කෘත්‍රීම බුද්ධිය හෙවත් Artificial Intelligence ගැන විශාල කතාබහක් ඇති වෙන්න ගත්තේ පරිගණක තාක්ෂණය දියුණු වෙන්න ගත්තු මුල් අවධියේ සිට ම යි. ඒ කාලේ බොහෝ දුරට තනි ව සිතන්න, තීරණ ගන්න, ක්‍රියාත්මක වෙන්න හැකියාව තියෙන රොබෝවන් පදනම් කරගෙන යි මේ ගැන උනන්දුවක් ඇති වුණේ. විවිධ විද්‍යා ප්‍රබන්ධ, පොත් පත්, සිනමා කෘති ඇතුළු කලා නිර්මාණ මේ ගැන සාමාන්‍ය ජනයා තුළත් කුකුසක් ඇති කරන්න දායක වුණා. මේවායේ දී වැඩි ම අවධානයක් යොමු කෙරුණේ කෘත්‍රීම බුද්ධිය ඇති රොබෝවන් කවදා හෝ මිනිසා යටත් කර ගනීවි යන්නට යි.

කොහොම නමුත් පසුකාලීන ව බිහි වූ නිර්මාණවල යම්තාක් දුරට මිනිසාගේ සගයෙක් වෙන්නට හැකි කෘත්‍රීම බුද්ධියක් ගැනත් කතාබහ කෙරුණා. මෙයට හොඳම උදාහරණය වුණේ ලෝකය පුරා ම ජනප්‍රියත්වයට පත් වුණු Knight Rider කතා මාලාව යි. මෙහි දී වැඩි අවධානයක් යොමු වුණේ ස්වයංක්‍රීය ව ධාවනය කරන්න හැකියාව තියෙන කාර් එකක් ගැන වුණත්, එහි පාලක පද්ධතිය වූ KITT නම් කෘත්‍රීම බුද්ධිය වර්තමානයේ AIවල ප්‍රධානතම යෙදීම වන සගයෙක් සේ සන්නිවේදනය කිරීමේ හැකියාවේ වැදගත්කම ගැන ලොවට පෙන්වා දෙන්න සමත් වීම වඩාත් වැදගත් බව සිතන්න පුළුවන්.

denofgeek.com

කෘත්‍රීම බුද්ධියකට මිනිසෙක් වගේ සන්නිවේදනයේ යෙදෙන්න පුළුවන් ද? කියන එකට තිබෙන ප්‍රධානතම පරීක්ෂණය හඳුන්වන්නේ ටියුරීන් පරීක්ෂණය නමින්. ප්‍රබන්ධයක් වුණු KITTට පහසුවෙන් ම මෙය ජය ගන්න පුළුවන් බව කියවුණත්, සැබෑ ලෝකයේ කිසිම AI එකක් මේ හැකියාව තාමත් ලබාගෙන නැහැ.

කෘත්‍රීම බුද්ධියේ පියා - ඇලන් ටියුරීන්

ඇලන් ටියුරීන් කියන්නේ පරිගණක ක්ෂේත්‍රයේ පතාක යෝධයෙක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. දෙවන ලෝක යුද්ධයේ දී නාට්සි ජර්මනිය තම සන්නිවේදන කටයුතු ගුප්ත කේතනය (encrypt) කරන්න යොදා ගත්තු enigma යන්ත්‍රය පරාජය කරන්න සමත් ක්‍රමවේදයක් බිහි කරන්න හැකියාව මහා බ්‍රිතාන්‍යයට ලැබුණේ ඔහුගේ දක්ෂතාවන් නිසාවෙන්. පරිගණක ක්ෂේත්‍රයේ සැබෑ ආරම්භය සිදු වුණේ මේ තුළින් නිසා පරිගණක ක්ෂේත්‍රයේ වැදගත් ම පුද්ගලයෙක් ලෙසත්, කෘත්‍රීම බුද්ධියේ පියා ලෙසත් ඇලන් ටියුරීන් අවිවාදයෙන් හැඳින්වෙනවා. කොහොම නමුත් අවාසනාවකට වගේ එකල බ්‍රිතාන්‍යය ඔහුගේ සමරිසිභාවය ප්‍රශ්නයක් කරගත්තු නිසා ඔහුට නිසි ගෞරවයක් ලැබුණේ නැහැ.

