩෙස්ක්ටොප් එකට ලබා ගනිද්දී right click කර Insert from iPhone ඇතුලත ඇති Take photo ක්ලික් කළාම ෆෝන් එක පාවිච්චි කරලා ඡායාරූපය ගන්න පුළුවන්. එය ඍජුවම පරිගණක ඩෙස්ක්ටොප් එකේ save වෙනවා.

Night mode එකක්

technostalls.com

MacOS සඳහා පැමිණි අපූර්ව විශේෂාංගයක් ලෙස මෙය හැඳින්විය හැකියි. රාත්‍රියේදී පරිගණකය පාවිච්චි කරද්දී සුදු පැහැය නිසා දෑස්වලට ඇතිවන අපහසුතාව වළක්වන්නට මෙන්ම සුදු පැහැති window වලට වඩා කළු පැහැයට ප්‍රිය කරන අයට ද ඉන් ප්‍රයෝජන ලැබිය හැකියි. Windows සතුවද Night Light නමින් මෑතකදී ඇන්ඩ්‍රොයිඩ්වල වගේම නිල් පැහැ ආලෝකය අඩු කරලන filter එකක් වැනි විශේෂාංගයක් ලැබුණ ද එයට වඩා හාත්පසින්ම වෙනස්, හොඳ අත්දැකීමක් Mojave සතු වෙනවා.

හුදෙක් filter එකක් හෝ වර්ණ invert කිරීමක් වෙනුවට එය theme එකක් මාරු කළාක් මෙන් සූක්ෂ්මව අලංකාරව තිරයේ අංග කළු පැහැ ගන්වනවා. මෙය සක්‍රීය කරන්නට System Preferences → Generalහි Appearance ඉදිරියෙන් ඇති Dark mode යන්න ක්ලික් කළාම හරි.

Desktop එකෙහි විසිරුණු අයිකන එක්තැන් කළ හැකියි

idownloadblog.com

ඉන්න මේසය පිළිවෙළට තියෙන අයගේ පරිගණක desktop එක අපිළිවෙල බවත්, desktop එක අපිළිවෙල නම් මේසය පිළිවෙළට තිබෙන බවත් ලෝක නියතයක් බව සමාජ ජාලවල කියවෙනවා. කොහොම නමුත් එදිනෙදා download කරන දේවල්, CD හෝ pen ආදියෙන් කොපි කරන දේවල් වගේම හදිසියේ අවශ්‍ය වුවහොත් කියා desktop එකේම තබාගෙන සිටින ගොනු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යනවා. මේ නිසා wallpaper එකත් වැහෙන්නට තරම්ම මුල් තිරය පිරී යනවා. නමුත් Mojave සමඟ පැමිණි group කිරීමේ විශේෂාංගය නිසා ගොනු වර්ගය අනුව ඒවා stack කරන්නට හැකියාව ලැබෙනවා.

Desktop එක right click කර, Use stacks යන්න ක්ලික් කරන්න. එවිට images, documents, screenshots ආදී ලෙස ගොනු වර්ගීකරණයවී අයිකන කිහිපයකට සීමා වන අතර ඒවා මත ස්ක්‍රෝල් කරන විට එතුළ ඇති ගොනු preview කර, ක්ලික් කළ විට විවෘත කරන්නටත් හැකියාව ලැබෙනවා. Group stacks by යන මෙනු අයිතමය හරහා ගොනු විවෘත කළ දින, එක් කළ දින අනුව මෙම ගොඩවල් වෙනස් කරන්නටත් පුළුවන්. Use stacks නැවත ක්ලික් කළ විට ගොනු පෙර පැවති ලෙසම desktop එක පුරා විසිරී යනවා.

