Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රමලේඛන දැනුමක් නැතිවම නොමිලේම Apps හා වෙබ් අඩවි සකසන්න සේවාවන් 5ක්

පෞද්ගලික කටයුතුවලට ‍හෝ අලුතින් පටන් ගත්තු කුඩා ව්‍යාපාරයකට අවශ්‍ය වෙබ් අඩවි, Apps සකසා ගැනීමේදී කරදර රැසකට මුහුණ පාන්නට සිදු වෙනවා. සැකසීමට අධික මිලක් වැය කරන්නට සිදුවීම, තනියෙන් කරනවා නම් නව භාෂාවන් ඉගෙන ගන්නට කාලය වැයවීම වැනි ගැටළු නිසා ඔබේ නම හෝ ව්‍යාපාරය සමාජගත කරන්නට සීමාවන් පැණවෙනවා. එනිසා එවන් දැනුමක් නොමැතිවම නිර්මාණ කරන්නට ඉඩ සලසන සේවාවන් ටිකක් අපි ඔබ වෙනුවෙන් තෝරා ගත්තා.

වෙබ් පිටු පහසුවෙන්ම සකසාදෙන Carrd

සරල, සිත්ගන්නා සුළු වෙබ් අඩවියක් හදාගන්න (carrd.co)

වෙබ් අඩවියක් සකසන්න අවම වශයෙන් HTML, CSS දැනුම අවශ්‍ය වෙනවා. ‍තමන්ගේ පෞද්ගලික වෙබ් අඩවියක් හෝ ව්‍යාපාරයට අවශ්‍ය කුඩා ප්‍රමාණයේ, සරල වෙබ් අඩවියක් සකසා ගන්නට Carrd සමග අවස්ථාව ලැබෙනවා. ඕනෑම උපාංගයකින් නැරඹිය හැකි ආකාරයට (responsive) තනි පිටුවක සරල නමුත් සිත්ගන්නාසුළු නිමාවක් සකසා ගත හැකි අතර ඔබේම සැලසුමකට අනුව පහසුවෙන් සැකසීමට හෝ ඉන් ලබා දී ඇති 50කට අධික Templates අතුරින් එකක් තෝරාගන්නට හැකියි. Drag-n-drop කරමින් වෙබ් අඩවියට අවශ්‍ය අකුරු, ඡායාරූප එකතු කරන්නට පුළුවන් නිසා presentation එකක් හදනවාක් මෙන් පහසුවෙන් එහා මෙහා කරමින්, animations දමමින් හැඩ කරගන්නට හැකියි.

මෙහි නොමිලේ වෙබ් අඩවි 3ක් එක් ගිණුමකින් සකසා ගත හැකි අතර custom domain සහ අනෙකුත් විශේෂාංග සක්‍රීය කරගැනීමට ගෙවීමට සිදු වෙනවා.

පිවිසෙන්න: Carrd

Formsවලින් ගණන් හදන uCalc

නිවාස සැලසුම්වලට අවශ්‍ය ගණනය කිරීම් කරන්නට ඔබේම tool එකක් හදාගන්න (ucalc.pro)

පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා හෝ ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රසිද්ධියේ පාවිච්චියට අවශ්‍ය පරිදි ගණිතමය කටයුතු, බිල්පත් සැකසීම්, කිසියම් සේවාවක් හෝ නිෂ්පාදනයක් සඳහා order එකක් දැමීමට Form එකක් හදාගන්න uCalc අවස්ථාව දෙනවා. සාමාන්‍ය Google Form එකකට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ පුරවන තොරතුරුවලට අදාලව ගණනය කිරීම් කළ හැකි වීම යි. ඔබේ නිවාස ණය ගෙවීමට ඇති කාලය, නිවාස සැලසුම්, ශරීරයේ උසට සරිලන බර, වෙළඳසල් සඳහා ඇණවුම් කිරීම් වැනි පුළුල් ක්ෂේත්‍ර රැසකට ගැලපෙන tools හදාගන්න මේ සේවාව නොමිලේම පාවිච්චි කරන්නට පුළුවන්.

මෙහි ලියාපදිංචි වූවාට පසු Trial එකක් ලෙස පෙන්වූවත් එක් ගිණුමකට ව්‍යාපෘති තුනකට සීමා වූ නොමිලේ දෙන plan එකට පසුව මාරු වන්නට පුළුවන්.

පිවිසෙන්න: uCalc

Google Sheet එකකින් Apps හදා දෙන Glide

Sheet එකකින් App එකේ අන්තර්ගතය සැකසිය හැකියි (twimg.com)

මොබයිල් Apps මේ කාලේ බොහොම ජනප්‍රිය යි. නමුත් ඇන්ඩ්‍රොයිඩ්, iOS ලෙස ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙකක් තිබෙන නිසා App එකක් හදද්දී ඒ දෙකට වෙන වෙනම හදන්නට සිදු වෙනවා. ඒ කියන්නේ Java, Kotlin, Swift වැනි ක්‍රමලේඛ භාෂා එකකට වැඩි ප්‍රමාණයක් ඉගෙන ගන්න වෙනවා. අනතුරුව දත්තපාදක (database) තියාගන්න SQL, Firebase වගේ තවත් දේවල් ඉගෙන ගන්න සිදු වෙනවා. මේ වෙනුවට Glide සමග පහසුවෙන්ම Apps හදන්නට පුළුවන්. Database වෙනුවට පාවිච්චි වෙන්නේ Google Sheet එකකුයි. මේ නිසා පහසුවෙන්ම එහි අන්තර්ගතයන් කළමනාකරණය කරන්නට හැකියාව ලැබෙනවා.

