DSLR කැමරාවල මෙන්ම ස්මාර්ට් දුරකථන කැමරාවේ පවා අපට අවශ්‍ය සේ සැකසුම් වෙනස් කරගෙන ඡායාරූප ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. Auto ආකාරයෙන් ගන්නවාට වඩා, අවස්ථාවට වඩාත් උචිත ආකාරයෙන් ඡායාරූප දසුනට නව අරුතක් ලබා දෙන්නට manually කරන සැකසුම් වැදගත් වෙනවා. එහි දී හමුවන තවත් සැකසුමක් වන්නේ ISO යන්න යි. ඡායාරූප සංවේදකය නිරාවරණය වන ප්‍රමාණයට (exposure) ෂටරයේ වේගය, aperture, සහ ISO යන තුන මුල් වෙනවා. පෙර ලිපියෙන් අපි aperture ගැන කතා කළා. දැන් ISOවලට යි අවස්ථාව.

ISO කියන්නේ මොකක්ද?

bhphotovideo.com

ISO කියන කෙටි යෙදුම අපි හොඳින් දන්නා එකක්. ISO 9001 වැනි තත්ත්ව සහතික පිළිබඳ ව වෙළඳ දැන්වීම්වල දැකලත් ඇති. කැමරාවල ISO කියන්නෙත්, ප්‍රමිතිකරණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (International Organization of Standardization) විසින් ලබාදෙන ලද සම්මත අගයයන් ගැන යි. එම ආයතනයේ මුල් අකුරු බැලුවා ම තියෙන්නේ IOS කියලා. ඒත් ඒකට ISO කියන්නේ ඇයි? ඒකට හේතුව වන්නේ විවිධ භාෂාවලින් මේ සංවිධානයේ නම ලියද්දී විවිධ කෙටි යෙදුම් ඇවිත් තියෙනවා. උදාහරණයක් විධියට ප්‍රංශ බසින් එය ලියද්දි එන්නේ ION (Organisation internationale de normalisation) කියලා. ඉතින් මෙහෙම ගැටලු වළක්වා ගන්න ග්‍රීක භාෂාවේ isos හෙවත් තුල්‍යතාව කියන වචනය අරගෙන ඒකෙන් මේ ISO යන නම හදාගෙන තියෙනවා. ඒ අනුව සෑම භාෂාවකින් ම එය ISO ලෙස ම ලිවිය යුතු බවට ඔවුන් සම්මත කළා.

විවිධ කැමරා නිෂ්පාදනවලත්, සමාන exposure අගයකින් යුතු ව කැමරා සංවේදකය හරහා ඡායාරූප සංවේදීතාව පවත්වා ගැනීමේ දීත් අවශ්‍ය වූ සම්මත අගය සමග ISO යන්න කැමරාවට ලැබුණා. ISO යන්නෙන් අදහස් වන්නේ sensor එකෙහි ආලෝක සංවේදීතාවය යි. ඒ අනුව ISO අගය වෙනස් කරද්දී කැමරාවේ image sensor එකෙහි ආලෝකයට දක්වන සංවේදීතාව අඩු හෝ වැඩි වන අතර, ඩිජිටල් කැමරාවල ඕනෑම විටක එය කළ හැකි වීම විශේෂත්වයක්. පැරණි ඒවායේ ෆිල්ම් රෝල අවසන් වනතුරු සකසන ලද Film speed එක වෙනස් කළ නොහැකි වුණා.

වෙනස් කිරීම් අනිත් දේවල්වලටත් බලපානවා

photographylife.com

ෂටරයේ වේගය සහ විවර ප්‍රමාණය (aperture) මෙන්ම, ISO අගයයන් ද exposure එකෙහි stop අගයට බලපානවා. මේ stops අගයයන් ගැන අපි aperture ගැන ලිපියෙන් පැහැදිලි කළා. එක් stop අගයක් වැඩි කරත්ම, සංවේදීතාවය දෙගුණයකින් පමණ වැඩි වෙනවා.  ISO සහ exposure stops අතර සබඳතාව මෙසේ යි: ISO 100ට වඩා, ISO 200ක් කියන්නේ එක් stop අගයක වැඩිවීමක් (සංවේදීතාව දෙගුණයකින් වැඩි කිරීමක්). ISO 6,400 කියන්නේ ISO 100 මෙන් stops 6ක්. ඔබ ISO අගය 100 සිට 400 දක්වා වැඩි කළොත්, stops දෙකක් අඩු කරමින් exposure අගය වෙනස් නොවී තබාගැනීම කළ යුතු වෙනවා. එම අවස්ථාවේ දී එය 1/125 සිට 1/500 දක්වා අඩු කරන්න පුළුවන්. කොහොම නමුත්, නිසි අගයයන් තීරණය වන්නේ ඔබ ඡායාරූපය ගන්නා ස්ථානයේ තිබෙන ආලෝක ප්‍රමාණයන් අනුව යි.

ISO අගය වෙනස් කිරීම ඡායාරූපයේ ගුණාත්මක බවටත් බලපානවා. අගය වැඩිකරත්ම සාමාන්‍යයෙන්, ඡායාරූපයේ තිත් සහිත බව වැඩි වෙනවා. අගය අඩු කළා ම තිත් ගතිය අඩු වීම වගේ ම හොඳ වර්ණ සහ ගතික පරාසය වැඩි වෙනවා. එවිට සෙවනැලි සහ වඩාත් ආලෝකමත් තැන් හොඳින් ඡායාරූපයේ සටහන් වෙනවා. එනිසා සාමාන්‍යයෙන්, ISO අගය හැකිතාක් අඩු මට්ටමක තියාගත්තා ම ඉහළ ගුණාත්මක බවකින් යුතු ඡායාරූප ලබාගන්න පුළුවන් වෙනවා.

