Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇත්තටම ලොව ප්‍රථම පරිගණකය හැදුවේ චාර්ල්ස් බැබේජ් ද?

පළමු පරිගණකය නිපදවූයේ චාර්ල්ස් බැබේජ් බව බහුලව භාවිතා වන මතය යි. පොත පතින් මෙන්ම අන්තර්ජාලයේ සෙවීමකින් පවා ඉහළටම ලැබෙන උත්තරය එය වන අතර, විභාගයේ දී ලැබෙන ප්‍රශ්නවලටත් අපි ලියන්නේ “ලොව පළමු පරිගණකය සකසන ලද්දේ චාර්ල්ස් බැබේජ් විසින් ය” කියා යි. ඒත් තවත් ‘ලොව ප්‍රථම පරිගණක’ රැසක් තිබෙනවා.

බැබේජ් නිපැයූ යන්ත්‍ර

ඩිෆරන්ස් එන්ජින් පරිගණකය (wikimedia.org)

1791දී උපත ලද චාර්ල්ස් බැබේජ් අවුරුදු අසූවක් ආයු වැළඳූ, ගණිතය හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයෙකු වුණු බ්‍රිතාන්‍ය මහාප්‍රාඥයෙක්. ඔහුගේ අතින් සැකසුණු ඩිෆරන්ස් එන්ජින් (Difference Engine) සහ ඇනලිටිකල් එන්ජින් (Analytical Engine) යන්ත්‍ර දෙක බොහොම ප්‍රසිද්ධ යි. 1822දී සැකසීම් ඇරඹුණු Difference Engine යන්ත්‍රයට ගණිතයේ බහුපද ප්‍රකාශනවල පියවර සඳහා සහාය වන්නට හැකියාව තිබුණා.

ඇනලිටිකල් එන්ජින් පරිගණකය (haverford.edu)

ඩිෆරන්ස් එන්ජින් එකට වඩා සංකීර්ණව 1837දී යෝජිත Analytical Engine යන්ත්‍රය සැකසුණා. නූතන පරිගණකවල මූලික අංග වන CPU එක සහ මතකයන් බැබේජ් විසින් එහි ‘කම්හල’ (Mill) සහ ‘ධාරිතාව’ (Store) ලෙස නම් කර තිබුණා. මෙම යන්ත්‍රය සැකසීමට අවශ්‍ය පූර්ණ ප්‍රතිපාදන සපයා ගන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. 1991දී ලන්ඩන් විද්‍යා කෞතුකාගාරය විසින් සම්පූර්ණ සහ ක්‍රියාකාරී තත්ත්වයේ ආකෘතියක් සකසන්නට සමත්වූ අතර, එහි බැබේජ්ගේ කාලයේ තිබූ යාන්ත්‍රික ක්‍රමශිල්ප භාවිතා කරනු ලැබුවා.

අතීත චීනයේ සහ ග්‍රීසියේ තිබූ පරිගණක

දක්ෂිණ දිශා දර්ශකයේ සැකැස්ම (grabcad.com)

නූතන පරිගණකකරණයේ පියා ලෙස බැබේජ්ව සැලකෙන නමුත්, අතීතයේ භාවිතා වුණු උපාංග දෙකක් ප්‍රථම ප්‍රතිසම (analog) පරිගණක ලෙස සැලකෙනවා. ඒ, චීනයෙන් හමුවූ දක්ෂිණ දිශා-දර්ශක රථයක් සහ ග්‍රීසියෙන් හමුවුණු Antikythera (ඇන්ටිකිතිරා) යන්ත්‍රය යි.

