Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොකු ලොකු ෆයිල් ඉක්මණින් හුවමාරු කරගන්න ඉඩ සලසන SHAREit

තමන් ළඟ තියෙන පින්තූර, වීඩියෝ, ගීත, හෝ වෙනත් ෆයිල් තවත් කෙනෙක් එක්ක හුවමාරු කරගන්න එක පරිගණකවල මුල් අවධියේ ඉඳන්ම තිබුණු අවශ්‍යතාවක්. පරිගණක අතර මෙය කරගන්න මුල් කාලේ තිබුණු පහසුම ක්‍රමය වුණේ ෆ්ලොපි ඩිස්ක්. තරමක් විශාල ෆයිල් සඳහා නැවත දත්ත ලිවිය හැකි CD ආදිය භාවිත කරන්න සිදු වුණා. කොහොම වුණත් පෙන් ඩ්‍රයිව් හා portable හාඩ් ඩ්‍රයිව් පැමිණීමත්, ඒවා එන්න එන්නම ප්‍රමාණයෙන් විශාල වීමත්, වේගවත් වීමත් එක්ක පරිගණක අතර ෆයිල් හුවමාරු කරන එකට පැහැදිලි විසඳුමක් ලැබී තිබෙනවා.

කෙටි කාලයක් තුළ එකම මිලකට ගත හැකි පෙන් ඩ්‍රයිව් එකක ධාරිතාව දහස් ගුණයකින් ඉහළ ගිහින් (imgur.com)

හැම දෙයක්ම මොබයිල් ලෝකයට හැරෙමින් පවතින මේ කාලයේ ජංගම උපාංග අතර ෆයිල් හුවමාරු කරගන්න එකට නම් ඒ තරම් සාර්ථක ක්‍රමයක් මෑතක් වන තුරු තිබුණේ නැහැ. අතීතයේ තිබුණු feature phone අතර කුඩා ෆයිල් හුවමාරු කරන්න බ්ලූටූත් තාක්ෂණයේ වේගය ප්‍රමාණවත් වුණත්, අද වන විට ස්මාට් උපාංග අතර මෙගා පික්සල් ගණනාවක පින්තූර, Full HD වීඩියෝ, සහ වෙනත් විශාල ෆයිල් ඉක්මණින් හුවමාරුවට එහි වේගය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. Cloud තාක්ෂණය මේ සඳහා තරමක් හොඳ විසඳුමක් වුවත් අධික ලෙස ඩේටා වැය වීම නිසා එයත් හැමවිට ම සුදුසු නැහැ.

ඉතින් ඒ වෙනුවට දිනෙන් දින වේගවත් වන WiFi තාක්ෂණය භාවිත කරලා යම් පිළියමක් යොදන්න කාලයක සිට ම උත්සාහයක් තිබෙනවා. WiFi Direct වැනි ක්‍රමවේද බොහෝ දුරකථනවල ඇතුළත් වුණත් වැඩි දෙනෙක් හුරු වී ඉන්නේ එක්තරා ඇප් එකක් දාගෙන ඒ වැඩේ කරන්න යි. ඒ තමයි SHAREit.

ඕනෑම උපාංගයක් එක්ක හුවමාරුවේ නිදහස සහ වේගය

pinimg.com

SHAREit ඇප් එක අතිශයින්ම ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ විවිධ උපාංග එක්ක ෆයිල් හුවමාරු කරන්න තියෙන හැකියාව යි. ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් වගේ ම වින්ඩෝස් ෆෝන් සහ වින්ඩෝස් පරිගණක අතර වුණත් ඉතාම පහසුවෙන් ෆයිල් හුවමාරු කරන්න මේ හරහා හැකියාව ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම ඇපල් උපාංගවලට බ්ලූටූත් හරහා කිසිසේත් ෆයිල් හුවමාරු කිරීමට ඉඩක් නැති නිසා ඩේටා වැය නොවී ෆයිල් හුවමාරු කරන්න තිබෙන්නේ ඉතාම සීමිත හැකියාවක්. ඒ වගේ අවස්ථාවල SHAREit වැනි ඇප් එකක් ඉතාම ප්‍රයෝජනවත් විය හැකියි.

