Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 අමරණීය කරවන අභ්‍යවකාශ ගමන්

2020 අලුත් දශකයක ආරම්භයක්, අලුත් කතාන්දරවල ආරම්භයක්, ඉතිහාසය නැවත ලියැවෙන-අලුත් වෙන අවුරුදුද්දක්. එහෙම වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. ඒ අතරට මේ වසර පුරාවට ක්‍රියාත්මක වීමට නියමිත අභ්‍යවකාශ ගමන් ගැනත් සඳහන් නොකරම බැහැ. මේ ලිපිය හරහා බලාපොරොත්තු වෙන්නේ ඉතිහාස පොතට අලුතින් එක් වීමට නියමිත සුවිශේෂී අභ්‍යවකාශ ගමන් පිළිබඳව ගෙන ඒමට යි. අපටත් වැඩි කලක් නොගොසින්ම අභ්‍යවකාශ ගත වෙන්න හැකි වෙන බව ලිපිය කියවන ඔබට වැටහේවි.

අභ්‍යවකාශ ගමන් වානිජකරණය වීම 

Elon Musk ගැන කියූ සැනින් ඔබට මතක් වෙන දේවල් අතර SpaceX (ස්පේස් එක්ස්) සමාගම සුවිශේෂී තැනක් ගන්නවා. SpaceX සමාගම 2020 වසර ආරම්භ කරන්නේ අතිශය කාර්යබහුල ලෙසිනුයි. ඔවුන් මේ වසරේ දී ලෝකයේ පළමු වරට සාමාන්‍ය මගීන් අභ්‍යවකාශය වෙත ගෙන යාමේ මෙහෙයුමක් වෙත සුදානම් වෙනවා. මෙම මෙහෙයුමට යොදාගන්නා යානය (කැප්සියුලය) SpaceX Dragon ලෙසින් හැඳින්වෙනවා. මෙහි පළමු ගමන වෙන්නේ NASA අභ්‍යවකාශගාමීන් ISS වෙත රැගෙන ගොස් නැවත පෘතුවිය බලා රැගෙන ඒම යි. පසුගිය දිනෙක Elon Musk මෙහි දී සිදුවන ක්‍රියාවලිය ගැන වගේම, ඉදිරියේ දී අභ්‍යවකාශය සාමාන්‍ය ජනයාට විවර වන ආකාරය පිළිබඳව Simulation Video එකක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබුණා. SpaceX Dragon යානය අභ්‍යවකාශය වෙත රැගෙන යන කාර්යය පැවරෙන්නේ Falcon 9 (Launch vehicle) යානය වෙත යි. ඊට අමතරව ස්පේස් එක්ස් ආයතනය මුළු ලොවටම පුළුල් අන්තර්ජාල සේවා ආවරණයක් ලබාදීම සඳහා සකස් කරන “ස්ටාලින්ක් චන්ද්‍රිකා” පන්තියට මේ වසරේ දී තවත් චන්ද්‍රිකා එක් කිරීමට නියමිත යි. 

SpaceX සමාගම සමග 2020 වසරේ සාමාන්‍ය ජනයාට අභ්‍යවකාශය විවර කිරීමේ තරගයට එක්වෙන ප්‍රධානම තරගකරුවා වන්නේ, සුප්‍රකට ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන Boeing සමාගම යි. මෙහි යානය වෙත (කැප්සියුලය) යොදා තිබෙන නම වෙන්නේ Boeing CST-100 Starliner යි. ස්ටාර්ලයිනර්,  නාසා ආයතනයේ වාණිජ කාර්ය මණ්ඩල වෙත බෝයිං විසින් නිෂ්පාදනය කරන ලද කාර්ය මණ්ඩල කැප්සියුලයක්. මෙහි මූලික අරමුණ වන්නේ නාසා ආයතනයේ වාණිජ කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සහ යෝජිත බිගෙලෝ වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැනි පුද්ගලික අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම යි. ඉතිහාසයේ පළමු වරට පුද්ගලික සමාගම්වල මැදිහත් වීමෙන් මිනිසුන් අභ්‍යවකාශයට ගෙන යෑම මේ වසර පමණක් නොව පුරා දශකයම සුවිශේෂ එකක් කිරීමට ප්‍රමාණවත්. 

