Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

WWDC 2019 හි දී iOS සහ අලුතින්ම හඳුන්වාදෙන iPadOS වෙත එක්වුණු විශේෂාංග

ඇපල් සමාගමේ වාර්ෂික නිෂ්පාදන එළිදැක්ම Worldwide Developers Conference (WWDC) මෙවර කැලිෆෝනියාවේ සැන් හෝසේ හි මැක්එනරි සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. සුපුරුදු පරිදි මෙය අන්තර්ජාලය හරහා සජීවීව විකාශය කෙරුණු අතර ඇපල් රසිකයන්ගේ ලොමු දැහැගන්වන නව විශේෂාංග රැසක්ම MacOS, iOS, WatchOS සහ අලුතින් හඳුන්වාදෙන iPadOS වෙත ලැබුණා.

iOS 13 සමග Dark mode, ස්ටිකර් සහිත Memoji සහ තවත් දේ

iOS 13 හඳුන්වා දෙන ඇපල් සමාගමේ මෘදුකාංග ප්‍රධානී Craig Federighi (9to5mac.com)

iPhone 6 සහ ඉන් පහළ උපාංග හැර එනම්, iPhone 6S වලින් ඉහළ සියළුම උපාංගවලට iOS 13 ලැබෙනු ඇති. දැනට Developer Preview එකක් එළිදක්වා ඇති අතර ජුනි මාසයෙන් පසුව Beta එකක් නිකුත් වීමට නියමිත යි.

මෙහි Appsවල ප්‍රමාණය 50%කින් ද Updatesවල ප්‍රමාණය 60%කින් ද අඩු වනු ඇති අතර දෙගුණයක වේගයෙන් Apps විවෘත වන බව ඇපල් සමාගමේ මෘදුකාංග ප්‍රධානී Craig Federighi සඳහන් කළා. Apple Mail සඳහා Desktop ආකෘතියක්, Notes වෙතට සියළුම සටහන් එක්වර බැලිය හැකි Gallery view එකකුත්, Safariවලට දැන් වෙබ් අඩවියෙන් අඩවියට වෙනස් සැකසුම් මතක තබා ගත හැකි විශේෂාංගයකුත් ඇතුළු තවත් බොහෝ ‍දේවල් මෙයට එක් වුණා..

ඔන්න අන්තිමට Dark Mode එකත් ලැබුණා

System Apps රැසකට Dark Mode එක සක්‍රීය වෙනවා (cbsistatic.com)

බො‍හෝ කාලයක් කටකතා ලෙස පැවති iOS සඳහා Dark mode එක අවසානයේ සත්‍ය වශයෙන්ම iOS 13 සමග අත්විඳින්නට ලැබෙනවා. එය හඳුන්වාදුන් අවස්ථාවේ සැලකිය යුතු කාලයක් එම අවස්ථාවට පැමිණ සිටි රසිකයන් අත්පොළසන් දෙමින් සතුටට පත්වූ ආකාරය දකින්නට ලැබුණා. iPhone X සතු OLED තිරයට මෙය මහත් ප්‍රයෝජනවත් වන මෙය එහි බැටරි ආයු කාලය තවත් දීර්ඝ කරනු ඇති.

Swipe කළ හැකි කීබෝඩ් එකක්

වම්පස – ඔබේ Facemoji එකට ස්වයංක්‍රීයව සැකසුණු Sticker Pack එකක්. දකුණුපස – Keyboard එකේ දැන් ස්වයිප් කරමින් ටයිප් කළ හැකියි (cbsistatic.com)

තෙවන පාර්ශවීය කීබෝඩ් ස්ථාපනය කිරීමේ පහසුකම් ලබා දී තිබෙනමුත් ඇපල් මෙහෙයුම් පද්ධතිය සතු කීබෝඩ් එකටත් දැන් Swipe කර ටයිප් කිරීමේ පහසුකම එක් වෙනවා. මේ නිසා ඒ විශේෂාංගය වෙනුවෙන්ම Gboard, SwiftKey වැනි වෙනත් කීබෝඩ් ඇප් එකක් දාගෙන සිටින අයට ඉන් මිදෙන්නට හැකි වෙනවා.