කලිනුත් කිව්වා වගේ ම WiFi තාක්ෂණය යොදාගැනීමේ ප්‍රධානතම වාසිය වන්නේ ඉහළ වේගය යි. අන්තර්ජාල සම්බන්ධතාවල වේගය ඉහළ දමන්න තාක්ෂණික ආයතන විශාල උත්සාහයක් ගන්නා නිසා WiFi තාක්ෂණය වේගවත් කරන්නත් ඔවුන්ගේ පෙළඹවීම ඉතාම ඉහළ යි. WiFi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වී යමක් ඩවුන්ලෝඩ් කිරීම හෝ අප්ලෝඩ් කිරීමටම සමාන කටයුත්තක් උපාංග දෙකක් අතර සිදුකරන්න SHAREit වැනි ඇප් කටයුතු කරනවා.

pinimg.com

මෙයින් ලැබෙන වාසිය හිතාගන්න බැරි තරම්. සාමාන්‍ය බ්ලූටූත් හුවමාරුවක් වගේ 200 ගුණයක තරම් වේගයෙන් මෙය සිදුකළ හැකි බව SHAREit ඇප් එකේ විස්තරයේ දැක්වෙනවා. සැබෑ තත්ත්වය ඊට තරමක් අවම වුණත් තත්පරයට මෙගා බයිට් කිහිපයක වේගයෙන් ෆයිල් හුවමාරු කරන්න බොහෝ විට හැකියි. මෙය සාමාන්‍යයෙන් තත්ත්පරයට 200kb පමණ වේගයක් ඇති බ්ලූටූත්වලට සාපේක්ෂ ව ඉතාම ඉහළ වේගයක්.

ක්‍රියාත්මක කිරීමේ අපූරුව සහ පහසුව

SHAREit ඇප් එකේ මේ හුවමාරු සේවාව ක්‍රියාත්මක කරන්න යොදාගෙන තිබෙන පිළියමත් ඉතා අපූරු යි. ඇත්තට ම WiFi හරහා ඩේටාවල සම්බන්ධයක් නැතිව PAN  එකක් (පුද්ගලික නෙට්වර්ක් එකක්) හදාගෙන ෆයිල් හුවමාරු කිරීම අලුත් දෙයක් නෙවෙයි, සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට වුණත් කරන්න පුළුවන් දෙයක්. කොහොම වුණත් ෆයිල් එකක් හුවමාරු කරගන්න අවශ්‍ය වෙලාවට අලුතෙන් නෙට්වර්ක් එකක් හද හදා ඉන්න පෙළඹෙන අය අඩු යි. මේ කටයුත්ත ඉක්මන් කිරීම තමයි SHAREit වැනි ඇප්වලින් ලැබෙන ප්‍රධානතම පහසුව වෙන්නේ.

ndtv.com

SHAREit ඇප් එකට ගියා ම උපාංගයේ තිබෙන ෆයිල් හුවමාරු කරන්න හෝ ඒ වෙත ෆයිල් ලබාගැනීම මූලික වශයෙන් තෝරාගන්න පුළුවන්. ඉන් පස්සේ තමන්ට යවන්න අවශ්‍ය ෆයිල් තෝරාගන්න පුළුවන්. ඊළඟ පියවරේ දී තමන් අවට සිටින, ෆයිල් ලබාගැනීම සක්‍රීය කර ඇති අය ව කවයක් තුළ දැකගන්න ලැබෙනවා. අදාළ කෙනාගේ පින්තූරය (avatar එක) ක්ලික් කළ සැණින් අදාළ පුද්ගලයාගෙන් ෆයිල් ලබාගැනීමට කැමැත්ත විමසීම සිදුවෙනවා. ඉන්පසු ව උපාංග දෙක අතර WiFi සම්බන්ධතාවයේ උපරිම වේගයෙන් ෆයිල් හුවමාරුව සිදුවෙන්න ගන්නවා. අවශ්‍ය නම් QR කෝඩ් එකක් ස්කෑන් කිරීමෙනුත් හුවමාරුව ඊටත් වඩා පහසුවෙන් කරගන්න පුළුවන්.

