Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Desktop පරිගණක අලෙවිය නැවත වරක් වර්ධනය වෙන්නේ ඇයි?

තමන්ටම කියලා පරිගණකයක් තියාගැනීම මීට දශක කිහිපයකට පෙර විහිළුවක් වෙලා යි තිබුණේ. එයට ප්‍රධාන හේතුවක් වුණේ ඒවායේ අධික මිල, අවශ්‍ය ඉඩකඩ, විදුලියට සහ සිසිලනයට වැය වන මුදල වගේම එදිනෙදා වැඩවල දී පරිගණකයකින් කරගත හැකි වැදගත් යමක් නොතිබීම යි. කොහොම නමුත් පරිගණක තාක්ෂණයේ දියුණුවත් එක්ක 1980 දශකයේ ඉඳලා තමන්ටම කියා පරිගණකයක් තබාගැනීම විලාසිතාවක් විදිහට පැතිරෙන්න ගත්තා. පරිගණකයක් තිබීම සාමාන්‍ය පුද්ගලයෙකුට වැදගත් වෙන්න ගත්තේ 1990 දශකයේ සිට යි. පසු ව බොහෝ දේවල්වලට පරිගණකයක් නැතිවම බැරි තත්ත්වයක් නිර්මාණය වුණා.

මුල්කාලීන PC එකක් (paperpc.files.wordpress.com)

පරිගණකයකට අවශ්‍ය කොටස් සියල්ල වඩ වඩාත් කුඩා ඉඩක අසුරන්න හැකි වීමත් එක්ක අතීතයේ සිට ම තිබුණු Desktop පරිගණකවල ඉල්ලුම ටිකෙන් ටික පහත වැටෙන්න ගත්තා. බොහෝ දෙනෙකු තමන්ගේ මුල්ම පරිගණකය විදිහටත්, බොහෝ විට එකම පරිගණකය විදිහටත් ලැප්ටොප් එකක් භාවිතයට හුරු වෙන්න ගත්තා. කොටස් රාශියක් එකලස් කර විශාල ඉඩක් එක්ක භාවිතය වෙනුවට සියල්ල පහසුවෙන් කරගත හැකි ලැප්ටොප් එක Desktopවල අවසානය සනිටුහන් කරන බවක් තමයි පෙනෙන්න තිබුණේ.

කොහොම වුණත් මෑතකාලීන ව තිබෙන තාක්ෂණික ප්‍රවණතා අනුව Desktopවලට අලුත් ඉල්ලුමක් නිර්මාණය වෙන්න පටන් අරන්. එයට හේතු ගැන තමයි අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ.

විශාල තිරයක උවමනාව

මෑතකාලීන ව හැම ඩිජිටල් උපාංගයක ම හැකි තරම් විශාල තිරයක් අඩංගු කරන්න නිෂ්පාදකයන් උත්සාහ කරනවා. ෆෝන් එකක මූලික අවශ්‍යතාව වූ දුරකථන ඇමතුම් ගැනීම වෙනුවට විශාල තිරයක් තිබීම වාසිදායක වන කටයුතු ගණනාවකට බොහෝදෙනා හැඩගැසීම මෙයට හේතුව යි. වසර 10කට පෙර මුල්ම iPhone එක නිකුත් වෙන දවස්වල සමහරු එහි අඟල් 3.5ක තිරය හැඳින්වූවේ අතිවිශාල තිරයක් කියල යි. අඟල් 4.7ක තිරයක් තිබූ Galaxy S3 වැනි දුරකථන අතේ තබා ගන්නවත් බැරි තරම් විශාල බවට දුක්ගැනවිලි නිතර ඇසුණා. නමුත් අද බොහෝ දෙනෙක් අඟල් 6ක පමණ තිරයක් සහිත ස්මාට්ෆෝන් කිසිම අපහසුවක් නැතිව භාවිත කරන්න හුරු වෙලා.

අද වන විට බොහෝ නිවෙස්වල තිබෙන්නේ අඟල් 32ක් හෝ ඊටත් වඩා විශාල රූපවාහිනියක් (homedepot-static.com)

රූපවාහිනී ගත්තත් ඒ වගේ. කාලයක් තිස්සේ බොහෝ නිවෙස්වල තිබුණේ අඟල් 21ක පමණ රූපවාහිනී. අඟල් 29ක රූපවාහිනියක් අතිවිශාල ලෙස සැලකුණා. කොහොම නමුත් අද වන විට නිවසකට ගන්නා අවම රූපවාහිනියේ ප්‍රමාණයත් අඟල් 32ක් බවට පත් වෙලා. මෙයට ප්‍රධාන හේතුවක් වුණේ Full HD හා 4K වැනි අධික විභේදනයන්ගෙන් යුත් දෑ නරඹන්න තිබුණු හැකියාව යි.

