Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Facebook Marketplace එකත් අන්දන ජාවාරම්කරුවෝ

Facebook MarketPlace කියන්නේ බොහෝ දෙනකුට නොමිලයේ තමන්ගේ භාණ්ඩ විකුණා ගන්න දැන්වීමක් පළ කරගන්න පහසුකම් සපයන facebook සමාගමේ platform එකක්. හැබැයි මේ platform එකේ සාමාන්‍යයෙන් ඉඩම් වැනි දෑ අලෙවි කිරීම් වැනි දේ නම් එතරම් දැකගන්නට ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් මේ වෙද්දී පෘතුවියේ පෙනහළු ලෙස හඳුන්වන amazon වනාන්තරයේ ඉඩම් අනවසරයෙන් විකුණන තැනක් බවට මේ Facebook MarketPlace එක පත්වෙලා. මේ කටයුත්ත නවතන්න මේ වෙද්දී Facebook සමාගම කටයුතු ආරම්භ කරලා තියෙනවා.

Facebook MarketPlace 2016 වසරේ දී තමයි Facebook සමාගමෙන් හඳුන්වා දෙන්නේ. නොමිලයේ වෙළඳ දැන්වීම් පළ කිරීමේ හැකියාවත් නිතර දෙවේලේ ගැවසෙන විශාල පරිශීලකයන් ප්‍රමාණයත් නිසා මේ වේදිකාව ඉතා ඉක්මනින් පරිශීලකයන් අතර ජනප්‍රිය වෙන්නට පටන් ගත්තා. 2019 වෙද්දී රටවල් 70 පමණ ප්‍රචලිත ව තියෙන මේ සේවාව එවකට පරිශීලකයන් මිලියන 800ක් පමණ නිතර ගැවසෙන ස්ථානයක් බවට පත් වුණා. 2021 කාලය වන විට මෙහි පරිශීලකයන් ප්‍රමාණය බිලියනය පසු කළා. මාසයකට මේ platform එක වෙත එන පිරිස මිලියන 250ක් පමණ බව Facebook CEO Mark Zuckerberg සඳහන් කර තිබුණා.

 වන විනාශය ගුවනින් දිස්වෙන අයුරු – themarysue.com

 

කොහොම නමුත් මේ platform එක අද වෙද්දී amazon වනාන්තරයේ ඉඩම් අනවසරයෙන් අලෙවි කරන තැනක් බවටත් පත්වෙලා. මේ අනවසර වෙළඳාම එක්ක ඉතා ශීඝ්‍රයෙන් නැවතත් ඇමසන් වනාන්තරය අනතුරට පත් වෙලා. මේ නිසාවෙන් ම Facebook සමාගම මෙය වලකා ලන්නට ඔවුන්ගේ වාණිජ ප්‍රතිපත්තිවල වෙනසක් සිදු කරන බව ප්‍රසිද්ධ නිවේදනයක් ලබාදෙමින් සඳහන් කළා. මෙයින් අනතුරු ව තව දුරටත් රක්ෂිත ප්‍රදේශවල ඉඩම් විකිණීම සඳහා facebook යටතේ පවතින කිසිම සමාජ ජාලයක් හෝ සේවාවක් භාවිත කිරීමට ඉඩක් නොලැබෙන බවයි සමාගම සඳහන් කරන්නේ.

සමාගම මේ තීරණය ගන්නේ පසුගිය 2019 වසරේ දී BBC සේවය සිදු කළ අනාවරණයක් මත පාදක ව සිදු කළ පරීක්ෂණයක් අනුව යි. මේ වාර්තාවට අනුව Facebook MarketPlace එකේ අලෙවි වන සමහර අනවසර ඉඩම් පාපන්දු ක්‍රීඩාංගණ 1000 ක් පමණ විශාල බව යි සඳහන් වෙන්නේ. 2019 වසරේ Facebook සමාගම මේ පිළිබඳ ව අනාවරණය වූ වහාම ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ අදාළ රජයන් සමඟින් මේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා කටයුතු කිරීමට තම සමාගම කැමති බව යි. “වනාන්තරය”, “ස්වදේශික කැලෑව” සහ “දැව” වැනි වචන සඳහා භාවිත වන පෘතුගීසි වචන භාවිත කරමින් Market Place එකේ එකේ සිදු කරන සෙවීම් තුළ දී මෙවැනි නීති විරෝධී ඉඩම් ඕනෑතරම් දැකගැනීමට හැකි වෙන බවත් BBC ය අනාවරණය කර තිබුණා.

Fabricio Guimarães කියන්නේ එවැනි ජාවාරම්වල නිරත ව ඉන්න ඉඩම් වෙළෙන්දෙක්. ඔහුට අනුව නම් රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් බවේ අඩුව වැනි කාරණා නිසයි මේ වනාන්තරය මෙලෙස අහිමි වෙන්නේ. ඔහු මේ වෙද්දී නීති විරෝධී ව ඉඩම් අලවිය සඳහා ඉතා කුප්‍රකට බවක් උසුලන පුද්ගලයෙක්. වැඩි වශයෙන් නීති විරෝධී ව අලෙවි වන සහ වැඩි වශයෙන් වන විනාශයට ලක්වෙන ප්‍රදේශ ලෙස Rondônia වැනි ප්‍රදේශ අද වෙද්දී හඳුනා ගෙන තිබෙනවා.

