Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසා වැනි සවිඥානික පරිගණකයක් සකසමු ද?

සවිඥානික බව හෙවත් Conciousness යනු ‘අන්තෝ ජටා – බහි ජටා’වකි. එහෙත් මේ ගැටපදය විවරණය කිරීමෙන් පරිගණකයක් සකසන්නට හැකියාව ලැබෙනු ඇත. එය කරන්නට හැකි ද? කරලාම බලමු!

පරිගණකයක් සවිඥානික කිරීමට අවශ්‍ය දෑ

මූලික අමුද්‍රව්‍ය තුනකින් සැකසිය හැක (alluremedia.com.au)

‘සිලෝ’ විද්‍යා ප්‍රබන්ධ මාලාවේ රචක ‘හියු හවී’ Wired වෙබ් අඩවියෙහි සටහනක් තබමින් පරිගණකයකට සවිඥානික බව (self-conscious) ලබා දීමට පහත දෑ අවශ්‍ය බව දක්වයි.

  1. බාහිර උත්තේජකවලට ප්‍රතිචාර දක්වන භෞතික ශරීරයක් හෝ උපකරණයක්.
  2. භාෂාව හසුරුවන කොටසක්.
  3. දේහය සිදුකරන දේවල් දෙස බලා ඒ ගැන සිතුවිලි ජනනය කරන බාහිර කොටසක්.

මෙහි මුල් කොටස සැකසීම ඉතා පහසු වන අතර, දැනටමත් එවන් පද්ධති දක්නට ලැබේ. උදාහරණයක් ලෙස රාත්‍රිය එළඹි විට විදුලි පහන් දල්වන වාහනයක් ගැන සිතිය හැකිය. මෙය උත්තේජනයකට ප්‍රතිචාර දැක්වීමකි.

දෙවැන්න, බාහිර ලෝකය හා සන්නිවේදනය සඳහා වැදගත් වේ. තවමත් මෙය සාර්ථකව කර නොමැති ක්ෂේත්‍රයකි. Google Assistant හෝ ඊට පෙර පටන් තිබුණු Cleverbotවත් මනුෂ්‍යයින් මෙන් සාර්ථකව කතා නොකරති. එහෙත්, මෙය කථන භාෂාවක්ම විය යුතු නොවේ. විදුලි බුබුළු දැල්වීමක්, තිරයේ පින්තූරයක් පෙන්වීමක් වැනි දෙයකින් ද මෙය සකසාගත හැක.

තෙවැන්න මඳක් අමුතු කොටසකි. එය දේහය කරන කියන දෑ දෙස බලමින්, එය ලබන උත්තේජනයන් ගැන සිතමින් ඒ ගැන හේතු ගොඩ නගන්නට උත්සාහ කරන කොටසකි. “උත්සාහ කරන” ලෙස කීවේ එලෙස ගොඩනගන කතන්දර වැරදි විය හැකි බැවිනි. “උත්තේජනයන් ගැන සිතමින්” යන්නෙන් අදහස් කළේ, තමන් කරන දේට අමතරව බාහිර අයගේ ක්‍රියාකලාපයන් ද හඳුනාගන්න උත්සාහ කිරීම යි. මෙය ඊළඟ කොටසේ තවදුරටත් විස්තර කෙරේ.

පරිගණකය ගොඩනැගීම

තමා අවට පරිසරය හඳුනාගන්නට කාර් රථවලට හැකියාව තිබේ (cleantechnica.com)

ඉහත අමුද්‍රව්‍ය එක්තැන් කරමින් අප දැන් මිනිසාට සමාන, සවිඥානික පරිගණකයක් ගොඩනගමු. එය කුමන ‍ආකාරයේ එකක් විය හැකි ද? එය ටෙස්ලා වැනි ස්වයං-ධාවන (Self-driving) රථයකැ යි සිතීම ඒ ගැන චිත්‍රයක් මවා ගැනීමට පහසු ය.

අපේ අමුද්‍රව්‍ය ලැයිස්තුවේ පළමු අංගය යෙදූ විට අපි සකසන කාර් රථයට බාහිර ලෝකයේ ඇති දෑ සංවේදනය කළ හැකි වේ. එය දැන් මාර්ගයේ පුද්ගලයකු සිටියහොත් එය දැක තිරිංග ක්‍රියාත්මක කරනු ඇත.

දෙවන කොටස ද කාරය ඇතුලත ඇති තිරය, ෆෝන් App එක හරහා සැකසූ බව සිතමු. නයිට් රයිඩර් කතා මාලවේ මෙන් ‘කිට්’ හෙවත් කාරය සමග කතා කිරීම මූලික අවශ්‍යතාවක් නොවේ (එහෙම තිබුණා නම් මරු ය.)

තෙවැනි කොටස සැකසීමේ දී අපේ කාරය කාරණා තුනක් සපුරාලීම අවශ්‍ය වේ. 