පරිගණකයටත් විශාල තිරයක් තිබීම දැන් ලොකු අවශ්‍යතාවක් වෙලා තිබෙනවා. අතිබහුතරයක් ලැප්ටොප්වලට අඟල් 15.6කට වඩා විශාල තිර නැහැ. පරිගණක ක්‍රීඩා කිරීම, වීඩියෝ සංස්කරණය කිරීම, ග්‍රැෆික් නිර්මාණ කටයුතු, පරිගණක කේතකරණය ආදී අද කාලයේ පරිගණකවලින් සිදුකෙරෙන බොහෝ දේට විශාල තිරයක් තිබීම ඉතා වැදගත්. මේ නිසා විශාල තිරයක් අවශ්‍ය වීම Desktop පැත්තට හැරෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා.

බලසම්පන්න බවේ අවශ්‍යතාව

කාලයක් පුරාවට පරිගණකවලින් සිදුකෙරුණු වීඩියෝ නැරඹීම සහ අන්තර්ජාලයේ සැරිසැරීම වගේ කටයුතු දැන් වෙනත් ස්මාට් උපාංගවලට මාරු වී තිබෙනවා. මේ නිසා පරිගණකයක අවශ්‍යතාව බොහෝ දෙනෙකුට ඇති වෙන්නේ රාජකාරී කටයුතු හෝ රැකියා කටයුතුවල දී යි. මීට අමතර ව කොන්සෝල නැති ව යතුරු පුවරුව සහ මවුස් එක යොදාගෙන පරිගණක ක්‍රීඩාවල නියැලෙන්න කැමති පිරිසකුත් සිටිනවා.

Desktop එකකින් එකම වීඩියෝ සංස්කරණයක් සඳහා අවශ්‍ය වෙන්නේ සමාන මිලකින් යුත් ලැප්ටොප් එකක් මෙන් අඩක පමණ කාලයක් (youtube.com)

මේ සියලු දෙනාට ම පාහේ පරිගණකයේ බලසම්පන්නභාවය ඉතාම වැදගත්. අද වන විට පරිගණක ආශ්‍රිත රැකියාවන්ගෙන් වැඩි ප්‍රමාණයක කෙටි කාලයකින් යමක් ඉටුකර ගැනීමේ හැකියාව අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. වීඩියෝ සංස්කරණය, ග්‍රැෆික් නිර්මාණ කටයුතු වැනි දේ ලැප්ටොප් එකකින් සිදුකරන්න උත්සාහ ගැනීම වෙනුවට මිලෙන් ඉහළ බලසම්පන්න Desktop පරිගණක යොදාගෙන සිදුකිරීම බොහෝ ව්‍යාපාරවලට දිගුකාලීන ව ලාභාදායක යි. උසස් පරිගණක ක්‍රීඩා බොහොමයක් ඉහළ සැකසුම් යටතේ ධාවනය කරවන්නත් බොහෝ ලැප්ටොප්වලට හැකියාවක් නැහැ.

බලසම්පන්න ලැප්ටොප් බොහොමයක් එක්කෝ බරින් ඉතා අධික වීම, මිලෙන් ඉතා ඉහළ වීම, අධික ව රත් වීම, ඉහළ බලයක් අවශ්‍ය වීම වගේ හේතු නිසා desktopවලට වඩා සැලකිය යුතු වෙනසක් නැහැ. මෑතකාලීන ව වීඩියෝ නිර්මාණය, මෘදුකාංග සැකසීම, ග්‍රැෆික් හා වෙබ් නිර්මාණ කටයුතු ඇතුළු රැකියාවල වේගවත් දියුණුවක් තිබීමත්, පරිගණක ක්‍රීඩාවන්ට යොමුවෙන පිරිස ඉහළ යාමත් මේ නිසා Desktopවල ඉල්ලුම ඉහළ යන්න ඍජුව ම බලපා තිබෙනවා.

Cryptocurrencyවල ඉල්ලුම පහත බැසීම

2018 වසරේ Bitcoinවල කඩා වැටීම (cryptodaily.co.uk)

2017 වසරේ අග භාගයේ සිට 2018 වසරේ මුල්කාලය දක්වා විවිධ Cryptocurrencyවලට අධික ඉල්ලුමක් ඇති වුණේ ඒවායේ වටිනාකම වේගයෙන් ඉහළ නගින්න පටන් ගැනීමත් එක්ක යි. ලොව වැඩි ම වෙළඳපොළ ප්‍රාග්ධනයක් සහිත Bitcoinවල වටිනාකම ඉහළ යාම මෙයට හොඳ උදාහරණයක්. මාස කිහිපයක් තුළ Bitcoin එකක වටිනාකම ඩොලර් 2000 ක පමණ සිට ඩොලර් 19,000ක් පමණ දක්වා ඉහළ ගියා. මේ නිසා ම විවිධ Cryptocurrencyවල ආයෝජනය කරන පිරිස වගේ ම ඒවා Mine කරන පරිගණක එකලස් (Mining rig) සකස් කිරීමටත් විශාල උනන්දුවක් ඇති වුණා.