SpaceX Dragon කැප්සියුලය රැගත් Falcon 9 (Launch vehicle)- spacex.com

සූර්යයා නිරීක්ෂණයට Solar Orbiter මෙහෙයුම් 

2020 වසරේ පෙබරවාරි මාසයේ දී සූර්යයා නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ යානයක් අභ්‍යවකාශගත කිරීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ නාසා ආයතනය එක්ව සුදානම් වෙනවා. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කේප් කැනෑවරල් (Cape Canaveral, Florida) සිට Atlas V 411 රොකට්ටුවෙන් මෙය  අභ්‍යවකාශගත කිරීමටයි නියමිත. නිරීක්ෂණ යානය බුද ග්‍රහයාගේ කක්ෂය තුළ සිට (හිරුට ඇස්ට්‍රොනොමිකල් ඒකක 0.28ක් තරම් ආසන්නයට) සුර්යා නිරීක්ෂණය සිදුවෙනවා. මේ නිරීක්ෂණ මෙහෙයුම වෙත ගතවන කාලය වසර 7ක් බව තමයි වාර්තා වෙන්නේ. මේ කාලය පුරාවට හිරුගේ අධි දීප්ත ඡායාරූප ගැනීම සහ හිරු ආසන්නයේ සිට නිරීක්ෂණය කිරීම සිදුවේවි.

Solar Orbiter හි Illustration එකක් – americaspace.com 

අඟහරු බලා අභ්‍යවකාශගත වෙන යානා 

අඟහරු ග්‍රහයා සිය කක්ෂයේ පෘතුවියට ආසන්නතම ලක්ෂ්‍යයක ස්ථානගත වෙන වසරක් විදිහට ලැබූ 2020 වසර හඳුන්වන්නට පුළුවන්. උදාවන අවස්ථාවෙන් අඟහරු ග්‍රහයා නිරීක්ෂණය කිරීමට ලෝකයේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතන ගණනාවක් තමන්ගේ පර්යේෂණ රෝවර්, අඟහරු ග්‍රහයා වෙත පිටත් කිරීම 2020 වසර පුරාම සිදුවේවි. ප්‍රධාන වශයෙන් නාසා ආයතනය ඔවුන්ගේ අඟහරු රෝවරය ජූලී 17 වැනි දින ඇමරිකාවේ Cape Canaveral හි දී ගුවන්ගත කිරීමට සුදානම්. එය එළඹෙන 2021 වසරේ පෙබරවාරි 18 වැනි දා අඟහරු වෙත ගොඩබැස්වීම ඔවුන්ගේ අරමුණ යි. මෙය Atlas V රොකට්ටුවෙන් අභ්‍යවකාශ ගත වේවි.

https://mars.nasa.gov වෙබ් අඩවිය වෙත පිවිස මෙහි Countdown එක දැකබලාගන්න ඔබට පුළුවන්.

ඊට අමතරව යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ රුසියාවේ රොස්කොස්මොස් ආයතනය එක්ව Rosalind Franklin (රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින්) නම් රෝවරයක් අඟහරු වෙත පිටත් කිරීමට සුදානම් වෙනවා. මේ රෝවරය මුලින් ExoMars rover ලෙස නම් කර තිබුණා. මෙය මේ වසරේ ජූලි මාසයේ 25 අභ්‍යවකාශගත කිරීමට සුදානම් වන අතර, එළඹෙන 2021 වසරේ මාර්තු මාසය වන විට අඟහරු වෙත ගොඩබැස්වීමට නියමිත යි. 

මේ දෙකට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය “හෝප් මාර්ස් මිෂන්” යන තේමාව යටතේ අඟහරු නිරීක්ෂණ චන්ද්‍රිකාවක්, මෙම වසරේ කක්ෂගත කිරීමට තිබෙන සුදානමක් ගැනත් අපට දැනගන්න ලැබෙනවා. එය මේ වසරේ ජූලි මාසයේ අභ්‍යවකශගත කිරීමට සුදානම් වන අතර, නිශ්චිත දිනයක් පිළිබඳව තවමත් සැල වන්නේ නැහැ. ඒ කොහොම වුණත්, මේ යානයත් 2021 වෙද්දී අඟහරු වෙත ළඟා වීම සිදුවේවියැ යි අපේක්ෂා කෙරෙනවා. 