මින් සකසන Apps ලින්ක් එකක් හරහා බෙදාගත හැකි වන අතර ස්වාධීන App ‍එකක් ලෙස Play Store සහ App Store වෙත යොමු කරන්නට නම් වැඩි මුදලක් ගෙවන්නට සිදු වෙනවා.

පිවිසෙන්න: Glide

වෙබ් අඩවියක් App එකකට හරවන AppyPie

වෙබ් අඩවියක් හෝ ස්වාධීන App එකක් සැකසිය හැකියි (ytimg.com)

දැනට මොබයිල් උපාංගවලට ද ගැලපෙන ‍සේ සකසන ලද වෙබ් අඩවියක් App එකක් ලෙස නිකුත් කරන්නට AppyPie අවස්ථාව සලසනවා. මුදල් ලබා ගැනීම්, Push notifications ඇතුළු සේවා රැසක් සමග එන මෙහි Android සහ iOS දෙකටම Apps සකසා ගන්නට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. නිර්මාණයන් සඳහා කිසිදු ක්‍රමලේඛන දැනුමක් අවශ්‍ය නොවන අතර ඔබට අවශ්‍ය නම් වෙබ් අඩවියක් රහිතව නව App එකක් වුව සකසන්නට පුළුවන්. නොමිලේ ඇති plan එකෙහි Ads දිස්වන අතර වෙබ් අඩවි පමණක් Apps බවට පත් කිරීම හා ස්වාධීන app එකක් ලෙස Play Store වෙත යැවීම ද සීමාකර තිබෙනවා. Apps සංස්කරණය කළ හැකි වන්නේ මුල් පැය 48තුළ පමණ යි.

පිවිසෙන්න: AppyPie

Wordවලින් ඔබ්බට ගිය Coda

Slack වැනි බාහිර සේවාවන් ද සබැඳිය හැකියි (coda.io)

Word හෝ Excel sheet එකක් වැනි අතුරුමුහණතක් තුළින් ඔබට අවශ්‍ය ආකාරයේ App එකක් සකසා ගන්නට Coda සමග අවස්ථාව ලැබෙනවා. ඔබේ කණ්ඩායමට කරන්නට ඇති වැඩ කොටස් බෙදා ගැනීමට, නව අදහස් කළමනාකරණය කිරීමට වැනි පෙර සකසන ලද Templates සමග පහසුවෙන්ම ඔබට අවශ්‍ය ආකාරයේ මෘදුකාංගයක් සකසා ගන්නට පහසුවෙන්ම Coda සමග පුළුවන්. සකසන ලද මෘදුකාංග වෙනත් අය එක්ක බෙදාගන්න පුළුවන්. හරියටම, Google driveවල ව‍ගේමයි.

Google ගිණුම හරහා පිවිසීමෙන් පසු  එය Google Drive සඳහා අවසර ලබාගෙන අපේ ව්‍යාපෘති එහි සුරැකීම සිදුකරනවා. ඒ ඔවුන් මේ සේවාව නොමිලේ දීම සඳහා ඔවුන්ගේ සර්වර්වල ඉඩ වැයවීම නවත්වාගැනීමට ගත් පියවරක්.‍ මේ සමගම අපේ නිර්මාණවල පූර්ණ ගොනු අප සතුවම පැවතීම තවත් වාසියක්. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් සකසන ලද මෙම නිර්මාණ Coda මොබයිල් ඇප් එක හරහා App එකක් ලෙස පාවිච්චි කරන්නට අවස්ථාව තිබෙනවා. නමුත් ඒවා ඔබේම ස්වාධීන App එකක් බවට එය පත් කරවන්නට අවස්ථාවක් නැහැ.

පිවිසෙන්න: https://coda.io

iOS සඳහා app එක: Coda

මෙම සේවාවන් බොහොමයක නොමිලේ ලබාදෙන විශේෂාංග ඉතාම සීමා සහිතයි. අන්තර්ජාලය තුළ නොමිලේම විවිධ භාෂාවන් ඉගෙනීමට W3Schools, Codecademy, KhanAcademy වැනි වෙබ් අඩවිවලින් අවස්ථාව ලබාදී තිබෙන නිසා ඔබේ හැකියාවන්ට වටිනාකමක් ලබා දෙමින් අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් මේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් නව නිර්මාණ සමාජයට දායක කරමින් ගාණක් හොයාගන්නත් ඔබට අවස්ථාව ලැබේවි.

කවරය: keepthetech.com

Related Articles