Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Samsung ෆෝන්වලට නව අත්දැකීමක් ගෙන එන One UI

ප්‍රථම Galaxy S දුරකතනය සමග TouchWiz හරහා සැම්සන්ග් සමාගම Android වලට ඔවුන්ගේම වෙනස් පෙනුමක් ගෙන ආවා. එනමුත් වැඩි දෙනෙක් ඉන් ලැබුණු අත්දැකීමට සතුටක් දැක්වූයේ නැහැ. විවිධ Animation, Iconවල වෙනස්කම් සහ වර්ණ මෙන්ම පෙරනිමියෙන් ස්ථාපිතව එන දහසක් Apps පිළිබඳව Pure android වලට ප්‍රිය කළ අය මැසිවිලි නැඟුවා. පසුව 2016 වර්ෂයේදී Samsung Experience අතුරු මුහුණත හඳුන්වාදුන් අතර දැන් එය තවත් සරල කරමින්, තනි අතින් භාවිතය පහසු කරමින් සහ Night mode එකක් ද සමග One UI ලෙස හඳුන්වාදීමට සැරසෙනවා.

තනි අතට එරෙහි විශාල තිරයන්

තිරයේ පහළ කොටසට වැඩි වටිනාකමක් (samsung.com)

පැරණි ස්මාර්ට් දුරකතන කෙතරම් කුඩා ද යන්න වැටහෙන්නේ දැන් ඒවා යළි දකිද්දී යි. Galaxy S සහ iPhone 4 වැනි දුරකතන මීට වසර හයකට පමණ පෙර දේවත්වයෙන් පුදනු ලැබූ “විශාල” දුරකතන වූ අතර ඒවා ඉතාම පහසුවෙන් තනි අතින් පාවිච්චි කළ හැකි වුණා. ටැප් කිරීම් පමණක් නොව, Maps හෝ ඡායාරූප බලද්දී Zoom කිරීමට තනි අතින් Pinch කරන්නට පවා හැකියාව තිබුණා. නමුත් කාලානුරූපව තිර ප්‍රමාණයට සාපේක්ෂව දුරකතන ද විශාල වී යාමෙන් මහපටැඟිල්ල පමණක් තිරය මත අමාරුවෙන් හැසිරවීමට සිදුව තිබෙනවා. සැම්සන්ග් සමාගම මේ සඳහා කරන පහසුම උපක්‍රමය තිරයේ ඉහළ වැඩි කොටසක් ඉඩ තබා මෙනු සහ ටැබ් බොත්තම් ඉදිරිපත් කිරීම යි.

ඇන්ඩ්‍රොයිඩ් Pie මත One UI හි දක්නට ඇති විශේෂත්වය වන්නේ, එහි Tabs තිරයේ යට කොටසට යොමු කර තිබීම යි. මේ නිසා තනි අතින් පාවිච්චිය පහසුව තිබෙනවා. Clock හෝ Messaging app උදාහරණ ලෙස ගතහොත්, මීට පෙර ඉහළින් තිබුණු World Clock, Messages ආදි වූ ටැබ් තීරය පහළට ගෙනැවිත් තිබෙනවා. Alarm ලැයිස්තු ආරම්භය තිරයේ ඉහළට යොදනු වෙනුවට තිරය මැදින් පෙන්වනවා. ඊට ඉහළින් තිරයේ ඉහළ කොටසින් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගත් විශාල අකුරු පෙළකින් මීලඟ Alarm එකට ඇති පැය ගණන පෙන්වනවා. Messages ඇප් එකෙහිත් තිරයෙන් අඩක පමණ විශාල අකුරින් Messages ලෙස දක්වා, තිරයේ පහළට ආසන්නයෙන් Search, Menu බොත්තම් සහ අනතුරුව මැසේජ් ලැයිස්තුව ඇරඹෙනවා. ලැයිස්තුව ඉහළට Scroll කරද්දී එය මුළු තිරයම අත්පත් කරගන්නවා. Dialer, Contacts, Calendar ඇතුළු Stock apps වල මෙම සැලසුම දකින්නට තිබෙනවා.

කැමරාවට සහ Animations වලට වෙනස්කම්

Scene Optimizer විශේෂාංගය සහ ඇනිමේෂන් නැවැත්වීමේ පහසුකම (xda-developers.com)

Samsung සමාගම camera app එකට නව පෙනුමක් ලබා දී තිබෙනවා. නිශ්චල ඡායාරූප සඳහා, වීඩියෝ, පැනොරාමා, සෙල්ෆි ආදිය අතර මාරු වීම ද දැන් තිරය පහළින් ම කළ හැකියි. පහළ දකුණින් තිබූ Zoom බොත්තම දැන් ෂටර් බොත්තම ආසන්නයෙන් මැදින් යොදා තිබෙනවා. නිතර භාවිතා නොවන AR Emoji, Bixby Vision විශේෂාංගයන් ද ෆ්ලෑෂරය, timer, සහ ෆිල්ටර් බොත්තම් සමග තිරය ඉහළින් යොදා තිබෙනවා. කැමරාවට අලුතින් Scene Optimizer නමැති mode එකක් ලබා දී ඇති අතර ඉන් දීප්තිමත් වර්ණ සහිත ඡායාරූපය ගන්නට පුළුවන්.

සැම්සන්ග් අතුරු මුහුණතෙහි ඇති විවිධ animations වලට අකමැති වුණු අයට මෙන්ම ඒවා නිසා දුරකතනය Slow වන බව දැනෙනවා නම් ඒවා සියල්ල ඉවත් කර One Plus දුරකතනයක් පාවිච්චි කරනවාක් මෙන් අත්දැකීමක් ලබා ගන්නට අවස්ථාව සලසා තිබෙනවා. Settings වලින් Remove Animations යන්න සක්‍රීය කිරීමෙන් පසු සැම්සන්ග්වලට ආවේණික චලන රැසක් ඉවත් කරලන්නට හැකියි.