Cryptocurrency වර්ග Mine කරන්න අධික සැකසුම් බලයක් අවශ්‍ය නිසා වාසිදායක Mining rig නිර්මාණය සඳහා ප්‍රබල GPU 6ක්වත් අවශ්‍ය වුණා. මේ නිසා ප්‍රබල GPUවලට තිබූ ඉල්ලුමත්, ඒවායේ මිලත් වේගයෙන් ඉහළ යන්න ගත්තා. පරිගණක ක්‍රීඩා හෝ වෙනත් ඉහළ සැකසුම් බලයක් අවශ්‍ය කටයුතු සඳහා තිබුණු Desktop පරිගණක වෙළඳපොළට ඒ සමග තරග කරන්න හැකියාවක් ලැබුණේ නැහැ.

කොහොම නමුත් 2018 මැද භාගයේ සිට Cryptocurrencyවල මිල කඩා වැටීමත් එක්ක ඒවා Mine කිරීම පාඩු ලබන කටයුත්තක් වුණා. Mining rig හිමිකරුවන් බොහෝ දෙනෙක් ඒවායේ ඇති GPU විකුණා දමන්න පෙළඹුණා. වෙළඳපොළේ GPU සුලබ වීමත්, ඒවායේ මිල පහළ වැටීමත් එක්ක ඒවා යොදාගෙන Desktop පරිගණක සකස් කරගැනීම සඳහා නව උනන්දුවක් ඇති වී තිබෙනවා. මේ නිසා Cryptocurrencyවල කඩා වැටීමත් Desktop ඉල්ලුම ඉහළ යන්න ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනවා.

වෙනත් හේතු සහ ඉදිරි කාලය

මේ කතා කළ හේතුවලට අමතර ව බොහෝ ව්‍යාපාර සහ කාර්යයාල පරිගණකගත වීමේ ප්‍රවණතාව දිගටම පැවතීම, ඇමෙරිකානු ආර්ථික වර්ධනය සහ පරිභෝජනය ඉහළ යාම, ස්මාට් නිවාස ඇතුළු අලුත් ප්‍රවණතා බොහොමයක් Desktop පරිගණක ඉල්ලුම ඉහළ යන්න බලපා තිබෙනවා. ස්මාට්ෆෝන් එකකට හෝ ලැප්ටොප් එකකට සියල්ල සිදුකරන්න හැකියි යන සංකල්පය කාලයක් පුරා ම තිබුණත් අද වන විට විවිධ දේට සුවිශේෂකරණය වූ විවිධ උපාංග තබාගැනීමේ සංකල්පයත් නැවත කරළියට ඇවිත්.

සියලු දේට එක උපාංගයක් වෙනුවට එක එක දේට සුවිශේෂකරණය වූ උපාංග තබාගැනීම අලුත් ප්‍රවණතාව යි (tinhaynhadat.com)

කාලයක් තිස්සේ තාක්ෂණික වර්ධනය වේගයෙන් සිදුවුණත්, මේ වන විට එයට යම් ස්වභාවික සීමාවක් වැටෙන බවක් පැහැදිලිව ම පෙනෙන්න තිබෙනවා. තාක්ෂණ සමාගම් කොතෙක් උත්සාහ ගත්තත් අලුත් උපාංග බොහොමයක කලින් පරම්පරාවට වඩා කැපී පෙනෙන දියුණුවක් නැති බව අද කාටත් වැටහෙන්න පටන් අරන්. විශේෂයෙන්ම ප්‍රබල උපාංගවල තාපය කළමනාකරණය කරගැනීම අද වන විට විශාලතම ගැටලුව බවට පත් වෙලා.

මේ නිසා තවත් කාලයක් යන තුරු desktop පරිගණකවලට ආයුබෝවන් කියන්නට සිදුනොවනු ඇතැ යි බොහෝ දෙනා විශ්වාස කරනවා.

දැන් ඔබට මේ ලිපිය අපේ ස්මාර්ට් ඇප් එකෙන් පහසුවෙන් කියවන්න පුළුවන්.

 

කවරයේ රූපය: engadget.com

Related Articles