Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ලා සමාගමේ අලුත්ම ‘සයිබර්ට්‍රක්’ රථ

මෑතක දී හඳුන්වාදුන් ටෙස්ලා සමාගමේ නව ට්‍රක් රථය ඔවුන්ගේ 6 වන මෝටර් රථය බවට පත් විය. එය පර්යේෂණ මට්ටමේ පවතින නමුදු අමුතු පෙනුම, ඉහළ හැකියාවන් ලොව මවිත කරන්නට සමත් වූවේ ය.

ඇමරිකාවේ General Motors සමාගමේ Chevrolet Silverado නිෂ්පාදනය සහ Ford සමාගමේ F ශ්‍රේණියේ රථවල ප්‍රතිවාදියකු ලෙස හඳුන්වාදෙන මෙම නව ට්‍රක් රථය “සයිබර්ට්‍රක්” (Cybertruk) නමින් හඳුන්වා ති‍බේ.

බාහිර පෙනුම

චිත්‍රපටියකින් ආභාසය ලද ආකෘතියක් (tesla.com)

කුඩා කාලයේ වාහන අඳින්න කීවාම අපි විවිධ හැඩයේ නිර්මාණ කළ හැටි ඔබට මතක ඇති. නව ටෙස්ලා රථයටත් ඇත්තේ එවන් අමුතු පෙනුමකි.

සයිබර්ට්‍රක් රථය, ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වූ The Spy Who Loved Me හි තිබුණු Lotus Esprit S1 රථයට අනුරූපව සකසා ඇති බවට ඉලෝන් මස්ක් මීට පෙර ට්වීට් කර තිබිණි. එම චිත්‍රපටයේ තිබුණු වාහනයට සබ්මැරීනයක් වීමට ද හැකියාව තිබුණු නමුත්, ටෙස්ලා රථයේ නම් එවන් හැකියාවක් නැත.

අධි ශක්තිමත් බාහිරාවරණය (tesla.com)

විශේෂ ආකෘතිය නිසාම, තාක්ෂණයට සහ ටෙස්ලා සමාගමේ රසිකයකු හැර, සාමාන්‍ය ට්‍රක්රථ ගැනුම්කරුවන් ඊට පෙළඹෙනු ඇත්දැ යි යන්න සැක සහිත ය. එහෙත්, පරිසර හිතකාමී ඉලෙක්ට්‍රොනික රථයක් වශයෙන් එය අනාගතයේ ට්‍රක් රථයක් බවට පත් වෙයි.

මෙහි ඇති විශේෂත්වය SpaceX සමාගමේ Starship රොකට්ටුව සඳහා භාවිතා කරන ඇලෝයි තහඩුව වන 30X Cold-Rolled stainless-steel තහඩුවම මෙයට ද යොදා තිබීම යි. එනිසා එය සවි ශක්තියෙන් අනූන යි. “මීට වඩා හොඳ එකක් තිබුණා නම්, අපි එය පාවිච්චි කරනවා”යැ යි සයිබර්ට්‍රක් වෙබ් පිටුවේ දක්වා තිබේ.

හඳුන්වා දෙන අවස්ථාවේ අකරතැබ්බයක් සිදුවුණාවත් ද?

වීදුරුවට පහර දීමට සැරසෙමින් (YT/The Verge)

මෙම රථය හඳුන්වා දෙමින් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක්, ඊට කෙතරම් ඔරොත්තු දීමේ හැකියාවක් ඇති ද යන්න පෙන්වන්නට සූදානම් වූවේ ය. ඒ අනුව, ප්‍රථමයෙන් ඔවුන් එයට මිටියකින් පහර දුන් අතර එම පහර සාර්ථකව දරා ගැනීමට සයිබර්ට්‍රක් රථය සමත් විය. ඉන්පසුව, මිලී මීටර් 9 තුවක්කුවකින් වෙඩි තබන ආකාරය දක්වන වීඩියෝවක් පෙන්වූ අතර එය පැමිණ සිටි රසිකයන් අමන්දානන්යට පත් කළේ ය. 

තහඩුව එසේ නැතහොත් බඳ සාර්ථකව ඊට මුහුණ දිනි. අනතුරුව ඔවුහු Tesla Armor Glass නමැති මෙම රථය සඳහා යෙදූ විශේෂිත වීදුරුවකට යකඩ බෝලයක් උඩ සිට පහළට අත හැරියහ. ඊට කිසිවක් නොවී ය. මේ සියල්ලෙන් ලද ඉහළ ප්‍රීතිය නිසාමදෝ ඉලෝන් මස්ක් සභාවෙන් කෙනෙක්ට පැමිණ රථයට යකඩ බෝලයකින් පහර දෙන්නැ යි කීවේ ය.

ඊට ඉදිරිපත් වූ පුද්ගලයා තමාට ලැබුණු අනගි අවස්ථාවෙන් උදම් වීමට පෙර “(මෙය කළ යුතු බව) ඔබට විශ්වාස ද?” යි ඉලොන් මස්ක්ගෙන් ඇසුවේ ය. “ඔව්, කරන්න” ඉලොන් පිළිතුරු දිනි. ඒ සමගම ඔහු තම අතැති යගුලියෙන් රථයේ වීදුරුවට පහරදුන් අතර එය මකුළු දැලක් මෙන් ඉරිතලා ගියේ ය!