ඇලන් ටියුරින් වයස 16 දී (Wikimedia.org)

පරිගණකයකට මිනිසෙකුට වගේ බුද්ධිමත් ව හිතන්න හැකියාවක් ලබා දීම ගැන ඇලන් ටියුරීන් ඇතුළු ව තවත් බොහෝ දෙනා පර්යේෂණ ගණනාවක් සිදු කළා. විවිධ පරිගණක ක්‍රමලේඛ හරහා යම් වැඩසටහනකට මිනිස් බුද්ධියට සමාන හැකියාවන් ලබා දීම යි එහි අරමුණ වුණේ. කොහොම නමුත් මේ වගේ පරිගණක වැඩසටහනක සාර්ථකත්වයට මිනුම් දණ්ඩක් තිබුණේ නැහැ. මේ නිසා විවිධ වැඩසටහන් නිර්මාණකරුවන් තමන් කෘත්‍රීම බුද්ධීන් නිර්මාණය කළ බවට කරන ප්‍රකාශවල වලංගුභාවය ගැන ගැටලුවක් පැවතුණා.

ඒ අඩුව සපුරාලන, බොහෝ දෙනෙක්ට පිළිගත හැකි බුද්ධිමය පරීක්ෂණයක් හඳුන්වා දෙන්න ඇලන් ටියුරීන් ක්‍රියා කළේ ඒ අනුව යි.

කෘත්‍රීම බුද්ධියක හැකියාව හඳුනාගන්නා අනුකරණ ක්‍රීඩාව

යම් පරිගණක වැඩසටහනකට සැබෑ කෘත්‍රීම බුද්ධියක් තිබෙනවා ද කියන එක හඳුනාගන්න ටියුරීන් 1951 දී කුඩා ක්‍රීඩාවක් සැලසුම් කළා. “අනුකරණ ක්‍රීඩාව” නැතිනම් Imitation game කියන නමින් හැඳින්වෙන මෙයට පුද්ගලයන් දෙදෙනෙක් සහ පරිගණක වැඩසටහනක් සහභාගී වෙනවා. මෙහි දී එක් පුද්ගලයෙක් ක්‍රියා කරන්නේ විනිසුරුවරයා ලෙස යි. අනෙක් පුද්ගලයා සහ පරිගණකය විනිසුරුවරයා අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යුතු යි. අදාළ පිළිතුරු පමණක් සලකා පුද්ගලයා සහ පරිගණකය වෙන් කර හඳුනාගන්න විනිසුරුවරයාට තියෙන හැකියාව මත මේ ක්‍රීඩාව පදනම් වෙලා තියෙනවා.

ටියුරින් පරීක්ෂාව ක්‍රියාත්මක වන ආකාරය (ttgtmedia.com)

මේ සඳහා යෝජනා වුණේ සම්පූර්ණයෙන් ම ජාලගත කරන ලද පරිගණක තුනක් යොදාගන්නට යි. අදාළ පරිගණක තුන භෞතික ව එකිනෙකින් ඈත් කර තැබීම මඟින් සන්නිවේදනය සම්පූර්ණයෙන්ම පරිගණක යතුරු පුවරු සහ තිර මඟින් අක්ෂර හරහා සිදු කරගත යුතු යි. මේ වගේ ක්‍රමයක් අනුගමනය කෙරෙන්නේ හඬ නිර්මාණය කරන්න තියෙන හැකියාව බුද්ධියට බාධාවක් නොවෙන්න යි.

ඒ අනුව විනිසුරුවරයා ටයිප් කර යොමු කරන ප්‍රශ්නයට අනෙක් පුද්ගලයා සහ පරිගණකය පිළිතුර බැගින් ටයිප් කර එවීම සිදු කෙරෙනවා. නමුත් පිළිතුරු ලබා දෙන කෙනාගේ අනන්‍යතාව විනිසුරුවාට ලබා දෙන්නේ නැහැ. සාධාරණ කාල සීමාවක් ගත කර ප්‍රශ්න ගණනාවක් අසා ඒවාට ලැබෙන පිළිතුරු දෙස බැලීමෙන් අදාළ පිළිතුරු කාණ්ඩ දෙක ගැන සලකා බලා පරිගණකය කුමක්ද, පුද්ගලයා කවරෙක් ද කියා විනිසුරුවරයා තීරණය කළ යුතු යි. වාර ගණනක් මෙය කළ පසු 30%කට වඩා විනිසුරුවන් ප්‍රමාණයක් මුලා කරන්න පරිගණක වැඩසටහනකට හැකි නම්, එනම් අවස්ථාවන් වැඩි ගණනක දී මිනිසෙකු තරම් ම ස්වභාවික පිළිතුරු ලබා දෙන්න පරිගණක වැඩසටහනට හැකි නම් එය ටියුරීන් පරීක්ෂණය සමත් වූ බව තීරණය කෙරෙනවා.