දක්ෂිණ දිශා දර්ශක රථය ක්‍රි.පූ. 5 වන සියවසේ ඩොංග්වු චේ ලෙස හැඳින්වුණු යුද්ධ රථයක් පදනම් කරගත් නිර්මාණයක්. එයට දකුණු දිශාව දර්ශනය කිරීමේ විශේෂාංගය එක් කළේ ක්‍රි.පූ. 1 වන සියව‍ස පමණ කාලයේ දී යි. මෙය දකුණ පෙන්වන මාලිමාවක් නමුත්, එහි කාන්දම් යොදාගෙන තිබුණේ නැහැ. ගමනක් ආරම්භ කරද්දී එහි දිශාව සකසන අතර, ගමන් කරද්දී රෝදවලට සබැඳුණු දැති රෝද පද්ධතියක් මඟින් එහි දර්ශකය වෙනස් කරගනු ලබනවා.

ඇන්ටිකිතිරා යන්ත්‍රයේ නටඹුන් (ytimg.com)

Antikythera යන්ත්‍රය කියන්නේ සූර්යය පන්ති යන්ත්‍රයක්. එමගින් නක්ෂත්‍රමය පිහිටීම් බලාගැනීම එකල වැසියන්ට පහසුවක් වුණා. ග්‍රීක දූපත් ආශ්‍රිතව තිබූ මුහුදුබත් වූ නැවක තිබී මෙය 1901 දී සොයා ගැණුනා. මෙය ක්‍රි.පූ. 205ත්, ක්‍රි.පූ. 60ත් අතර කාලයට අයත් බව සැලකෙනවා. මෙය අත් දණ්ඩක් සහ දැති රෝද 30ක් පමණ මුදු ආකාර මුහුණතට සම්බන්ධ කර සකසා තිබෙනවා.

අතීත ග්‍රීසිය බිඳ වැටීමත් සමග එහි තිබූ තාක්ෂණය බොහෝ කාලයක් ලොවින් වැසී තිබුණා. 14 වන සියවසේ දී යුරෝපයට යාන්ත්‍රික නක්ෂත්‍ර ඔරලෝසු පැමිණෙන තුරුම එවන් සංකීර්ණ තාක්ෂණයක් නූතන වැසියන් අතර භාවිතයට ගැණුනේ නැහැ.

ලොව ප්‍රථම ක්‍රමලේඛ පරිගණකය ජර්මනියෙන්

සූසාගේ Z1 පරිගණකය (cbsistatic.com)

ජර්මානු පුරෝගාමියකු වූ කොන්රැඩ් සූසා (Konrad Zuse) විසින් ලොව ප්‍රථම ක්‍රමලේඛගත කළ හැකි පරිගණකය සැකසුවා. 1935 සහ 1938 අතර කාලයේ දී බර්ලින්හි නිපැයුණු මෙහි ප්‍රථම වෙළුම Z1 ලෙස නම් කර තිබුණා.

Z1 පරිගණකයට මිලි මීටර් 35 ප්‍රමාණයේ සිදුරු පතකින් විධාන කියැවීමට හැකියාව තිබුණා. නමුත් එය සතුව තිබූ පූර්ණ නිවැරදිතාවයක් නොමැති 30,000ක් පමණ වූ ලෝහ කොටස් නිසා වැඩි කාර්යයක්ෂමතාවයක් ලැබුණේ නැහැ. මෙය ගුවන් ප්‍රහාරයක් නිසා දෙවන ලෝක යුද්ධ සමයේ දී විනාශයට පත් වුණා.

මින් කනගාටුවට පත් සූසා, එවන් පරිගණක ශ්‍රේණියක්ම 1940 දී Z2, 1941 දී Z3 සහ 1949 දී Z4 ලෙස සකසනු ලැබුවා. Z3 පරිගණකය ලොව ප්‍රථම ක්‍රියාකාරී, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වුණු, ‍ක්‍රමලේඛනය කළ හැකි සංඛ්‍යාක (digital) පරිගණකය බවට පත් වුණා. එය බිටු 22ක බයිනරි ගණක යන්ත්‍රයක්. එය සතුව Loop තිබුණු අතර මතකය සහ අංක ගණනය කිරීමේ ටෙලිෆෝන් relay යොදාගෙන සිදුවුණා. නමුත් කොන්දේසි මත ක්‍රියාත්මක වීමක් (IF ELSE ආදිය) භාවිතා වූයේ නැහැ.