  1. වෙනත් වාහනයක්/ පුද්ගලයෙක් ඊළඟට කුමක් කරනු ඇත් ද යන්න තීරණය කිරීම. – එවිට සිග්නල් නොදමා හරවන අය සහ වමට සිග්නල් දමා දකුණට හරවන අය ගැන අවබෝධයක් ලද හැකිය.
  2. බාහිර වාහන/ පුද්ගලයන් තමා ගැන කුමක් සිතන්නේ ද යන්න තීරණය කිරීම – ඉන් පාරේ මැදට පැමිණ වාහනය යාවි ද/ නොයාවි ද, මා මෙතනින් පැනිය යුතු ද නැද්ද යන්න තීරණය කරගත නොහැකිව කල් ගත කරන පුද්ගලයන්/ සතුන්ගේ ක්‍රියා කලාපය ගැන අවබෝධයක් ලැබිය හැක.
  3. වෙනත් වාහන/ පුද්ගලයන් තවත් වාහන/ පුද්ගලයන් ගැන සිතන්නේ මොනවාදැ යි පුරෝකථනය කිරීම – මෙමඟින් ඉදිරියේ වාහනය ඇති වාහනය, පාර හරා පනින පුද්ගලයෙක් හදිසියේ දැක, එක්වරම තිරිංග යොදනු ඇත්දැ යි යන්න පිළිබඳ ප්‍රවේශම් විය හැක.

පළමු අංගයට තවත් දෙයක් අඩංගු විය යුතු යි. එනම්, තමාගේ ස්වාමියා රියදුරු අසුනේ සිටින බව යි. එවිට කාරය, තමාට ඕනෑ-ඕනෑ දේවල් නොකරනු ඇත. ස්වාමියාට මීළඟට අවශ්‍ය කුමක් ද යන්න පිළිබඳව එය සිතනු ඇත.

එහෙත්, ස්වාමියා පාරේ ගැහැණු ළම‍යකු දෙස බැලුවේ මන්ද, ෆෝන් එකට ආ කෝල් එක කාගෙන් ද වැනි දෑ සිතීමෙන් කාරය, විකාරයක් වීමට ඉඩ නොදිය යුතු යි. එය සත්ත්ව මොළයේ ඇති ‘ගණන් නොගෙන සිටීම’ හෝ අවශ්‍ය දේට පමණක් අවධානය යොමු කිරීම යන හැකියාවෙන් සමන්විත විය යුතු යි. එසේ නොවුවහොත්, මීට වසරකට පමණ සිදුවූ සුළු අත්වැරැද්දකින් “මේක මහ මෝඩ කාර් එකක්” යැයි ස්වාමියා කී දේ සිහිවී, එය පාර මැද නැවතී හඬන්නට පටන්ගනු ඇත!

මෙය සම්පූර්ණ කළහොත්, අපේ කාරය සත්ත්ව මොළයේ සවිඥානික බව අර්ථ දක්වන ‘මනස පිළිබඳ න්‍යාය’ (Theory of Mind) සපුරා ගනියි.

මනස පිළිබඳ න්‍යායයන්

ඔබේ මනස තුළ ඇති කටහඬ හඳුනාගත්තා ද? (b-cdn.net)

සත්ත්ව මොළය තුළ විවිධ දෑ විවිධ තැන්වල සිදු වේ. ඇතැම් කොටස් විශාල ය, තවත් කොටස් කුඩා ය. යමක් ඉගෙන ගන්නා විට නියුරෝනවල ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීම වැනි ප්‍රතිසංවිධානයන් සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරගනියි. ස්ථිර සැකැස්මක් ඇති පරිගණකවල මෙවන් දේ (වත්මන වන විට) දැකිය නොහැක.

මනස පිළිබඳ න්‍යායයන් යනු, මොළය තවත් මොළයක සිදුවන දේ ගැන වටහා ගැනීමට උත්සාහ කිරීම යි. “මේ වෙලාවේ මගේ එහා පැත්තේ සිටින කෙනා මොනවා සිතනවා ඇති ද?” මොළය, වඩාත් නිවැරදිව කිවහොත් මනස, තවත් මනසක ස්වභාවය/තත්ත්වය ගැන එසේ සිතයි.

මෙය සත්ත්ව පරිණාමයේ මුල පටන් ම අවශ්‍ය වූ දෙයකි. අපේ කණ්ඩායමේ කෙනෙක් හෝ සතුරු ආක්‍රමණිකයෙක් කුමක් කරන්නට උත්සාහ ගනියි ද යන්න පුරෝකථනය කිරීමෙන් අපට මුහුණ දීමට හෝ පලා යෑමට වේලාව ලැබෙයි. මේ, මනස පිළිබඳ න්‍යායෙහි පළමුවැන්න යි.

