Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මඟුල් පෝරුවේ දී ස්මාර්ට් මුද්දක් දාමු ද?

තාක්ෂණයට ලැදි ඔබට මංගල උත්සවයේ දී කරන්න පුළුවන් හොඳම වැඩක් තමයි, ස්මාර්ට් මුදු හුවමාරු කරගන්නා එක. දැන් ක්‍රම ක්‍රමයෙන් අප පළඳින ඔරලෝසුව, බ්‍රේස්ලට් එක, සහ උපැස් යුවළ පවා ස්මාර්ට් වෙමින් පවතිද්දී මුදුවත් දැන් ස්මාර්ට් වෙමින් පවතිනවා.

වසර ගණනාවක සිට නිෂ්පාදන බිහි වූවත්, තවමත් මෙය Smartband තරම්වත් සුලබව දකින්නට නැහැ. එයට හේතුව ඉදිරියේ දී ඔබට කියවන්නට ලැබෙයි.

විවිධ සැලසුම්

මුද්ද වටා සියල්ල සංක්ෂිප්ත කිරීම (yimg.com)

ස්මාර්ට් මුදුවල ප්‍රමාණයේ කුඩා බව නිසාම අඩංගු කළ යුතු දේවල් සීමා වෙනවා. සියල්ලටත් වඩා බැටරියට ඉඩ සොයාගැනීම විශාලතම අභියෝගයක් බව නිසැක යි. එනිසාම මේවායේ බාහිර පෙනුම විවිධ ආකාරවලින් තිබෙනවා.

ඇතැම්වා මුද්දක් සේ ඇඟිල්ල වටේට පමණක් සීමා වෙනවා. පළඳින ඇඟිල්ලේ ප්‍රමාණයට ගැලපෙන සේ ප්‍රමාණ කිහිපයකින්, ඇඟිල්ලට අසාත්මිකතාවක් ඇති නොවන ආකාරයේ අමුද්‍රව්‍ය යොදාගනිමින්, පැළඳූ ඇඟිල්ලෙහි දෙපස ඇඟිලි දෙකට අපහසුවක් නොවන සේ තුනී බව පවත්වා ගනිමින් බැටරි, සංවේදක ආදී සියල්ල යොදමින් මුද්ද සැකසීමට නිෂ්පාදකයන්ට සිදුවෙනවා.

ඉඩ හසර ගැටළුව වෙනත් ආකාරයකින් විසඳා ගැනීම (gadgetmatch.com)

තවත් ඒවා සාමාන්‍ය (ඇතැම්විට, ඇදෙනසුළු) පටියකින් ඇඟිල්ලේ රැඳී, එහි ඉහළින් සවිකර ඇති විශාල කොටුවක් තුළ උපාංග ගබඩා කරගන්නවා. මෙය නිෂ්පාදකයාට ඉතා පහසුවෙන් විශේෂාංග වැඩි ප්‍රමාණයක් ලබාදීමට අවස්ථාව සලසන නමුත්, පළඳින්නාට ඇඟිල්ල ඉදිමුණාක් සේ දැනෙනු ඇති.

ක්‍රියාකරන ආකාරය

Echo Loop මුදුවෙහි අභ්‍යන්තරය (ittroubleshooters.com)

අනෙකුත් පැළඳුම් උපාංග සේ ම ස්මාර්ට් මුදුවලට යොදාගන්නා එක් සම්බන්ධකයක් වන්නේ බ්ලූටූත් තාක්ෂණය යි. මේවා තමා රැස්කරගත් දත්ත සියල්ල ඒ හා Pair කරන ලද දුරකථනයට යවන අතර, Smartbandවල වගේම අපිට App එකෙන් සියලු දෑ දැකගත හැකි වෙනවා.

තවත් ඒවායේ NFC සම්බන්ධක ද යොදාගන්නවා. ඒවා බොහෝ විට යොදන්නේ ස්මාර්ට් දොරගුළු විවෘත කිරීම, App එකෙන් තෝරන ලද කාඩ්පතකින් මුදල් ගෙවීම වැනි අවශ්‍යතා සඳහා යි.

ගනුදෙනු කරන්නට ද හැකියි (verdict.co.uk)

දැනට ඇති බොහෝ branded ස්මාර්ට් මුදුවල තිරයක් නැහැ. ඒවා වෛවර්ණ යුත් LED බල්බයකින් අප App එකෙන් සකසා දුන් වර්ණය Notification/ඇමතුම්/Reminders අනුව දල්වනවා. ඊට අමතරව Vibrate වන ඒවාත් තිබෙනවා. ස්මාර්ට් මුදු සුළුතරයක කුඩා පටියක් බඳු තිරයක් තිබෙනවා. ඒවායෙන් දුරකථනයට ලැබුණු Notification එකක් හෝ ලැබෙන ඇමතුමක විස්තර දර්ශනය කරනවා.

අමතර විශේෂාංග ලෙස ශරීර සුවතා දත්ත පමණක් නොව, දුරකතන ඇමතුම් ගත හැකි ඒවා පවා ඉදිරි කොටසින් ඔබට දැකගන්නට හැකි වේවි.

වර්තමානයේ ඇති සුදු මුදු

ස්මාර්ට් මුද්දක් ආරෝපණය කරන එක් ආකාරයක් (digitaltrends.com)

මෙහි “සුදු මුදු” ය කීවේ ‘ශුද්ධ’ හෙවත් ‘හොඳ’ යන අර්ථයෙන්. වර්ණ අනුව ගත්තාම නම් සුදු පමණක් නොව, කළු, රතු, මෙන්ම රිදී සහ රන් ආලේපිත ඒවාත් විවිධ මිල ගණන්වලට තිබෙනවා. එසේම, විශේෂාංග අඩු නමුත් වටිනා ගල් අල්ලන ලද ඒවා ද තිබෙනවා. පහත දැක්වෙන්නේ විශේෂාංග අතින් ඉදිරියෙන් සිටින නිෂ්පාදන කිහිපයක්.

