Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 දී Chrome වෙතින් බලාපොරොත්තු විය හැකි විශේෂාංග

2019 නොවැම්බර් මාසය වන විට 33.14%ක් Android Chrome බ්‍රවුසරයත්, තවත් 23.71%ක් ක්‍රෝම් පරිගණක වෙළුමත් අත්පත් කරගත්තේ තවත් වසරකට බ්‍රවුසර කිරුළ පළඳිමිනි. ඉදිරි වසරේත් මේ නම රඳවා ගන්නට නම් ගූග්ල් සමාගම තවත් විශේෂාංග ගෙන ආ යුතු ය. කැනරි, ක්‍රෝමියම්, Flags ආදිය හරහා දැනට තහවුරුව ඇති විශේෂාංග කිහිපයක් මෙසේ යි.

භාවිතා නොකරන Tabs අක්‍රීය කිරීම

සංගීතය වාදනය වන ඒවා අක්‍රීය නොවේ (vox-cdn.com)

2005-2010 පමණ කාලයේ Firefox අපගේ හොඳම බ්‍රවුසරයව පැවතිය ද, එය පරයා Chrome ඉදිරියට ආවේ එය සතු වූ සැහැල්ලු බව නිසා ම යි. එහෙත් එය ක්‍රමයෙන් උගුරට දෙකට බොන බේබද්දෙක් මෙන්, RAM-බද්දෙක් බවට පත් විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ Tab විශාල ප්‍රමාණයක් විවෘත කළ විට ඒ සියල්ලම සක්‍රීයව පවත්වා ගැනීම යි.

මෙය විසඳීම සඳහා ලිහිල් නීති යටතේ භාවිතා නොකරන Tabs තාවකාලිකව අක්‍රීය කරනු ඇති. එනම් වීඩියෝ/ ගීත වාදනය කරන, Screen capture කරන, DevTools භාවිතා වන, Mirror කරන හෙවත් වෙනත් උපාංගයකින් භාවිතා වන ආදියත්, පරිශීලකයා විසින් අක්‍රීය නොකරන ලෙස සැකසූ ඒවාත් මේ අනුව අබල කරන්නට කටයුතු යෙදේ

මෙමඟින් පරිගණකයේ වේගය අඩු වීම වැළැක්වීමට අමතරව, ලැප්ටොප් පරිගණකවලට වැඩි බැටරි ආයු කාලයක් ලබා දීම ද අපේක්ෂා කෙරේ.

Tabs Group කිරීම

වර්ණ අනුව වෙන් කළ හැකියි (githubusercontent.com)

එක්වර විවිධ ක්ෂේත්‍රයන් කිහිපයක් ගවේෂණය කරන අවස්ථාවක් එනම්, ජාවාස්ක්‍රිප්ට් ඉගෙන ගනිමින් සිටිය දී එක්වරම තෙවන ලෝක යුද්ධය ගැන සොයන්නට සිතුණු විටක දී Tabs විශාල ප්‍රමාණයක් ගොඩගැසීම කරදරයක් බවට පත් වේ. ඒ වෙනුවට, කිසියම් මාතෘකාවක් අනුව Tabs සමූහනය (Group කිරීම) පහසුවකි.

මෙය දැනටමත් Chrome Flags පිටුව (chrome://flags) වෙත පිවිස “Tab Groups” ලෙස Search කර, (නැතහොත් chrome://flags/#tab-groups වෙත පිවිස,) Enabled ලෙස යොදා බ්‍රවුසරය Restart කිරීමෙන් සක්‍රීය කරගත හැකි නමුදු, තවමත් ස්ථායීව ක්‍රියාත්මක නොවෙයි. 

Microsoft Edge සතුව Set Tabs Aside නමින් දැනටමත් මෙයට සමාන විශේෂාංගයක් තිබේ. එය වර්ණ නොගන්වන නමුදු අලුත් දෙයක් වෙත යොමු වන විට දැනට පවතින ටැබ්ස් එක්වරම පැත්තකට දමා (Set Aside කර) මිශ්‍ර වීම වළක්වා ගත හැකි වේ.

දුරකතන සඳහා වෙනස් Tab Switcher එකක්

 Grid එකක් ආකාරයට ලැයිස්තු ගත වේ (digitalinformationworld.com)

The Witcher ට්‍රෙන්ඩ් වෙන කාලයේ Tab Switcher එකක් දුරකතන සඳහා ලැබිය හැකි බවට ඉඟි ලැබෙමින් පවතී. දැනට ක්‍රෝම් බ්‍රවුසරයේ ඉහළ (Navigation bar එක මත) සිට පහළට Swipe කළ විට විවෘතව ඇති සියලු Tabs දැක ගන්නට හැකි වේ. එය ඇනිමේශන් ද සමග අලංකෘතව තිබුණ ද, එය වෙනස් කිරීමේ අදහසක් ගූග්ල් සමාගම ගෙන තිබේ.