අඳුරේ දුරකතනය පාවිච්චි කරන්නට Night mode

Night mode සක්‍රීය කරන ආකාරය (androidcentral.com)

බොහෝ දෙනෙක් රාත්‍රියේදී කාමරයේ විදුලි පහන් නොදල්වා දුරකතනය පාවිච්චි කරන නිසා ඇස්වලට ඇතිවන අපහසුතාව වැඩියි. අවට අඳුරුව තිබිය දී සුදු ආලෝකයට ඇස අරමුණු වූ විට එය නිදිමත නැති කරමින් පසුදිනට වැඩි තෙහෙට්ටුවක් ගෙන දෙන්නට ද බලපානවා. මේ සඳහා විසඳුමක් ලෙස Blue light filter විශේෂාංගය සැම්සන්ග් සමාගම ලබා දී ඇතත්, OLED සහිත උපාංග වලින් ඊට වඩා යමක් අපිට බලාපොරොත්තු විය හැකියි. මන්ද, ඒවායේ කළු පැහැය දර්ශනය කරද්දී තිරයේ අදාල කොටස් සම්පූර්ණයෙන්ම නිවා දැමෙන නිසා බැටරිය පවා ඉතිරි වෙනවා.

නව One UI සමග ලැබෙන Night mode එක පද්ධති අතුරුමුහුණත සම්පූර්ණයෙන්ම පාහේ තද කළු පැහැ ගන්වමින් ඇසට සහනය ගෙන එනවා. ඒ අනුව, Stocks apps, Settings ආදී බොහොමයක් Night mode එකෙන් පාවිච්චි කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා.

Button වෙනුවට Gestures

තිරය හා කටයුතු කිරීමට නව Gestures (cbsistatic.com)

තිරය මත Navigation බොත්තම්වලට 2015 වන විට වෙනත් සමාගම් මාරු වෙද්දී සැම්සන්ග් සමාගම තම Home button එක සහ එය දෙපසින් යොදන Back සහ ‘Recent Apps’ යන ටච් බොත්තම් සමගම රැඳෙමින් සිටියා. දැන් ඉන් තවත් ඔබ්බට යමින් Pixel වැනි දුරකතනවල (Pure android වල) දකින්නට නැති නව Gestures කිහිපයක් One UI හරහා Samsung සමාගම ගෙන එනවා.

Settings හරහා සාම්ප්‍රදායික Navigation බොත්තම් වෙනුවට iPhone Xහි තිරය යටින් ඇති ඉර වැනි කඩ ඉරි තුනක් ලබා ගන්නට පුළුවන්. අනතුරුව, බොත්තම් ටැප් කරනවා වෙනුවට එම ඉරි මතින් හෝ තිරයේ ඒ ආසන්න ඉහළ ප්‍රදේශය තුළ ‘පහළ සිට ඉහළට’ ඇඟිල්ල ගෙන යා යුතු යි. උදාහරණයක් ලෙස, Back බොත්තමට අදාල ප්‍රදේශයේ එලෙස ඉහළට swipe කළ විට පෙර පිටුවට/තිරයට පැමිණෙනවා.

නව Icons සහ lift to wake විශේෂාංගය

One UI සඳහා සැම්සන්ග් සමාගම නව අයිකන පෙළක් ගෙන එනවා. මේවා පෙර තිබූ Experience UI එක සතුවූ ඒවාට වඩා කාටූන් පෙනුමක් ගෙන ඇති නිසා ඉන් Professional ගතිය ටිකක් අඩුව ඇත්දැ යි සැක පහළ වෙනවා. ඔවුන් තම අකුරු විලාසය (Font එක) ද වෙනස් කර තිබෙනවා. අයිකනවල දාරය පෙර පරිදිම අඩ-රවුම් ලෙස පවතින අතර Settings වල ද Group කර ඇති අයිතමවල දාර රවුම් කර ඇත්තේ තිරයේ දාරයේ සැකැස්මට ගැලපීමට විය යුතු යි. Launcher එකත් iOSවල ආකාරයට Slide කරද්දී ඇප්ස් පෙනෙන ආකාරයට හෝ පෙර පරිදිම ඇන්ඩ්‍රොයිඩ් ආකාරයට App drawer එක යොදාගන්නට අවස්ථාව සලසා තිබෙනවා.

ෆෝන් එක අතට ගෙන තිරය පණ ගැන්වුමට බොත්තමක් ඔබන්නේ නැතිවම Iris scanner එක ද පාවිච්චි කරමින් ඍජුවම ෆෝන් එක unlock කිරීමේ හැකියාව lift to wake සමග ලැබෙනවා. මෙමඟින් දුරකතනය මේසට මත තිබී අතට ගැනීම හඳුනාගනිමින් තිරය පණ ගැන්වීම සිදු කරනවා.

දැනට One UI අතුරුමුහුණත බීටා අවස්ථාවේ තිබෙන අතර, S9/S9+ හෝ Android 9 Pie ධාවනය කරන දුරකතනයකින් Samsung Members ඇප් එක හරහා Beta program එකට එක් වීමට හැකියි. නිෂ්පාදිත රට සහ model එක අනුව පිවිසුම් සීමා කර ඇති නිසා හැමෝටම අවස්ථාවක් නැහැ.

කවරය: samsung.com

මූලාශ්‍රයයන්: samsung.com, xda-developers.com, androidauthority.com, bgr.in

Related Articles