කියන්නට ඇති දේවල් අමතක වෙනවාට විසඳුමක්

Reminders ඇප් එක සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති අතර දවස අනුව, Scheduled සහ All එහි කොටස් වෙන් කර තිබෙනවා. Reminder එකක් එකතු කරද්දී එයට සිහි ගැන්විය යුතු වේලාව AI තාක්ෂණය මගින් අපිට යෝජනා කරනවා. ඔබ යම් කෙනෙක්ගේ නමක් Tag කළහොත් ඒ පුද්ගලයා සමග චැට් කරන වෙලාවේදී අදාල Reminder එක සිහි ගන්වන නිසා කතා කරද්දී සිදුවන අමතක වීම් වළක්වා ගන්නටත් දැන් අවස්ථාව තිබෙනවා.

Apple Mapsවලටත් Street View

සිතියම තුළට පිවිස මාර්ගයේ අංශක 360ක් බලන්නට හා ඇවිද යන්නට හැකියි (vox-cdn.com)

Apple Mapsවල දැන් පාරවල් දිගේ ඇවිද යාමේ විශේෂාංගයක් එක් කොට තිබෙනවා. ඔව්, මේ කියන්නේත් වසර ගාණක් Google Mapsවල තිබුණු Street View එකම තමයි. නමුත් මෙහි ඉදිරියට ගමන් කිරීමේ දී GMapsවලට වඩා සුමටව ඉදිරියට යාම විශේෂත්වයක්. එය මේ වසරේ දී ඇමරිකාවටත්, ලබන වසරේ සිට වෙනත් රටවලටත් ලැබෙනු ඇති.

අලුතින් එන Sign In with Apple බොත්තම

Sign In with Apple බොත්තම එළිදක්වමින් (digitaltrends.com)

වෙබ් අඩවිවලට Log In වීම සඳහා Sign in with Google හෝ Facebook ලෙස තිබෙන ආකාරය ඔබ දැක ඇති. දැන් Apple උපාංග පාවිච්චි කරන අයට බාහිර ආයතනවල ගිණුම් සකසමින් ඒවාට පෞද්ගලික තොරතුරු දෙන්නේ නැතිව Apple සමගම රැඳ‍ෙන්නට හැකි වෙනවා. අලුතින් එක්වන බොත්තම හරහා Face ID පවා භාවිතා කළ හැකි නිසා වෙබ් අඩවි වලට පිවිසීම වඩාත් පහසු වෙනවා.

මීට අමතරව, Apple Account එක හරහා Appsවලට වෙන්වූ Private email address හැදිය හැකි නිසා විශ්වාසභාවයෙන් අඩු Apps අත්හදා බලද්දී ඔබේ ප්‍රධාන ඊමේල් ලිපිනය ආරක්ෂා කරගෙන බොරු ලිපිනයක් දෙන්නට පුළුවන්.

ඡායාරූප සංස්කරණය පමණක් නොව Videos Rotate කරන්නටත් අවස්ථාව

ඡායාරූප සංස්කරණ පහසුකම (lowyat.net)

iOS හි Photos ඇප් එක වෙතට නව සංස්කරණ හැකියාවන් රැසක් එක් වෙනවා. Highlights, Shadows, Contrast, Saturation, White Balance, Vignette ආදී Instagramවල දකින්නට ලැබෙන සංස්කරණ හැකියාවන් විශාල ප්‍රමාණයක් ‍iOS 13 සමග ලැබෙනවා. Machine Learning හැකියාවන් සමග ඡායාරූප නැරඹීමේදී කරදරකාරී Screenshots, එකම ඡායාරූපය දෙවරක් ඇති අවස්ථාවන් ආදිය මඟහරිමින් බලන්නට හැකි වෙනවා.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ දැන් Videos දුරකතනය තුළින්ම Roate කළ හැකි වීම යි.

