Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමාජ මාධ්‍ය භාවිතයේ දී අනු දත යුතු Community Standards

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල පවතින්නේ දේශපාලනික හා සාමාජීය වශයෙන් උණුසුම් තත්ත්වයක්. මේ හේතුව නිසා සමාජ මාධ්‍ය පරිශීලකයන් ද තමන්ගේ ආවේග එම මාධ්‍ය ඔස්සේ නොපසුබටව හුවා දක්වන්නට සැදී පැහැදී සිටිනවා. මෙහිදී බොහෝ දෙනා ඒවායේ පවතින සමාජ සම්මත තුළ හිඳිමින්, ඒවා අනුගත ව යමින් සබුද්ධික ලෙස සිය අදහස් දක්වන අතරේ, අතළොස්සක් දෙනා ඒ පිළිබඳ ඇති දැනුමෙහි මඳ කම නිසා, එම සම්මත ඉක්මවා ගොස් කටයුතු කරන්නට පෙලැඹී සිටිනවා. මේ හේතුවෙන් සිය ගිණුම්වලට විවිධාකාරයේ සීමා පැනවීමේ තත්ත්වයන්ට ඔවුනට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඇතැම් අවස්ථාවල මෙම ගිණුම් අවලංගු කර දැමීමට ද ලක්වනවා.

සමාජ මාධ්‍ය හා සබැඳි ‘සමාජ සම්මත’ හෙවත් ‘Community Standards’වල ස්වභාවය කෙබඳු ද? ඒවා ආරක්ෂා කරගෙන තම මතය හුවා දක්වන්නේ කෙසේ ද? මේ ලිපිය ඒ පිළිබඳ යි.

 සමාජ මාධ්‍ය මෑත කාලයේ ලොව අතිශය ජනප්‍රිය වුණා – www.bluesteps.com 

සමාජ මාධ්‍යයක් යනු කුමක්ද?

වර්තමාන ලෝකය තුළ සමාජ මාධ්‍ය වේදිකා රාශියක් ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. Facebook, Whatsapp, Instagram, Twitter ඉන් වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය කිහිපයක් වෙනවා. Facebook හි පමණක් ලොව පුරා පරිශීලකයින් බිලියන 3 ක් පමණ සිටිනවා. සමාජශීලී සත්ත්වයකු වන මිනිසාට එකිනෙකා හා සන්නිවේදනය කිරීම සඳහා තැනී ඇති මේවා මඟින් එකවර බොහෝ දෙනකුට සිය මතය ප්‍රකාශ කිරීමට හා ගනුදෙනු කිරීමට අවකාශ ලැබීම නිසා මේවා පසුගිය දශකය පමණ කාලය තුළ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වුණා.

 

සමාජ මාධ්‍යයක් යනු සරල ලෙස ම, සමාජයේ බොහෝ දෙනක් අදහස් ප්‍රකාශ කරන විට, ඒවා පරිශීලනය කොට, තමාගේ මතය ද ඔවුනට දැනවිය හැකි මාධ්‍යය යි. මෙහිදී නොමිලේ ගිණුමක් විවෘත කිරීමෙන් පසු යමකුට එහි අඩංගු රූප, වීඩියෝ, හඬපට වැනි දේ පරිශීලනය කිරීමේ අවස්ථාව ලැබෙන අතර, ඒවා තමන් ම නිපදවා (user generated) , අන් අය සමඟ පහසුවෙන් බෙදා ගැනීමේ හැකියාවත්, ඒවාට අන් අයගෙන් ලැබෙන ප්‍රතිචාර නැරඹීමේ හැකියාවත් ලැබෙනවා. 

මේ හේතුව නිසාම තමන් සිතට එන දේ ඔහේ පැවසීමේ හැකියාවත් ඕනෑම අයකුට ලැබෙනවා. යම් කරුණු ගෙනහැර පෑමේදී යමකු මෙවැනි අවස්ථා, ස්ථාන හා වේදිකාවල දී ස්වයං වාරණ දමා ගත යුතු වන්නේ එබැවිනු යි. සමහරක් අය ඊට සමත් නොවන අතර, මේ හේතුවෙන් අනෙකුත් අයෙක්, කිහිපදෙනක් හෝ සමස්තය අපහසුතාවට පත් විය හැකි යි. සමාජ ජාලා ‘සමාජ සම්මත’ කරළියට පැමිණ ඇත්තේත් ඒ නිසාම යි.

සමාජ මාධ්‍යයක ‘සමාජ සම්මත’ හා සීමා

ලොව පිළිගත් සමාජ මාධ්‍ය සෑම එකට ම පාහේ අදාළ වන සම්මත තිබෙනවා. මේවා සියල්ල ආසන්න වශයෙන් සමාන වෙනවා. මේවා උත්පාදනය කර ඇත්තේ මානව හිමිකම් වැනි ක්ෂේත්‍ර වල ප්‍රවීණයන්ගේ අනුදැනුම ඇතුව යි. ෆේස්බුක් සමාජ මාධ්‍යය සැලකීමේ දී, යමකු පල කළ ඡායාරූපයක්, වීඩියෝවක්, පෝස්ටුවක් හෝ ප්‍රතිචාරයක් මගින් යම් අයකුට ඍජු හෝ වක්‍ර ලෙස අපහාසයක්, තර්ජනයක්, බිය වැද්දවීමක් හෝ ගෞරවයට හානියක් වන දෙයක් සිදු වූයේ නම් එම පෝස්ටුව හෝ කොමෙන්ටුව පිළිබඳ අදාළ පුද්ගලයාට අවවාද කිරීම, පෝස්ටුව හෝ කොමෙන්ටුව ඉවත් කිරීම හා සමහර විටෙක  එම පරිශීලකයාගේ ගිණුමට පිවිසීම අවහිර කිරීම වැනි ක්‍රියාමාර්ග ඔවුන් සිදු කරනවා.