කොහොම නමුත් වසර 10 -11 පමණ කාලයක සිට සිදුවන මේ වන විනාශය නිසා ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව සිටින ශාක සත්ව ප්‍රජාව තව තවත් අනතුරේ වැටෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් මෙලෙස අලෙවි වන ඉඩමක මිල ඇමරිකානු ඩොලර් විසිතුන්දහසක් පමණ වන බව තමයි BBC සේවය වාර්තා කරන්නේ.

 ශාක සත්ව ප්‍රජාව සේම වනාන්තරය ආශ්‍රිත ව ජීවිතය ගෙවන මිනිසුන්ටත් මෙය බලපානවා – jakpost.net

 

මෙලෙස විනාශ වන ඇමසන් වනාන්තරයේ ශාක සත්ව ප්‍රජාවට අමතර ව ස්වදේශික ඉන්දියානුවන් ද ජීවත් වෙනවා. බොහෝ විට අලෙවි වන්නේ ඔවුන් තම ජීවිකාව සරි කර ගන්න දඩයමේ යෙදෙන ප්‍රදේශ යි. ඒවගේම වැඩි මිලකට අලෙවි වන්නේත් ඔවුන් මසුන් මරන්නට පරම්පරා ගණනාවක සිට භාවිත කළ බිම් කඩවල්. නිතර නිතර කපා දමන ගස් නිසා හිඳී යන ඇළ දොළ ගංගා වගේම නැසී යන සත්ව ප්‍රජාව සේ ම ඔවුන්ගේ ජීවිතත් තිබෙන්නේ අනතුරේ.

බොහෝ විට නීති විරෝධී ඉඩම් වෙළෙන්දන් ඉඩම් අල්ලා ගැනීම සඳහා ගස් කපා දමනවා වෙනුවට අදාළ ප්‍රදේශය අළලා වනාන්තර ගිනි තැබීම සිදු කරනවා. මේ නිසා සිදු වන පාරිසරික හානියත් අතිමහත්. ලෝකය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ ව සෑම වසරක ම පවත්වන සමුළු වැනි උළෙලවල දී මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව සාකච්ඡා වෙනවා. ලෝක උරුමයක් ලෙස නම්ව තිබෙන ඇමසන් වනාන්තරයත් එහි ප්‍රධාන මාතෘකාවක් බවට සෑම වසරක ම පත් වෙනවා. නමුත් මේ සියලු සාකච්ඡා හුදෙක් වචන සඳහා පමණක් සීමා වන බව තමයි බොහෝ පරිසරවේදීන් චෝදනා කරන්නේ.

මේ සිදුවීම පිළිබඳ ව ප්‍රකාශයක් නිකුත් කරමින් Facebook සමාගම සඳහන් කරන්නේ තමන් තිරසාරභාවය සහ පාරිසරික සංරක්‍ෂණ ප්‍රදේශවල ඉඩම් ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින අතර ඇමේසන් වැසි වනාන්තරය තුළ ඇති පාරිසරික සංරක්‍ෂණ ප්‍රදේශවල ඉඩම් MarketPlace එකේ අලෙවි වීමට ඇති ඉඩ අහුරා ලීමට තමන් කටයුතු කරන බවයි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි අපගේ වාණිජ නිෂ්පාදන තුළින් පාරිසරික සංරක්‍ෂණ ප්‍රදේශවල ඕනෑම වර්ගයක ඉඩමක් මිලදී ගැනීම හෝ විකිණීම පැහැදිලි ව තහනම් කිරීම සඳහා ඔවුන් තම වාණිජ ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමට කටයුතු කරනා බවත් වොඋන් සඳහන් කර තිබුණා.

මෙම නව ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීම් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්න බවත් මේ වන විටත් එවැනි ප්‍රදේශවලින් සිදුවන ඉඩම් විකිණීම් සහ මිලදී ගැනීම් පිළිබඳ ව තමන් දැඩි පරික්ෂාවෙන් පසුවන බවත් සමාගම නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වුණා. ඊට අමතර ව මේ ක්‍රියාවලිය සඳහා අන්තර්ජාතික සංවිධානවල Databaseවල දත්ත භාවිත කරමින් සමාලෝචනයන් සිදු කරන බවත් ඒවා මඟහැර යාමට සහ තව දුරටත් එවැනි නීති විරෝධී ක්‍රියාවන්වල නිරතවෙන්නන් උදෙසා තම සේවා තුළින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාගම සඳහන් කර තිබුණා. 

කවරයේ ඡායාරූපය: වන විනාශය  - cfr.org

මූලාශ්‍ර:

Theverge.com
About.fb.com
facebook.com/policies_center/commerce
bbc.com
Gadgets.ndtv.com

Related Articles