ඔබ දුරකතනයේ ෆයර්ෆොක්ස් භාවිතා කරනවා නම් එහි Compact View එකෙහි සියලු Tabs දක්වන ආකාරය දැක ඇති. ක්‍රෝම්වලට ලැබීමට නියමිතව ඇත්තේ ද ඊට සමාන විශේෂාංගයකි. එහි කොටු දැලක ආකාරයට Tabs පෙළගැස්වෙයි.

මෑතකාලීන Chrome Canary බ්‍රවුසරයෙන් මෙය දැකගත හැකි වූ අතර, එය අනිවාර්යයෙන්ම Public Stable Release එකක් වශයෙන් පැමිණෙතැ යි කිව නොහැක. පැමිණියහොත්, බොහෝ විට ෆයර්ෆොක්ස්වල මෙන්ම එය Settingsවලින් අපට තෝරන්නට හැකි වන පරිදි සකසනු ඇතැ යි අනුමාන කළ හැකි ය.

වෙබ් අඩවිවලටත් Dark Mode

ක්‍රෝම්වලට දැන් පරිගණකයේත්, දුරකතනයේත් Dark mode එක ලැබී තිබේ. එහෙත් එම බ්‍රවුසරයේ UI එක සඳහා පමණක් වන අතර, රාත්‍රියේ දී සුදු පැහැයෙන් යුත් වෙබ් අඩවි වෙත පිවිසීමේ දී ඇසේ තාරා මණ්ඩලයට, තාරා දේවියගේ පිහිටය! ෆයර්ෆොක්ස් මේ ගැටළුව තම Reader Mode එක හරහා විසඳන්නට සමත් වුව ද Chromeවල එවන් පහසුකමක් නොමැත.

වෙබ් අඩවි සංවර්ධකයන් සඳහා දැන් සම්මත CSS Media Query එකක් තිබේ. එනම්, @media (prefers-color-scheme: dark) ලෙස Dark mode එක සක්‍රීයදැ යි බැලිය හැකිය. එහෙත් සියලුම වෙබ් අඩවි ඒ හා යාවත්කාලීනව ඇත්දැ යි යන්න නිසැක නොවන නිසා බ්‍රවුසරයට ඒ සඳහා කාර්යභාර්යයක් පැවරේ.

මෙය ද Flags හරහා සක්‍රීය කළ හැකි ආකාරය ‘Chrome සඳහා ඕනෑම මෙහෙයුම් පද්ධතියකින් Dark mode ලබාගන්නා හැටි’ යන ලිපියෙන් අප ගෙන ආවෙමු. මෙය අත්හදා බැලීමේ මට්ටමේ දැනට පැවතුණ ද, මේ වසරේ දී එය සාර්ථකව එළිදක්වනු ඇති බව අපේක්ෂිත ය.

උපාංග අතර Clipboard එක Sync කිරීම

කොපි කළ දෑ උපාංග අතර හුවමාරු කළ හැකි වේ (chromeunboxed.com)

ඇපල් පරිගණකවල වසර ගණනාවක තිස්සේ පරිගණකය හා iPhone එක අතර Clipboard Sync කිරීමේ හැකියාව තිබිණ. ඉන් සිදුවන්නේ පරිගණකයෙන් කොපි කරගත් දෙයක් දුරකතනයේ ද Paste කළ හැකි වීම යි. බහුලව භාවිතා වන බ්‍රවුසරයක් වශයෙන් මෙය වින්ඩෝස් සහ ලිනක්ස් සඳහා ද ඒ ගැටළුව විසඳන්නක් බවට පත්වනු ඇති.

පරිගණකයේ ක්‍රෝම් මෘදුකාංගයේ මෙන්ම දුරකතනයේ ක්‍රෝම් ඇප් එක තුළින් Sync සක්‍රීය කර ඇති විට, එක් උපාංගයකින් කොපි කළ යමක් අනෙක් උපාංගයේ භාවිතා කළ හැකි ආකාරයේ පහසුකමක් මෙසේ එක් වීමට නියමිත ය. මෙතෙක් කල් එය තෙවන පාර්ශවීය Extensions, Appsවලින් කරන්නට සිදුවුණ ද පෙරනිමියෙන් එවන් විශේෂාංගයක් ලැබීම විශ්වාසනීය ය.

මෙම විශේෂාංගවලට අමතරව ෆයර්ෆොක්ස් සතුව ඇති Firefox Monitor හෙවත් ඔබේ මුරපද, ඊමේල් ලිපින යොදා ඇති වෙබ් අඩවිවල දත්ත කාන්දුවක් සිදුවුණහොත් වහා ඒ බව දැනුම් දෙන ආකාරයේ සේවාවක් ගූග්ල් සමාගමෙන් ද ගෙන එනු ඇති බව දැනට Flags සතුව ඇති chrome://flags/#password-leak-detection යන්න ඉඟි පළ කරයි.

කවරය: 9to5google.com

මූලාශ්‍රයයන්:

  • chromium.googlesource.com
  • statista.com
  • 9to5google.com
  • techradar.com
  • computerworld.com
  • gadgethacks.com
  • thenextweb.com

Related Articles