ප්‍රථම ඉලෙක්ට්‍රොනික පරිගණකය බ්‍රිතාන්‍යයෙන්

කොලෝසස් පරිගණකය භාවිතයට ගනිමින් (ytimg.com)

පරිගණකයක් නම් එය විදුලියෙන් ම ක්‍රියා කළ යුතු එකකැ යි ඔබ සිතනවා නම් බ්‍රිතාන්‍යයේ දුරකතන ඉංජිනේරුවකු වූ ටොමී ෆ්ලවර්ස් (Tommy Flowers) යනු ලොව ප්‍රථම පරිගණකය සැකසූ පුද්ගලයා යි. ඔහු කොලෝසස් (Colossus) උපාංගය නිපදවූවා. එය දෙවන ලෝක යුද්ධ සමයේ දී ජර්මනියේ ප්‍රධාන අණදෙන නිලධාරීවරයා සමග හුවමාරු කරගත් ආකේතිත (encrypted) පණිවිඩ තේරුම් ගැනීමට පාවිච්චි කෙරුණා.

මෙම පරිගණකයට තාපජ වෑල්ව (valves) යොදාගෙන බූලියානු සහ ගණනය කිරීම් කටයුතු කරන්නට හැකියාව තිබුණා. එය ලොව ප්‍රථම ක්‍රමලේඛනය කළ හැකි, ඉලෙක්ට්‍රොනික සංඛ්‍යාක (digital) පරිගණකය යි.

හැබැයි කොලෝසස් පරිගණකයේ ක්‍රමලේඛන කටයුතු ගබඩා කරන ලද මෘදුකාංග වෙනුවට ස්විච සහ ප්ලග් යොදාගෙනයි සිදුවුණේ. එහි වැඩසටහනක් වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් නැවත වයර් අමුණමින් සැකැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට සිදු වෙනවා.

වැඩසටහන් Store කළ හැකි මැන්චෙස්ටර් බබා

පරිගණකකරණය වෙනස් කළ SSEM (ytimg.com)

පරිගණක වැඩසටහන් රැඳවිය (Store කළ) හැකි ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික පරිගණකය ලෙස Small-Scale Experimental Machine (SSEM) එක සැලකෙනවා. එයට Manchester Baby ලෙස අන්වර්ථ නාමයක් ද ලබාදී තිබුණා. මෙය එංගලන්තයේ මැන්චෙස්ටර්හි වික්ටෝරියා සරසවියේ කටයුතු කළ ෆ්‍රෙඩ්‍රික් විලියම්ස්, ‍ටොම් කිල්බර්න් සහ ජෙෆ් ටූටිල් තෙපල විසින් සකසනු ලැබුවා. Manchester Baby පරිගණකය 1948 ජුනි 21 දා ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරුණා.

මෙම පරිගණකය ප්‍රායෝගිකව භාවිතයට ගැනීම සඳහා සැකසූවක් නොවෙයි. එය නිර්මාණය කෙරුණේ හුදෙක්ම අත්හදා බැලීම් කිරීමට පමණ යි. මේ නිසාම ලොව ප්‍රථම RAM එක අත්හදා බලන්නට යොදා ගැ‍ණුනේ මේ පරිගණකය යි. පසුකාලීනව මෙහි නිර්මාතෘන් තිදෙනා විසින්ම එය වැඩිදියුණු කරමින් 1949 දී මැන්චෙස්ටර් මාර්ක් 1 (Manchester Mark I) පරිගණනය සැකසූවා. එය අනතුරුව 1951 දී තවත් වැඩිදියුණු කරමින් ෆෙරන්ටි මාර්ක් 1 (Ferranti Mark 1 / Manchester Electronic Computer ලෙසද හැඳින්වුණු) පරිගණකය බිහි කළා. එය ලොව ප්‍රථම වාණිජ්‍යමය වශයෙන් මිල දී ගත හැකි වූ සාමාන්‍ය භාවිත පරිගණකය යි.