මාධ්‍ය වෙත අඟහරු නිරීක්ෂණ රෝවරය ප්‍රදර්ශනය කිරීම- mars.nasa.gov
  • මීට අමතරව ඉන්දියාවෙන් තවත් රොකට්ටුවක් ගුවන්ගත කිරීමේ සූදානමක් ගැන දැනගන්න ලැබෙනවා. මේ රොකට්ටුව කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා එසේ නොමැති නම්, ක්ෂුද්‍ර චන්ද්‍රිකා කක්ෂගත කිරීමට විශේෂිතව නිර්මාණය කරන ලද්දක් බව තමයි වාර්තා වෙන්නේ. 
  • තවත් වරක් සඳ මතුපිටට රෝවරයක් යැවීමට පවතින සුදානමක් පිළිබඳව චීනය දෙසින් තොරතුරු වාර්තා වෙනවා. පසුගිය වසරේ ක්‍රියාත්මක කළ Chang’e-4 ව්‍යාපෘතියේ මීළඟ පියවර ලෙස යි මේ වසරේ දී මෙය ක්‍රියාත්මක වෙන්නේ. Chang’e-5 ලෙස නම් කර ඇති එම මෙහෙයුමේ අරමුණ වන්නේ සඳ මතුපිටට ලෑන්ඩරයක් සහ රෝවරයක් යවා, එමඟින් සඳෙන් පස් ආදී වශයෙන් ද්‍රව්‍ය ප්‍රමාණයක් පර්යේෂණ සාම්පල ලෙස පෘථිවිය වෙත ගෙන්වා ගැනීම යි. Chang’e-5 සාර්ථක වුවහොත්, Apollo 1972 මෙහෙයුමෙන් පසුව සඳෙන් සාම්පල ගෙන ආ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වනු ඇති.

 

  • Orbital Test Vehicle එසේ නොමැති නම්, X-37B space plane නැවත වරක් ගුවන්ගත කිරීමට ඇමරිකාව සුදානම් වෙනවා. වසරක් පමණ අභ්‍යවකාශයේ රැඳෙන්න හැකියාව ඇති මේ යානා ගුවන්ගත කරන 6 වැනි වතාව බව යි වාර්තා වෙන්නේ. අභ්‍යවකාශයේ රහසිගත නිරීක්ෂණ මෙහෙයුම් සඳහා භාවිත කරන යානාවක් ලෙසින් මෙය සුප්‍රකට යි.
  • වර්ජින් ගැලැක්ටික් සමාගම, නිව් මෙක්සිකෝ හි ඔවුන්ගේ “ස්පේස් පෝට් ඇමරිකා” හි සිට අභ්‍යවකාශ සංචාරකයන් රැගත් අභ්‍යවකාශ ගුවන් යානයත්, ඇමසන් සමාගම හිමි බිලියනපති ජෙෆ් බෙසූස්ගේ අදහසක් වන බ්ලූ ඔරිජින් නම් පුද්ගලික අභ්‍යවකාශ සමාගම ඔවුන්ගේ “ෂෙපර්ඩ්” නම් අභ්‍යවකාශ යානයත් මේ වසරේ දී පරීක්ෂාවට ලක් කරනු ඇති.

ගුවන් යානා ටිකට්පතක් රැගෙන රටකින් රටකට පියාසර කරනවා සේ ම, අභ්‍යවකාශ ගමනත් සාමාන්‍යකරණය වන දවස වැඩි ඈතක නොවන බව දැන් අපට පැහැදිලි යි. මේ පිළිබඳව ඔබ දරන අදහස් පහළින් පළ කරන්නත් අමතක කරන්න එපා. 

සබැඳි ලිපි: 

ටෙස්ලා සමාගමේ අලුත්ම ‘සයිබර්ට්‍රක්’ රථ 

මූලාශ්‍රයයන්:

Observer.com

Americaspace.com 

Nasa.gov  

Mars.nasa.gov 

Esa.int 

Space.com 

Youtube.com 

කවරය- nytimes.com

Related Articles