ISO අගය වැදගත් වන අවස්ථා

වැඩි ISO අගයකින් වැඩි පෞරාණික බවක් ඡායාරූපයට ලබාදෙන්න පුළුවන් (squarespace.com)

සමහර අවස්ථාවල දී හොඳ exposure එකක් වෙනුවෙන් ISO අගය වැඩි කරන්නට සිදුවෙනවා. ඒ බොහෝ විටම අභ්‍යන්තර දසුන්, අඳුරු සහිත ස්ථානවල දී ගන්නා ඡායාරූප සඳහා යි. වේගවත් shutter speed එකක් අවශ්‍ය වන ක්‍රීඩා අවස්ථාවන්ගේ, වේගයෙන් චලනය වන වස්තුවක ඡායාරූප ගනිද්දී හෝ deep depth of field හෙවත් මුළු ඡායාරූපය ම පැහැදිලි ලෙස තිබෙන විශාල පරාසයක් දසුනක් (දුර ඇති කඳු වළල්ලක්, කෙළවර දක්වා පැහැදිලි මාර්ගයක්) සහිත අවස්ථාවන්වල දී වැඩි ISO අගයක් යෙදිය යුතු වෙනවා. විශාල සංවේදකයක් තිබෙන කැමරාවල නම් ISO අගය වැඩි අගයක් යෙදූවත් ඡායාරූපයේ ගුණාත්මකභාවයට බාධාවක් වන්නේ නැහැ.

ඉහළ ISO අගයකින් ගත් portrait ඡායාරුවක් (puppycatphotography.blogspot.com)

Tripod එකකින් කැමරාව ස්ථාවර ව තියාගන්නවා නම් අඩු shutter speed එකක් යොදාගන්න වෙනවා. එවිට, අඩු ISO අගයක් යොදාගන්න අවස්ථාව සැලසෙනවා. ලොකු depth of field එකක් අවශ්‍ය නැත්නම්, aperture එක වැඩි කරලා (වැඩි ආලෝකයක් කාචයට ලබාදීලා) අඩු ISO අගයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි, විවිධ කාචවල විවිධ උපරිම aperture අගයයන් තියෙන නිසා හැම එකටම එලෙස සමාන ආලෝකයක් ඇතුළු කරගන්නට නොහැකි බවත් සිහි තබාගත යුතු යි. ෆ්ලෑෂරයක් වැනි කෘත්‍රීම ආලෝකය පාවිච්චි කරන විටක දී අඩු ISO අගයක් පවත්වා ගන්න පුළුවන්. ඉන්ස්ටග්‍රෑම් දාන්න ගන්න කුඩා ප්‍රමාණයේ ඡායාරූපවලට නම් ISO අගය ටිකක් වැඩි වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. Vintage ආකාරයේ ඡායාරූප සඳහා (පැරණි පෙනුමක් ලබාදෙන ආකාරයේ ඒවාට) වැඩි ISO අගයකින් noise ගතියක් එක් කරන්නට පුළුවන් නමුත් එය ඡායාරූපය ගැනීමෙන් අනතුරුව edit කර ගැනීමට ඉතිරි කරගන්න එක වඩාත් හොඳයි.

කැමරාවේ LCD එකෙන් ඔබ්බට හිතන්න

ISO අගය ගුණාත්මක බවට ප්‍රතිලෝම ව සමානුපාත යි. (cloudfront.net)

ISO අගය කොතරම් වැඩි කළත් කැමරාව සතු කුඩා LCD එකෙන් බලාගෙන ඡායාරූප ගන්නවා නම් හෝ ගත්තු ඡායාරූපය ඉන් බලද්දී ලොකු වෙනසක් නොපෙනෙන්න පුළුවන්. මොකද, පරිගණකය වැනි ලොකු තිරයක දී යි ඡායාරූපයේ ඇති වන තිත් සහිත බව වැඩිපුර පෙනෙන්නේ. සමහර අවස්ථාවල දී ISO වැඩි කරලා ගත්තත් පරිගණකයෙන් JPG ඡායාරූප බලද්දී එහි Noise දකින්නට ලැබෙන්නේ නැතුව බොඳ වුණු ගතියක් එක්වන්නට පුළුවන්. එහෙම වෙන්නේ කැමරාවේ settingsවලින් noise cancelling සක්‍රීය කර තිබෙන නිසා යි. ඒවායෙන් තිත් ගතිය අඩු කිරීම සඳහා ඡායාරූපය බොඳ කරමින් ඊට පැහැදිලි බවක් එක් කරන්නට උත්සාහ ගන්නා නිසා අපිට අවශ්‍ය ආකාරයට ඡායාරූපය නොලැබී යනවා. ISO වැඩි කරන විට සැකසුම්වල noise cancellingනුත් අඩු අගයක තිබෙන බවට සහතික කරගන්න. ඡායාරූපය ගන්නා අවස්ථාවේ දී කරනවාට වඩා පසු ව edit කරද්දී noise අඩු කිරීම වඩාත් හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා.

සාරාංශයක් විදියට බැලුවොත්, ඉහළ ISO අගයකින් වේගවත් shutter speed එකක්, කුඩා aperture එකක් සමග, හෝ අඳුරු අවස්ථාවල ඡායාරූප ගන්නට අවස්ථාව සැලසෙනවා. හැබැයි, noise වැඩි වන නිසා ම detail ගතිය අඩු වෙනවා.

 

කවරයේ ඡායාරූපය: digitaltrends.com