1950න් පසුව ඇරඹුණු පරිගණකවල ශීඝ්‍ර දියුණුව

නූතන පරිගණක සැලැස්මේ මී මුත්තා වූ Xerox Alto පරිගණකය (arstechnica.net)

මැන්චෙස්ටර් ඉලෙක්ට්‍රොනික් පරිගණකය අද තිබෙන පරිගණකවල ආසන්නයේවත් තැබිය හැකි තරම් හැකියාවන්ගෙන් යුතු නොවූවත් 1950 මැද භාගයේ දී අද තිබෙන පරිගණක තරගකාරීත්වයේ ආරම්භය සිදුවුණා. එය කෙතරම් වේගයෙන් සිදුවනවා ද යත්, අදටත් තවත් වසර ගණනාවකට ගැලපෙන ලෙස හිත හදාගෙන පරිගණකයක් මිල දී ගන්නට බැහැ. අද එන හොඳම පරිගණකය හෙට වෙත්දී පරණ එකක් බවට පත්වෙලා අවසාන යි.

1953 දී IBM සමාගම 701 නමැති ල‍ොව ප්‍රථම විද්‍යාත්මක පරිගණකය සැකසූවා. 1955 දී MIT අධ්‍යාපන ආයතනය වර්ල්වින්ඩ් (Whirlwind) නමැති ප්‍රථම අනුලකලිත RAM එකක්  සහිත පරිගණකයත්, 1956 දී ප්‍රථම ට්‍රාන්සිස්ටර් සහිත පරිගණක ආකෘතියක් එළිදැක්වූවා. ලොව ප්‍රථම මේස පරිගණකය (Desktop Computer) සැකසුණේ 1964 දී ඉතාලියේ දී යි. එය Programma 101 ලෙස නම් කර තිබුණා. එකල එම පරිගණක 44,000ක් පමණ විකිණුනා. 1968 දී Hewlett Packard හෙවත් HP ආයතනය ලොව ප්‍රථම මහා පරිමාණයෙන් නිපැයුණු ඩෙස්ක්ටොප් පරිගණකය වන HP 9100A අලෙවි කරන්නට පටන් ගත්තා.

නූතන පරිගණක ආකෘතිය සහිත ප්‍රථම පරිගණකය බවට පත් වන්නේ 1974 දී ආ Xerox Alto පරිගණකය යි. එහි ග්‍රැෆික් අතුරුමුහුණතක් (GUI), සහ මවුසයක් තිබුණා. මෘදුකාංග විවෘත කරද්දී අයිකන (icons), කවුළු (windows) සහ මෙනු තිබුණා. මෙය ප්‍රසිද්ධියේ අලෙවි නොකෙරුණු නමුත් ලොව පුරා විශ්ව විද්‍යාලවල භාවිතයට ගැණුනා. ඇපල් සමාගමේ සහ-නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ට මෙම Alto පරිගණකයේ ආකෘතියක් ‍ලැබෙන්නේ 1979 දී යි. ඔහු නිපැයූ Apple Lisa පරිගණකයට සහ Macintosh පද්ධතියට පදනම් කර ගත්තේ Alto සතුව තිබූ මූලධර්ම යි.

අවසානයේ, 1981 අගෝස්තු මාසයේ දී IBM සමාගම Personal Computer නිෂ්පාදනය එළිදැක්වූවා. එහි තිබූ විවෘත නිර්මාණ ශිල්පය (open architecture) බෙහෙවින් ප්‍රචලිත වූ අතර එයට සබැඳිය හැකි උපාංග නිෂ්පාදනයන් ද ඒ හා ඇරඹුණා. එය නිපදවා වසරක් ගතවත්දී මැකින්ටෝෂ් අභිබවා යමින් මෘදුකාංග 753ක් පමණ නිපැයී තිබුණා.

ඉතින්, ‍ඔබ හිතන්නේ ලොව ප්‍රථම පරිගණකය විධියට සැලකිය යුතු වන්නේ ‍කුමක් කියා ද?

කවරය: fossbytes.com

Related Articles