Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොළය කෙළින්ම පරිගණකය වෙත සම්බන්ධ කරන Neuralink

ඔබ Cyborgsවරුන් ගැන අහලා තියෙනවා ද? ඔබ චිත්‍රපට විද්‍යා ප්‍රබන්ධ වැනි දේට ආස කරන නරඹන පුද්ගලයෙක් නම් මේ සංකල්පය එතරම් ඔබට නුහුරු නොවෙන්න පුළුවන්. හිතන්න මොළයෙන් විධානයක් ලබා දී විවිධ උපාංග වැනි දෑ ක්‍රියාත්මක කරවන්න ඔබට හැකි වුණොත් කොහොමද? මේ තාක්ෂණය තවදුරටත් විද්‍යා ප්‍රබන්ධවලට සීමා වෙන්නේ නැහැ. 

Tesla සමාගමේ නිර්මාතෘ වන Elon Muskගේ නවතම තාක්ෂණික ව්‍යාපෘතිය ලෙස ඔහු ආරම්භ කළ Neuralink ආයතනය, පරිගණකය සහ මිනිසා අතර සම්බන්ධතාවන් ගොඩනගන්නට නවමු පියවරක් තබන්නට පසුගිය දිනෙක සමත් වුණා. කෙළින්ම Cyborgවරු නොවුණත්, එම සංකල්පය පාදක කරගෙන තමයි මේ නව පියවර ගොඩනැගෙන්නේ. Brain Machine Interfaces (BMI)/ Brain computer Interface (BCI) එහෙම නැති නම්, පරිගණකය සහ මිනිසා අතරට අතුරු මුහුණතක් එක් කරමින් සම්බන්ධතාවයන් ගොඩනැගීම මේ සංකල්පයේ මුලික පදනම බවට පත්වෙනවා. මෙහි දී සිදුවන්නේ; electrodes (ඉලෙක්ට්‍රොඩ) භාවිතයෙන් මිනිස් මොළයේ ස්නායු ලබාදෙන විවිධ සංවේදනයන් විදානයන් බවට පරිවර්තනය කරමින් බාහිර උපකරණය හෝ උපාංගය ක්‍රියාත්මක කර වීම යි. මෙලෙසින් පාලනය කිරීමට හැකි උපාංග ලෙස පරිගණක හෝ රොබෝ අත් වැනි දෑ සලකන්න පුළුවන්. එවැනි සංකීර්ණ කාර්යයන් වෙත යොමු වීම කාලය ගත වන කටයුත්තක් බැවින්, 2020 දී ඔවුන් ඒ වෙනුවෙන් මිනිසුන් යොදාගෙන පර්යේෂණ සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

flexible BMI හි ප්‍රමාණය සංසන්දනාත්මකව- independent.co.uk

මේ තාක්ෂණ සංකල්පය යම් කාලයක සිට විවිධ පර්යේෂණ සඳහා භාවිත වුණා. කොහොම වුණත්, Neuralink සමාගම BMI තාක්ෂණය (Brain Machine Interfaces) තවත් පියවරක් ඉදිරියට ගෙන යන්නට සමත් වුණා. මේ BMI devices ස්නායු ආබාධ සහිත පුද්ගලයන් වෙත පිහිට වීමට භාවිත වේවි. ඒ ඔස්සේ ඔවුන්ගේ රෝගවල නවතම තත්ත්වයන් සහ රෝග ලක්ෂණ ඉතාම සමීපව නිරීක්ෂණය කරන්නට වෛද්‍යවරුන් වෙත පහසුකම් සලසාවි. ඒ වගේම මේ මඟින් කෘතිමව ඔවුන් වෙත සම්බන්ධ කරන අත්-පා පාලනය කිරීමටත් ඔවුන්ට හැකි වේවි. මෙය තව දුරටත් වැඩි දියුණු කිරීම්වල දී මොළය සමග සෘජුවම සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක විය හැකි කෘත්‍රීම බුද්ධි වැඩසටහන් පවා නිර්මාණය වෙනු ඇති බව විද්වතුන්ගේ මතය යි. ඒ ඔස්සේ වඩාත් ඉක්මනින් මොළයේ ස්නායු මඟින් ලබාදෙන විධානයන් නිවැරදිවත්, කාර්යක්ෂමවත් සිදුකිරීමට හැකියාව ද ඒ ඔස්සේම ලැබේවි. මේ වන විටත් මේ හා සමාන තාක්ෂණයන් ලෝකයේ භාවිතා වෙනවා. නමුත්, මේ වෙද්දී භාවිතයේ තිබෙන උපාංග සම්බන්ධ කිරීමේ දී සහ පාලනය කිරීමේ දී මතු වන ප්‍රධාන ගැටළු රාශියක් තිබෙනවා. මේ වෙද්දී භාවිතයේ තිබෙන BMI උපාංග නිර්මාණය වෙන ප්‍රධාන අමුද්‍රව්‍ය බවට පත් වෙන්නේ සිලිකන්. සාමාන්‍ය භාවිතයේ තිබෙන BMI උපාංග සැබෑ මොළයේ පටකවලට වඩා විශාලත්වයෙන් වැඩි වීම නිසා, ඒවා මොළයේ තැන්පත් කිරීම් කොතරම් සුක්ෂමව සිදුකළත් අවට පටක වෙත හානි සිදුවීම හා ඒ ඔස්සේ ලබාගන්නා දත්ත අස්ථායි වීමට ලොකු ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම මේ උපාංග මොළය තුළ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලි ආරම්භ කර වීම නිසා මොළය මඟින් ප්‍රතික්ෂේප වෙන්නටත් ඉඩ තිබෙනවා. 