අවශ්‍ය ලෙස WiFi Hotspot එක සැකසීම, WiFi සම්බන්ධතාව ඇති කිරීම, ඒ හරහා සර්වරයකින් අන්තර්ජාල දත්ත ලබාගන්නා ලෙස ම ෆයිල් යැවීම ඇතුළු තිරය පිටුපස කටයුතු සියල්ල SHAREit ඇප් එක විසින්ම සිදුකරනු ලබනවා.

ආරක්ෂාව සහ භාවිතයේ දී ඇති වන හිරිහැර ගැන කතා

SHAREit කියන්නේ අදටත් ලෝකයේ වැඩි ම ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් හිමි, අතිශයින්ම  ජනප්‍රිය ෆයිල් හුවමාරු ඇප් එක යි. ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් ස්මාට් උපාංග භාවිත කරන බොහෝ දෙනෙක් තමන්ගේ උපාංගයේ නැතිවම බැරි ඇප් එකක් විදිහටත් SHAREit තබාගෙන සිටිනවා. සම්පූර්ණයෙන් ම නොමිලයේ ලබාදෙන නිසාත්, භාවිතයේ පහසුව සහ ලැබෙන සේවාවේ වටිනාකම නිසාත් SHAREit හි රසිකයන් බොහොම යි.

Popup සහ අනවශ්‍ය features නිසා බොහෝ දෙනෙක්ට SHAREit එපා වෙලා (Roar/Indrajith)

කොහොම වුණත් අතීතයේ තිබුණු තවත් හොඳම ඇප් බොහොමයකට මෑතක සිට සිදු වී තිබෙන විනාශය SHAREit එකටත් සිදු වී ඇති බව දැකගන්න පුළුවන්. ඒ තමයි නව සංස්කරණවල දී කරදරකාරී අනවශ්‍ය දේවල් බොහොමයකින් ඇප් එකත් පුරවා දැමීම. කිසිවෙක් භාවිත කරන්න උනන්දුවක් නොදක්වන cleaner වැනි විශේෂාංගවලට RAM එක වැය වීම, වැඩකට නැති වීඩියෝවලට ඩේටා වැය වීම, නිතරම දකින්න ලැබෙන කරදරකාරී notification සහ pop-up ආදිය නිසා කාලයක සිට SHAREit භාවිත කරන බොහෝ දෙනෙකු තුළ තිබෙන්නේ ඒ ගැන නොසතුටු හැඟීමක්.

මෑතක සිට SHAREit ඇප් එකේ ආරක්ෂිත බව ගැනත් ගැටලුවක් තිබෙනවා. චීන රජය වෙනුවෙන් හොර ඔත්තු බැලීමේ නියැලෙන බවට ඉන්දියානු රජය මෑතක දී ප්‍රකාශයට පත් කළ ජනප්‍රිය චීන ඇප් අතරත් SHAREit ඇප් එක ඉදිරියෙන් ම තිබෙනවා. ඔවුන්ට අනුව මෙවන් ඇප් හරහා අපේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම ආදිය සිදුවීමේ ඉහළ ඉඩකඩක් පවතිනවා.

පරෙස්සමෙන් පාවිච්චි කරන හැටි

භාවිත නොකරන විට permissions අක්‍රීය කර දැමීම තරමක් හොඳ විසඳුමක් (gadgets360.com)

නිතර භාවිත නොකරන අවස්ථාවල SHAREit හි permissions සියල්ලමත්, notification සියල්ලමත් අක්‍රීය කර තැබීම මෙයට තරමක් හොඳ විසඳුමක් ලෙස දක්වන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට ඒවා සක්‍රීය කර ෆයිල් හුවමාරු කරගෙන ඉන්පසු ව ඒවා නැවත අක්‍රීය කර දමන්න පුළුවන්. තරමක් වැඩ වැඩි වුවත් එවිට SHAREit හි වාසිය ලබාගන්නා අතර ම එයින් ඇති විය හැකි අනවශ්‍ය ගැටලු මඟහරවා ගන්නත් හැකියාව ලැබේවි.

කවරයේ රූපය :wp.com

 

Related Articles