එම ප්‍රතිචාරය අපහාසයේ ස්වභාවය මෙන් ම ඔහු හෝ ඇය කී වතාවක් එවැනි දේ සිදු කර තිබේ දැයි යන්න මත වෙනස් වෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුවන අපහාස, බිය වැද්දීම් වැනි දේ පිළිබඳ එහි බලධාරීන්ට දැනුම්වත් කිරීම සඳහා ‘වාර්තා කිරීමේ ක්‍රමවේදයක්’ ද (report) ඔවුන් ගොඩ නඟා තිබෙනවා. යම් ප්‍රචණ්ඩකාරී සහ ත්‍රස්තවාදී ක්‍රියා උසිගැන්වෙන ලෙස දැමූ පළ කිරීම්වලට ද (posts) ඉහත ආකාරයෙන් යම් සීමා හා දඬුවම් ලබා දෙන්නට ඔවුන් ක්‍රියා කරනවා.

සමාජ මාධ්‍ය තමන්ගේ අදහස් ලොවට ප්‍රකාශ කරන්නට බොහෝ දෙනා යොදාගන්නා මෙවලමක්- publicdomainpictures.net

 

ෆේස් බුක් හි පළ කළ නොහැකි, සමාජ සම්මත උල්ලංඝණය වන දේ

මරණ තර්ජන සහිත අධික ප්‍රචණ්ඩ වචන භාවිතය මෙන් ම යම් අයකුගෙන් පළිගැනීම සඳහා යමක් පළ කිරීම, චේතනාන්විත ව සමාජයේ හිස් ප්‍රචණ්ඩත්වය වෙත ඇදී යන පරිදි අදහස් දැක්වීම ෆේස්බුක් තුළ තහනම් වෙනවා. පෞද්ගලිකත්වයට හානි වන පරිදි කෙනකුගේ දේ තමන්ගේ දේ ලෙස සොරකම් කොට පල කිරීමත් ෆේස් බුක් හී දී වරදක් වෙනවා. 

යම් අයකුගේ රූප විකෘති කොට, ඔහුට හෝ ඇයට අපහසුවක් වන පරිදි ෆේස්බුක් හි දැමීමත් වැරැද්දක් ලෙස සැලකෙනවා. ලිංගික දර්ශන  එහි දැමීමත් විශාල වරදක් වෙනවා.

ඊට අමතර ව යම් අයකු වෙනුවෙන් සිය කැමැත්ත පළකිරීම හෙවත් ‘ලයික් කිරීම’, ප්‍රතිචාර දැක්වීම වැනි දේ අරබයා දිගින් දිගට ම ෆේස්බුක් හෝ වෙනත් සමාජ මාධ්‍යයක් ඔස්සේ බලපෑම් කිරීමත් සැලකිය යුතු මට්ටමේ වැරදි වෙනවා.

 සමාජ මාධ්‍ය වෙතින් යමකුට බලපෑම් කිරීමේ සීමාවක් තිබෙනවා- inyarwanda.com 

 

යම් කිසි පුද්ගලයකු අතින් වරදක් වූ විට මුලින් ම එම පෝස්ටුව හෝ කමෙන්ටුව ඉවත් කොට ඔවුනට අවවාද කිරීම සිදුකෙරෙන අතර, තත්ත්වය ඊට වඩා දුරදිග යන්නේ නම් කෙටි කාලීන ව ඔවුන්ගේ ගිණුම වෙත පිවිසීම අවහිර කිරීමත් සිදු කෙරෙනවා.

පසුවදන

සමාජ මාධ්‍යය තුළ සිය අදහස නිර්භය ව ප්‍රකාශ කරන්නට, කාටත් අයිතිවාසිකම් තිබෙනවා. එම වරප්‍රසාදය විඳින අතර, ඒවායේ සීමා තුළ හිඳිමින් ඒවා සිදු කරන්නට සියලු සමාජ මාධ්‍ය පරිශීලකයන් උනන්දු විය යුතු වෙනවා. එය එසේ සිදු නොවුවහොත් අවසන් ප්‍රතිඵලය ලෙස සිය ගිණුම සදහට ම අහිමි වී යාම වැනි තත්ත්ව වලට ද ඔහුට හෝ ඇයට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ නිසා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල සිය වචන භාවිත කරන විට, සිය අදහස සමාජගත කරන විට ඉතා ප්‍රවේශමෙන් එය සිදු කළ යුතු වෙනවා. එයින් කාට කාටත් සිදුවන අනවශ්‍ය සිත් රිදවීම් අවම වීම සිදුවෙනවා.

 Facebook ප්‍රජා ප්‍රමිති ගැන මේ උපදෙස් මාලාවත් කියවන්න.

ප්‍රචණ්ඩත්වය සහ උසි ගැන්වීම පිළිබඳ  Facebook පළ කළ මේ උපදෙස් මාලාවත් කියවන්න.

කවරයේ ඡායාරූපය - සමාජ මාධ්‍ය පරිශීලකයෝ - singularityhub.com 

මූලාශ්‍ර:

Facebook.com

Transparency.fb.com

 

Related Articles