වැඩිදියුණු කළ Screenshot ගැනීමේ හැකියාව

ytimg.com

Screenshot ගැනීමේදී දැන් තවත් වැඩි පහසුකම් ප්‍රමාණයක් මෙහෙයුම් පද්ධතිය හරහාම ලැබී තිබෙනවා. මෙතෙක් තිරය record කරන්න QuickTime ප්ලේයරය හෝ වෙනත් තෙවන පාර්ශවීය මෘදුකාංග අවශ්‍ය වූවත් එම පහසුකම ද දැන් මෙහෙයුම් පද්ධතිය සතුයි. වින්ඩෝස් සතුවද තවමත් තිරයේ ඡායාරූපයක් පමණක් ලබාගැනීමට හැකියාව තිබෙනමුත් MacOS සතුව වීඩියෝ එකක් වශයෙන් තිරය පටිගත කළ හැකිවීම අපූරු අවස්ථාවක්.

File → Take Screenshot වෙත ගිය විට එහි තෝරා දෙන කොටසක්, සම්පූර්ණ වින්ඩෝවක් හෝ සම්පූර්ණ තිරය වශයෙන් අවස්ථා තුනක් ලබාදී තිබෙනවා. ඒ එකක් මත ක්ලික් කළ විට දැන් තිරය යටින් වැඩි පහසුකම් සහිත toolbar එකක් ද දිස්වෙමින් පෙර කළ තෝරා ගැනීම වෙනස් කරන්නට අවස්ථාව සලසනවා. තිරය සම්පූර්ණයෙන් හෝ තෝරාගත් කොටසක් රෙකෝඩ් කරන්නට ද අවස්ථාව දෙන බොත්තම් දෙකක් දකුණු පසින් තිබෙනවා. එහි ඇති Options හරහා Mouse cursor එක ද තිර දසුනේ දිස්වීම සබල කළ හැකියි.

Finder වෙත ගැලරියක්

macosguides.net

ඡායාරූප, PDF, වීඩියෝ ආදිය සහිත ෆෝල්ඩරයක සිටිනවා නම් ඒ එකින් එක ක්ලික්  කරමින් බලනවා වෙනුවට එක්වරම පහසුවෙන් preview එකක් බලන්නට Finder වෙත ලැබුණු Gallery view එකෙන් පුළුවන්. අදාල ෆෝල්ඩරය වෙත ගොස්, වින්ඩෝවේ (Finder එකේ) ඉහළ ඇති පළමු බොත්තම් හතරෙන්, අවසාන එක ක්ලික් කළ විට මෙම view එක ලබාගන්න පුළුවන්. ඡායාරූපවල හොඳ quality එකක preview එකක් බලන්නට, PDFවල මුල් පිටුව බලන්නට හැකියාව සහ වීඩියෝ play කරන්නට ප්ලේයරයක් ද එවිට ලැබෙනවා. Preview pane එක හරහා ගොනුවල metadata බලන්නට, Quick Look හරහාම ඡායාරූප rotate කරන්නට, crop කරන්නට දැන් අවස්ථාව තිබෙනවා.

වැඩිදියුණු වුණු Safari බ්‍රවුසරය

cbsistatic.com

ආරක්ෂාවට වැඩි ඉඩකඩක් ලබාදෙන Mojave සතු වැඩිදියුණු කළ Safari බ්‍රවුසරය ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි විසින් වෙනත් වෙබ් අඩවිවල සිට අපව track කරද්දී ඒ බව dialog box එකක් හරහා දැනුම් දෙමින් එය අවහිර කරන්නදැයි විමසනවා. බ්‍රවුසරයේ වර්ගය, resolution එක, පරිගණකයේ විස්තර බ්‍රවුසරය හරහා ලබාගන්නට උත්සුක වන වෙබ් අඩවිවලට ද දත්ත අඩු විස්තර ලබා දෙමින් ඔබව සහ පරිගණකයේ විස්තර ඒ තොරතුරු හරහා දැනගන්නට ඒවාට ඇති ඉඩකඩ අවහිර කරලනවා. මේ නිසා සෑම Mojave පරිශීලකයෙක් ම සමාන කෙනෙක් වශයෙනුයි ඒ වෙබ් අඩවිවලට දකින්න ලැබෙන්නේ.

කවරයේ ඡායාරූපය: netdna-ssl.com

Related Articles