වීදුරුව සේ ම, සැමගේ හදවත් සලිතව ගියේ ය (YT/The Verge)

“අපොයි දෙවියනේ!” යි කියැවුණු ඉලොන් මස්ක්, සභාවට පිටුපාමින් ඉන් පුදුම වූ බවක් පෙනෙන්නට තිබුණ ද එය සඟවා ගනිමින් “ටිකක් තදින් ගැහුවා වැඩියි ද මන්දා. හැබැයි එය වීදුරුව බිඳගෙන ඇතුළට ගියේ නැහැ” යි කියමින් ජාමෙ බේරා ගත්තේ ය. ඉදිරිපත් වූ පුද්ගලයා නැවත පසුපස ආසනවල වීදුරුවට ද යගුලියෙන් දමා ගැසූ අතර එය ද ඉරිතලා ගියේ ය.

හැකියාවන්

පසුපස පෙනුම (tesla.com)

නව සයිබර්ට්‍රක් රථයෙහි මාදිලි කීපයකි. ඒවා එහි ඇති මෝටර් සංඛ්‍යාව අනුව ප්‍රධාන වශයෙන් කාණ්ඩ කෙරේ.

අඩු මට්ටමේ මාදිලියට තත්පර 6.5කින් පැයට කිලෝමීටර් 0 සිට 96.5 දක්වා ළඟා විය හැකි ය. තනි මෝටරයක් ඇති එය, පසුපස රෝදවලින් ජවය ලබා ගනියි. මෙයට කි. ග්‍රෑ. 3400ක බරක් ගෙන යා හැකි අතර, තනි ආරෝපණයකින් එයට කි.මී. 400ක දුරක් ගමන් කරයි.

මධ්‍යම මාදිලියේ පැයට කිලෝමීටර් 0 සිට 96.5 දක්වා ළඟා වීමට ගන්නේ තත්පර 4.5කි. ද්විත්ව මෝටර් සහ සිව්රෝද බලයකින් (all-wheel drive) යුතු වන එහි තනි ආරෝපණයකින් ගමන් කළ හැකි දුර කී.මී. 482කි.

ඇතුළත පෙනුම (tesla.com)

ඉහළම මාදිලියේ සිව්රෝද බලය සමග ත්‍රිත්ව මෝටර් සැකැස්මක් තිබේ. එයට පැ.කි.මී. 96.5 දක්වා ළඟා වීමට යන්නේ තත්පර 2.9ක් තරම් කුඩා කාලයකි. තනි ආරෝපණයකින් යා හැකි දුර කි.මී. 800 ඉක්මවයි. මෙයට කි. ග්‍රෑ. 6350ක බරක් ඇදගෙන යාමට තරම් ජවයක් තිබේ.

මෙම රථ ත්‍රිත්වයට ද සුපුරුදු පරිදි ස්වයං ධාවන (Auto pilot) හැකියාව අර්ධ වශයෙන් ඇති අතර, ඊට අමතරව Self parking සහ Trailer docking හැකියාවන් ද එක් කර තිබේ. වේගය අතින් ගත් කල ‍Porsche 911 රථයක් පසුකර යාමට තරම් ජවයක් ඇති බව ඉලොන් මස්ක් වීඩියෝවකින් පෙන්වා දිනි. V3 තාක්ෂණය සමග 250kW වේගවත් ආරෝපණ හැකියාවක් ද මේවා සතු යි.

ඇතුළත හය දෙනෙක්ට ගමන් කළ හැකි මෙහි, අඟල් 17ක ස්පර්ශ තිරයක් (ටච්ස්ක්‍රීන් එකක්) තිබේ.

මිල ගණන් සහ දින වකවානු

දූවිලි මැදින් ඉදිරියට (motor1.com)

තනි මෝටරයක් ඇති ට්‍රක් රථය 2021 අග භාගයේ දී නිපැයීමට ටෙස්ලා සමාගම අදහස් කර තිබේ. එහි මිල රු. මිලියන 7ක් ($39,900) පමණ වේ. ද්විත්ව මෝටර් සහිත ට්‍රක් රථය රු. මිලියන 8ක් ($49,900) වන අතර, 2022 අග භාගය වන විට නිකුත් වීමට නියමිත ත්‍රිත්ව මොටර් ට්‍රක් රථය රු. මිලියන 12.5ක් පමණ වේ.

පූර්ණ ස්වයං ධාවන හැකියාව ලබා ගැනීමට රු. මිලියනයක් ($7,000) අමතරව වැය කළ යුතු වේ.

මූලික ගෙවීම වන රු. දහඅට දහසක් ($100) ගෙවා මෙම සයිබර්ට්‍රක් රථය පෙර-ඇණවුම් කිරීමට අවස්ථාව තිබේ. 

මූලාශ්‍රයයන්:

  • Tesla නිල වෙබ් අඩවිය
  • The Verge
  • CNBC

කවරය: electrek.co

Related Articles