Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

CES 2019 හි දකින්නට ලැබුණු අනාගතයේ තාක්ෂණය

ඇමරිකාවේ ලාස් වේගාස් හි වාර්ෂික ව පැවත්වෙන පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය ජනවාරි 8 සිට 11 වන දා දක්වා පැවැත්වුණේ විවිධ රටවල තාක්ෂණික දැවැන්තයන් එක් තැනකට එක් කරලමින්. එහි දී ඉදිරි වසර සඳහා වූ නව තාක්ෂණික අදහස් ප්‍රායෝගික ව දකින්නට ලැබුණු අතර, ඇස් අදහාගත නොහැකි නිර්මාණ රැසක් දකින්නට ලැබුණා. මෙහි ඉදිරිපත් කෙරෙන බොහෝ නිර්මාණ සාමාන්‍ය කෙනෙක්ටවත් මිල දී ගන්නට නොහැකි ඒවා යි. නමුත් වැදගත් ම දේ, ප්‍රායෝගික ව එවන් නිර්මාණ කළ හැකි බව ලොවට පෙන්වා දීම සහ ආයතනයේ හැකියා ප්‍රදර්ශනය යි.

මෙලෙස දකින්නට ලැබුණු නවමු ආකාරයේ නිෂ්පාදන පෙළක් ඔබ වෙනුවෙන් අපි තෝරාගත්තා.

මුත්‍රාශය කෙතරම් පිරිලා ද? DFree ඒ ගැන කියාවි

උපාංගය සිරුරේ ඉහළින් සහ කුඩා රවුම යටිබඩ පෙදෙසෙහි මුත්‍රාශය ඉදිරියෙන් ද රැඳවිය යුතු යි (ssl.webflow.com)

ප්‍රසිද්ධ ස්ථානවල එහෙමත් නැත්නම් ට්‍රිප් එකක් ගියපු වෙලාවක ඇති වුණු දරාගන්නට බැරි මුත්‍රා කිරීමේ අවශ්‍යතාව නිසා ටොයිලට් එකක් හොයාගන්න බැරුව ඔබට බොහොම කරදර සිද්ධ වෙන්නට ඇති. සෞඛ්‍යමය වශයෙන් ද එලෙස මුත්‍රා නොකර සිටීම බෙහෙවින් අහිතකර යි. නමුත්, මුත්‍රා කරන්නට අවශ්‍ය බව ශරීරයෙන් දැනුම් දෙන්නටත් පෙර ම හඳුනාගන්නට පුළුවන් නම්, මුත්‍ර කළ හැකි ස්ථානයක් සොයාගන්න අපිට වැඩි කාලයක් ලැබෙනවා. DFree හෙවත් Diaper free යන්න කෙටි කර නම් යෙදූ නව උපාංගයක් මෙලෙස මුත්‍රා කිරීමේ අවශ්‍යතාව කලින් ම හඳුනාගන්නවා. අධි ධ්වනි තරංගවලින් මුත්‍රාශය පරීක්ෂා කර, එය කෙතරම් පිරී ඇත්දැ යි App එකෙන් පෙන්වනවා. මෙය මුත්‍රා අවශ්‍යතාව හඳුනාගත නොහැකි වැඩිමහලු අයට සහ දරුවන් රැකබලා ගන්නා අයට මහත් සහනයක් වනු ඇති.

නියපොතු මත Print කළ හැකියි

රටා පමණක් නොව ඡායාරූප පවා මුද්‍රණය කළ හැකියි (ytimg.com)

විලාසිතා කිරීමේ දී නියපොතු අලංකරණය ද ඉදිරියෙන් සිටින දෙයක්. මේ වෙනුවෙන් කෙතරම් සංයමයක්, කාලයක් අවශ්‍ය වන බව කාන්තා ඔබ දන්නවා ඇති. සේවා සපයන ආයතනවලින් පවා ඉහළ මිලක් මේ වෙනුවෙන් අය කරනු ලබන්නේ සියල්ල ම මනුෂ්‍ය අත්වලින් කරන්නට සිදුවන නිසා යි. නමුත් අනාගතයේ දී එහෙම වන එකක් නැහැ. චීනයේ Funai සමාගම විසින් නිපැයූ උපකරණයකට Pattern එකක් පමණක් නොව, Image එකක් පවා නියපොතු මත Print කරන්නට පුළුවන්. O2Nails වෙළඳ කුටියේ ද මෙවැන්නක් තිබුණා. ඉතින් නිවසේ තිබෙන කුඩා උපකරණයට ඇප් එකෙන් ඔබ කැමතිම රටාවක් හෝ Anniversary දිනයේ දී ඔහු ව Surprise කරන්නට දෙදෙනාගේ ඡායාරූප ඇල්බමයක් නියපොතු මතින් රැගෙන යන්නට ඔබට අවස්ථාව ලැබේවි.