flexible BMI හෙවත් නම්‍යශීලී උපාංග

මේ වන විට භාවිතයේ පවතින BMI හෝ BCI උපාංගයන්ගේ පවතින දෝෂ සහ ගැටළු මතු නොවන ලෙස, නව උපාංග මාලාවක් නිර්මාණය කරීමට Neuralink ආයතනය සමත් ව තිබෙනවා. ඔවුන් ඒ වෙත නම යොදා තිබෙන්නේ “flexible BMI” ලෙසිනුයි. මේ නව flexible BMI උපාංග තැන්පත් කිරීම්වලට මොළයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එරෙහි වීම අවම කිරීමට ඔවුන් යොදාගන්නා රැහැන් ආදිය ඉතාම සියුම්ව නිර්මාණය කොට තියෙනවා. ඒ වගේම වර්තමානයේ භාවිතයේ තිබෙන උපාංගවලට වඩා කුඩා ලෙස මෙය නිර්මාණිත යි. මෙම උපාංග මොළය තුළ තැන්පත් කිරීම සිදුවෙන්නෙත් ඒ වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය වූ රොබෝවරු මඟිනුයි. 

විශේෂයෙන් නිපද වූ රොබෝවරු- independent.co.uk

මේ රොබෝවරු මොළයේ ස්නායුවලට සහ පටකවලට හානි නොවන ලෙස අදාළ උපාංග තැන්පත් කිරීම සඳහා සුවිශේෂී අන්වීක්ෂ භාවිත කරනවා. තාමත් පර්යේෂණ මට්ටමේ තිබෙන මේ  flexible BMI සමග 2020 දී මිනිසුන් යොදාගෙන සායනික පර්යේෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බව Musk සඳහන් කර සිටියා. Neuralink ආයතනය සමග ඔහු මේ සොයාගැනීම පිළිබඳව හෙළිදරව් කළේ San Francisco හි දී පැවැත්වූ උත්සවයක දී යි. මේ නව උපාංගය කන පිටුපස පළඳිනු හැකි ලෙසින් සකසා ඇති අතර, මෙහි ක්‍රියාකාරිත්වය වැනි දේ ඔබේ ජංගම දුරකතනයේ app එකක් මඟින් දැකගන්නට හැකි වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. අනාගතයේ කිසිදු ක්‍රියාකාරකමකින් තොරව මොළයෙන් ලබාදෙන විධානයකින් විවිධ උපාංග ක්‍රියාත්මක කර වන මට්ටමට මේ තාක්ෂණය පත් වන බව යි, ඔහුගේ අදහස.

කෙසේ වෙතත්, මෙහි අයහපත් බලපෑම් තිබෙන බවට අද වෙද්දී යම් යම් මත පළ වෙමින් තිබෙනවා. මෙම උපාංග භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධව ගැටළු මතු විය හැකි බව තමයි, වඩාත් ප්‍රබල මතය බවට පත් වෙන්නේ. මොළය කෙළින්ම පරිගණකය සමග සම්බන්ධ වීම සිදුවන නිසා විවිධ දත්ත කෙළින්ම මෙතුළින්ම ලබාගැනීමට අදාළ ආයතනවලට හැකි වනු ඇති බව යි, මොවුන්ගේ මතය. Neuralink ආයතනය Facebook ආයතනය සමග එකාබද්ධව තමයි මෙකී කටයුත්ත සිදුකරන්නේ. ඔබට මතක නම් Facebook ආයතනය, පරිශීලක දත්ත අවභාවිතාව ගැන කිහිපවිටෙක දී ම චෝදනා ලැබූ ආයතනයක්. මේ අපි ඒ පිළිබඳව පළ කළ ලිපියක්

Facebook ආයතනය නිර්මාණය කළ මොළයේ තරංග කියවිය හැකි උපාංයේ මූලාකෘතියක් (prototype)- theconversation.com

මීට අමතරව එකී උපාංග ඔස්සේ පුද්ගල මොළය පරිගණකය වෙත සම්බන්ධ කිරීම මඟින්, මොළය Hackerවරුන් වෙත විවෘත කිරීමක් ලෙසත් ඇතැමුන්ගේ මතයක් පවතිනවා. එමෙන්ම මේවා ආශ්‍රයෙන් මිනිසුන් විවිධ දේ සඳහා යොමු කිරීමත් සිදුවිය හැකි බව යි, ඔවුන්ගේ මතය.

මේ ගැන මොකද ඔබ හිතන්නේ? ඔබේ මොළයෙන් විධානයන් නිකුත් කරමින් විවිධ උපාංග ක්‍රියාත්මක කර වීම කොයි වගේ අත්දැකීමක් වේවි ද? ඒ ගැන ඔබේ අදහස් පහළින් comment කරන්න අමතක කරන්න එපා.

Related Articles