Find My නමින් අලුත් App එකක්

මෙතෙක් කල් තිබුණු Find My Friends සහ Find My iPhone යන apps දෙක එකතු කරමින් Find My ලෙස තනි App එකක් ලැබෙන අතර එයට ඔබේ ඇපල් උපාංගය අන්තර්ජාලයට සම්බන්ධව නොතිබුණත් Bluetooth හරහා සොයා ගන්නට සමත්කම් දක්වනවා.

අලුතින් iPad සඳහාම හඳුන්වාදෙන iPadOS

WWDC 2019 හි දී iPadOS හඳුන්වාදෙමින් (slashgear.com)

ඇපල් ටීවීවලට tvOS එකත්, මැක්බුක් ආදියට MacOS එකත් වගේ මෙතෙක් කල් ඇපල් දුරකතනවලට ආ iOS මෙහෙයුම් පද්ධතියම තිබුණු iPadවලට දැන් එයටම වෙන් වූ iPadOS ලැබෙනවා. එමඟින් විශාල ප්‍රමාණයේ තිරවලට වඩාත් උචිත සේ මෙහෙයුම් පද්ධතිය වෙන් කොට සකසා ගන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

Home Screen එකට දැන් Widgets (apple.com)

iPadOS සතුව Home Screen එකේ Apps ලැයිස්තුව මත දකුණට Swipe කළාම දැන් Notification Center එකට සමාන Widgets සහිත නව තීරයක් ලැබෙනවා. එමගින් තිරයේ උපරිම ප්‍රයෝජන ගන්නටත්, Androidවල වගේම Home Screen එකෙන් විජට් පහසුකම් අත්විඳින්නටත් හැකි වෙනවා.

Safari බ්‍රවුසරය iPad සඳහා විශේෂිතව නිර්මාණය කරමින් පරිගණකයට සමාන ගවේෂණ අත්දැකීම් ලබාදෙන අතර වෙබ් අඩවිවල Mobile View එක වෙනුවට Desktop පෙනුම ලබා ගන්නට ද අවස්ථාව සලසනවා. එයට Download Manager එකක්, කීබෝඩ් shortcut 30ක් පමණ, අකුරු ප්‍රමාණ වෙනස් කිරීම්, ඡායාරූප උඩුගත කිරීමට පහසුකම් ද ලැබෙනවා.

Apple Pencil හි කල්ගතවීම 20ms සිට 9ms දක්වා අඩුකර තිබෙනවා (apple.com)

ඇඟිලි තුනකින් Pinch-In කිරීමෙන් Copy කිරීමටත්, අවශ්‍ය ස්ථානයේ Pinch-Out කළ විට Paste කරන්නටත් හැකි Gestures මෙහි අඩංගු වෙනවා. Text select කිරීමත් දැන් වඩාත් පහසු කර තිබෙනවා. Pencil එක එක් කොණක සිට මැදට Drag කළ විට Screenshot එකක් ගන්නා අතර ඒ මත ලිවීමට අවස්ථාව දෙනවා.

iPad වෙතට දැන් USB සබැඳීමේ හැකියාව (mgig.fr)

iPad වලට Androidවල බොහෝ කලක සිට පැවති OTG පහසුකම් ද එක්වන අතර එමඟින් Files app එක හරහා SD Card සහ USB Driveවල තිබෙන ගොනු භාවිතා කරන්නට හැකි වෙනවා. බාහිර කැමරා හරහා ඍජුව ඡායාරූප Import කරන්නටත්, iCloud Drive එක සහ Nework Servers එක් කිරීමටත් දැන් අවස්ථාව තිබෙනවා.

ඒ වගේම දැන් iPad එක මතින් Macbook තිරය නරඹමින් Touch සහ Pencil පහසුකම් අත්විඳිය හැකිවීම හරිම අපූරු යි. ඒ හැරුණු කොට, අපේ නම් අදහස iOS සහ iPadOS සඳහා මෙවර Android අභිබවා යන තරම් විශේෂාංගයක් නොලැබුණු බව යි. ඔබ මොකද හිතන්නේ?

කවරය: ytimg.com

Related Articles