මුල් කාලීන වැඩසටහන් සහ ලොබ්නෙයර් සම්මානය

ELIZA (botsociety.io)

මුල් කාලයේ ටියුරීන් පරීක්ෂණය ජයගන්න ගත්ත උත්සාහයන්ට බොහෝ දුරට විනෝදය පදනම් වුණා. මේ විදිහට නිර්මාණය වුණු ඉතා ම ජනප්‍රිය වැඩසටහනක් වුණේ 1966 දී නිර්මාණය වූ ELIZA යි. තරමක් හෝ ස්වභාවික විදිහට සන්නිවේදනයේ යෙදෙන්න මෙයට තිබුණු හැකියාව එය වැඩිදියුණු කරන්න විශාල උනන්දුවක් ජනිත කළා. එහි ම වර්ධනයක් ලෙස 1972 දී PARRY නම් වැඩසටහනක් බිහි වුණා. 1969 දී විද්‍යා ප්‍රබන්ධ සිනමාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ 2001: A Space Odyssey චිත්‍රපටයේ එන HAL 9000 නමැති කෘත්‍රීම බුද්ධියේ නමින් නිමැවුණු MegaHAL එවන් තවත් වැඩසටහනක්.

අනුකරණ ක්‍රීඩාවට වසර 40ක් පිරුණු 1991 දී, කෘත්‍රීම බුද්ධිය ගැන විශාල උනන්දුවක් දැක්වූ මහාචාර්යවරයෙක් වූ හියු ලොබ්නෙයර් ටියුරීන් පරීක්ෂණය ජයගත හැකි වැඩසටහන් දිරිමත් කරන ලොබ්නෙයර් සම්මානය හඳුන්වා දුන්නා. එය ජයගන්නා අයෙකුට ඩොලර් 100,000ක ත්‍යාගයක් ලැබෙනවා. මුලින් විවිධ ගැටලුවලට මුහුණ පෑවත් 1995 සිට මෙය වාර්ෂික ව පැවැත්වෙනවා. තවමත් කිසිම වැඩසටහනකට ටියුරීන් අපේක්ෂා කළ ආකාරයට 30%ක සාර්ථකත්වයක් ලබාගන්න හැකි වෙලා නැහැ. කොහොම නමුත් එයට වඩාත් ම ආසන්න වන වැඩසටහනට වාර්ෂික ජයග්‍රහණයක් පිරිනැමෙනවා.

ටියුරීන් පරීක්ෂාව සමත් වූ බවට පැවසෙන වැඩසටහන්

2014 ටියුරීන් පරීක්ෂාව සමත් වූ බව පැවසුණු Eugene Goostman වැඩසටහන (anilkseth.files.wordpress.com)

2014 දී Eugene Goostman නමැති පරිගණක වැඩසටහනක් ටියුරීන් පරීක්ෂණයක දී විනිසුරුවන් 33%ක් මුලා කරමින් එය සමත් වූ බව කියවුණා. මෙහි දී තමන් වයස අවුරුදු 13ක යුක්රේන පිරිමි දරුවෙක් ලෙස ඒත්තු ගන්වන්න යි අදාළ වැඩසටහන උත්සාහ ගත්තේ. කොහොම නමුත් මෙය අද වන විට ජයග්‍රහණයක් ලෙස පිළිගැනෙන්නේ නැහැ. කුඩා දරුවෙකුගේ භාෂා හැකියාව සහ දැනුම අඩු බව සිතන්නට සලස්වමින් මෙම වැඩසටහන විවිධ ප්‍රශ්නවලට අසම්පූර්ණ පිළිතුරු ලබා දී වංචනික ව විනිසුරුවන් මුලා කළ බව පසු ව තහවුරු වුණා.

2018 දී තනිව ම දුරකථන ඇමතුමක් දී සැලූනයක වේලාවක් වෙන් කර ගනිමින් ලෝකය පුදුම කළ Google Duplex ටියුරීන් පරීක්ෂණය සමත් බව ඇල්ෆබට් මව් සමාගමේ ප්‍රධානී ස්ටීව් හෙනසී නිවේදනය කළා. කොහොම නමුත් මෙය වේලාවන් වෙන් කර ගැනීමේ අංශයෙන් පමණක් නිසා යම් ගැටලුවක් තිබෙනවා.

ඒ වගේ ම විවිධ තත්ත්වයන් හි දී ඇමේසන් සමාගමේ Alexa, ඇපල් සමාගමේ Siri, සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ Cortana ටියුරීන් පරීක්ෂණය සමත් බවට නොනිල වාර්තා තිබෙනවා. නමුත් තවමත් ඒ කිසිවක් නිල වශයෙන් තහවුරු වෙලා නැහැ.

කෙසේ නමුත් වර්තමානයේ AI තාක්ෂණයේ දියුණුවත් එක්ක සැබෑවට ම ටියුරීන් පර්යේෂණය සමත් වන වැඩසටහනක් බිහි වෙන්න වැඩි කලක් යන එකක් නැති බව යි බොහෝ දෙනෙක්ගේ අදහස.

කවරයේ රූපය: kurzweilai.net