‘කල්පනා ලෝකය’ භෞතිකවාදීයි ද? (wellandgood.com)

කෙනෙක් අපට ආදරය කරන බව තනිව තේරුම් ගෙන, එය ඔවුන්ටත් පෙර අප වචනයට නැගීම ‘මුහුණ දීම’ වන අතර, “ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි” යනු එයට ලැබෙන ප්‍රතිචාරය විය හැක. (මේ පුරෝකථනයන් සෑම විටම නිවැරදි නොවන බවට පෙර සඳහන් කළ බව ඔබට මතක ඇත.) 

මනස පිළිබඳ න්‍යායයන්හි දෙවැන්න නම්, කෙනෙක් තවත් කෙනෙක් ගැන කුමක් සිතන්නේ ද යන්න තේරුම් ගැනීමට උත්සාහ කිරීම යි. පෙර උදාහරණය අනුව, එමඟින් ඒ පුද්ගලයා අපට වඩා “හොඳ කෙනෙක්” ගැන හිතන බව අවබෝධ කරගත හැකිවේ (මෙය කලින් කරන්නට තිබිණ!)

පරිගණකවලට සිහිනුවණ ලබා දිය හැකි ද?

විවිධ දෑ මොළය තුළ විවිධ තැන්වල සිදුවෙයි (swdic.com)

කාරය සැකසීම සඳහා වූ අපේ තුන්වැනි අමුද්‍රව්‍යය ගැන අපට තවත් දිශානතියකින් බැලිය හැකිය. ඒ, පරිගණකයකට තමා කරන දෙයක් ගැන සිතා එය නවත්වාගන්නට හැකි වේ ද යන්න යි.

පාඩම් කරමින් සිටිය දී යමක් ගැන Search කරන්නට ෆෝන් එක අතට ගත් බවත්, එහෙත් මේ කරමින් සිටින්නේ ෆේස්බුක් එක දිගේ පහළට යන බවත් ඔබට ඊ‍ට විනාඩි 20කින් පමණ යළි පියවි ලෝකයට ආ අවස්ථාවේ තේරෙන්නට ඇත. මෙන්න මේ ‘පියවි ලෝකයට ඒම’ හෙවත් තමා කරන-කියන දේ ගැන තමාම නුවණින් විමසා එය නතර කරගැනීම අපේ මනසට ඇති අපූරු හැකියාවකි.

වැඩිදුර කියැවීමට: හිත තියෙන්නේ හදවතේ ද මොළයේ ද?

බ්‍රිතාන්‍ය පරිගණක විද්‍යාඥයකු වූ ඇලන් ටියුරින් පෙන්වා දුන්නේ පරිගණකයකට තමා කරන දේ ස්වයංව නවත්වාගන්නට නොහැකි බවයි. කිසියම් වැඩසටහනක් ධාවනය වෙද්දී එය කිසිදා නොනවතින එකක් බව තීරණය කොට, එය නවතා දැමිය හැකි හැකියාවක්/Process එකක් ඊට ඇතුලත් කළ බව සිතමු. එහෙත්, වෛරසයක් වැනි විශේෂයෙන් සැකසූ වැඩසටහනක් තමා නැවතීමට ආසන්න බව, දිගින් දිගටම කියමින් අපේ Process එක රවටන්නට ඉඩ ඇත.

සවිඥානික බවට අදාල මොළයේ කොටස අපට අනුකරණය කළ නොහැකිදැ යි ඔබට සිතෙන්නට පිළිවන. අවාසනාවකට, මොළයේ විවිධ දෑ විවිධ තැන් වලින් සිදුවන නිසා MRI ස්කෑන් ප්‍රතිඵලවලින් (දැනට) හෙළිව ඇත්තේ සවිඥානික බව එක් ස්ථානයකට සීමා නොවන බව යි. එබැවින් එය පරිගණකයකට දිය හැක්කේ කෙසේ ද යන්න තවමත් සැලසුම් කළ නොහැකි ය. ටර්මිනේටර් චිත්‍රපටය සැබෑවක් විය හැකිදැ යි සිතෙන්නේ එවිට ය.

ඉතින්, පරිගණකයක් සැකසීම ‍විනා අපේ සවිඥානිකත්වය ක්‍රියාත්මක වන්නේ කෙසේදැ යි කියාවත් දැනගන්නට භෞතිකවාදී අපට තවමත් හැකිවී නොමැත. ඒ නිසා මේ ඔළුව විකාර කරවන ගැටළු පසෙක දමා, අර කලින් හදන්නට පටන් ගත් කාර් රථයෙන් අපි මෙතැනින් පැන යමු!

කවරය: medium.com

මූලාශ්‍රයයන්:

  • wired.com
  • scientificamerican.com
  • ncbi.nlm.nih.gov
  • doi.org
  • academic.oup.com

Related Articles