Ultrahaptics සමග අහස ස්පර්ශ කරන්න

ඇසට නොපෙනෙන දෑතට දැනෙන උපාංග (electronicsweekly.com)

අතිධ්වනි තරංග භාවිතයෙන් අපේ අතට දැනෙන “උපකරණ” වාතය මත මවන්නට Ultrahaptics සමාගම සමත් ව තිබුණා. වානිජ්‍ය මට්ටමේ transducers (පාරනායක) භාවිතා කරමින් තරංග ඇති කර, ඔවුන්ගේ ම තාක්ෂණයක් මඟින් ඒවා අතට දැනෙන හැඩයන් බවට පත් කරනු ලබනවා. ප්‍රසිද්ධ ස්ථානවල ඇති Touch screenවලින් පැතිරෙන විෂබීජ අවම කරන්නට මේවා යොදාගන්නට පුළුවන්. එහි දී තිරය මත අත නොතබා ම එහි ඇති දේවල් අතට දැනෙන අතර, ක්ලික් කළ විට ක්ලික් වුණු බව ද අතට විශේෂ දැනීමක් ඇති කරවනවා. ඇඟිලි කිහිපයක චලන, pinch කිරීම් (කොනිත්තන ආකාරයට ඇඟිලි හැසිරවීම) ආදිය මින් හඳුනාගන්නා අතර වාහනවල dashboard එකෙහි පාලනයන් ද මෙය හරහා ඔවුන් නිරූපණය කර තිබුණා. ඒ අනුව අනාගත වාහනවල A/C, Fan ආදියට බොත්තම් වෙනුවට අහසේ මැවෙන, අතට පමණක් දැනෙන උපාංග බවට පත්වනු ඇති.

රොබෝ වෙළඳ සහායකයෙක්; ShopPal

ඉහළ පෙනුම (technabob.com)

අපි දැනට සුපර් මාර්කට්වල දී පාවිච්චි කරන භාණ්ඩ රඳවන එක්කෝ උස්සගෙන යන්නට ඕනෑ. නැත්නම් තල්ලු කරගෙන යන්නට ඕනෑ. නමුත් චීන සමාගමක් විසින් නිපැයූ රොබෝවකට අපි තෝරාගන්නා භාණ්ඩ ඔසවාගෙන අප සමග පසුපසින් ගමන්ට කරන්නට සූදානම් වෙනවා. මොබයිල් ඇප් එක හරහා රොබෝවාගේ හිස මත ඇති QR code එක Scan කිරීමෙන් පසු එය අපේ මුහුණ හඳුනාගෙන අප පසුපසින් පැමිණෙන අතර, අවශ්‍ය භාණ්ඩ එයට ඇතුළත් කරන්නට පුළුවන්. වරක් ආරෝපණය කිරීමෙන් පසු අඛණ්ඩව පැය 3ක් පසුපස හඹායෑමට තරම් බැටරි බලයක් ShopPal සතු යි. ඇතුළත් කළ භාණ්ඩ අගුළු ලන්නට ද අවස්ථාව සපයන මෙය සුපිරිවෙළඳසැල්වල පමණක් නොව, හෝටල්, ගුවන් තොටුපල මෙන්ම රෝහල්වල ද සහායට යොදවන්නට සමාගම බලාපොරොත්තු වෙනවා.

Kohler Numi 2.0 ස්මාර්ට් වැසිකිළිය

hardwarezone.com

අරාබියේ අබ්දුල්ලා රජතුමා තමන්ගෙ දුවගෙ දෑවැද්දට රත්‍රං වැසිකිළියක් දුන්නාට, ඊටත් වඩා අපිට වටින්නේ ස්මාර්ට් වැසිකිළියක්. රත්‍රං මත පක්ෂාත්භාගය තියනවාට වඩා වැඩි වැඩ කොටසක් එවැන්නකින් කරගන්නට පුළුවන්. මේ Numi වැසිකිළිය සතු ව Speaker තිබෙනවා. ඒ වගේ ම mood එකට ගැලපෙන්න ලයිට් තිබෙනවා. ඉතින් කාරිය කෙරෙනතුරු කාටත් සින්දුවක් අහගෙන ඉන්න පුළුවන්. ශක්‍රයාගේ පඬුපුල් ආසනය මෙන් ටොයිලට් සීට් එක රත් වන නිසා එහි ඇතිවන සීතල බව මැකෙනවා. උණු වතුරෙන් පවිත්‍ර කිරීම්, ජලය වියළීම, ස්වයංක්‍රීය ව පියන ඇරීම, හා flush වීම් ආදී විශේෂාංග මෙන්ම Alexa හරහා කටහඬ භාවිතයෙන් විධාන දෙන්නට පුළුවන්. ඒ කියන්නේ, උදේට දවසේ කාලගුණය සහ ප්‍රවෘත්ති පවා අහගෙන කර්තව්‍යයේ නියැලෙන්නට පුළුවන්. ඉතින්, රත්‍රංවලට වඩා මෙහෙම එකක් වටින්නේ නැද්ද?

කවරය: businesswire.com

Related Articles