මේවා ඔබේ දැනුම පිණිස උදාහරණ වශයෙන් මෙහි දක්වනවා මිස, ඒවා මිල දී ගැනීමට නිර්දේශ කිරීමක් නොවෙයි.

1- Motiv

Motiv මුද්ද සහ App එක (9to5google.com)

මිලීමීටර් 8ක පළලකින් යුත් මෙය, මීටර් 50ක් දක්වා ගැඹුරක් දක්වා ජලය කාන්දු නොවන සේ සකසා තිබෙනවා. හෘද ස්පන්දනය, නිදාගන්නා ප්‍රමාණය, ඇවිදින ලද පියවර ගණන සහ දුර, දුරකතනය ඇති ස්ථානය සොයාගැනීම වැනි පහසුකම් ‍මින් ලැබෙනවා. Motiv ඒ සියල්ලම කරන්නේ අක්ෂ 3ක ත්වරණමානයක් (accelerometer) සහ heart sensor එකකින්.

කාන්දම්වලින් චාර්ජරයට සබැඳී පැය 1½කින් ආරෝපණය වී, දින තුනක් දක්වා පවතින මෙහි අලෙවිය දැනට ඇමරිකාවට පමණක් සීමා වෙනවා.

2- McLEAR

මිට මොළවා ගෙවීම් කළ හැකියි (gadgenda.com)

මෙය NFC තාක්ෂණය යොදා සැකසූ, ජලය කාන්දු නොවන, ගෙවීම් කටයුතු කළ හැකි එකක්. මෙය ආරෝපණය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. අත මිට මොළවා, PayWave ලෙස සඳහන් ගෙවුම් යන්ත්‍ර ආසන්නයට ගෙන ගිය විට ගෙවීම සිදුවෙනවා.

මුද්ද නැති වූ අවස්ථාවක දී හෝ භාවිතා නොකරන විට දී App එකෙන් බැංකු ගිණුමට පිවිසුම් අවහිර කර තබන්නට පුළුවන්. විවිධ ඇඟිලි ප්‍රමාණවලට ගැලපෙන සේ විශාලත්ව 20කින් මෙය ලබාගත හැකි අතර, දැනට එක්සත් රාජධානියේ පමණක් අලෙවි කටයුතු සිදුකරනවා.

3- Blinq MOONSTONE

කාන්තාවන් වෙනුවෙන්ම සැකසූ මුද්දක් (imgix.net)

රිදියෙන් සකසා, රෝඩියම් ආලේපිත චන්ද්‍රකාන්ති පාෂාණයෙන් හැඩ කොට ඇති මේ මුද්ද කාන්තාවන් ඉල්ලක කරගත් නිෂ්පාදනයක්. සුදු, කොළ, රෝස, සහ තැඹිලි යන LED වර්ණයන්ගෙන් මෙය Notifications හෝ ඇමතුම් දෙන පුද්ගලයා අනුව Vibrate වෙමින් දැල්වෙනවා. එක් වරක් ආරෝපණයෙන් දින දෙකක් පාවිච්චි කරන්න පුළුවන්.

ඊට අමතරව, ඇවිදින ලද පියවර ගණන හා දුර, දහනය කළ කැලරි ප්‍රමාණය ආදිය ද මෙහි ගණනය කිරීම විශේෂත්වයක්. බ්ලූටූත් හරහා App එකෙන් සියලු දේ පාලනය කරන්නට අවස්ථාව තිබෙනවා.

4- ORII

ඇමතුම් ගත හැකි මුද්දක් (i-scmp.com)

දබරැඟිල්ලේ පැළඳගත යුතු මේ මුද්ද සතු අපූරු හැකියාවක් තිබෙනවා. ඒ තමයි, දුරකතන ඇමතුම් ගත හැකි වීම. දබරැඟිල්ලේ කෙළවර කණෙහි තබාගත් විට මුද්ද මුඛය ආසන්නයට පැමිණෙනවා. එවිට මුද්දට මයික්‍රොෆෝනය සේ ක්‍රියා කළ හැකියි. ශබ්දය අපිට ඇසෙන්නේ අස්ථික සන්නයනය (Bone conduction) හරහා යි.

Gesturesවලින් සිංදු මාරු කිරීම හෝ නැවැත්වීම, ස්මාර්ට් ගෘහ උපකරණ පාලනය වැනි දෑ ද කළ හැකියි. එනමුත්, මෙහි වෙබ් අඩවියේම දක්වා ඇති අස්ථික සන්නයන වීඩියෝව බැලූ විට එය කෙතරම් ප්‍රායෝගික නොවන්නේදැ යි ඔබට වැටහේවි. කෙසේ නමුත්, තාක්ෂණයේ ඉදිරි පියවරක් ලෙසත්, එහි සත්‍ය ස්වභාවය පාරදෘෂ්‍යව ඔවුන් එහි පෙන්වා දීමත් ප්‍රශංසනීය යි.

එනමුදු මේ මුදු සුලබ නැත්තේ මන්ද?

Android මෙන්ම Apple සඳහා ද සහාය දක්වන ඒවා දැන් සකසා තිබෙනවා. (digitaltrends.com)

Smart band එකකටත් වඩා කුඩා ප්‍රමාණයේ පවතිමින් මෙතරම් හැකියාවන් දැක්වූවත් “මේ මිස් අතෙ No (ස්මාර්ට්) මුදු” වුණේ ඇයි ද යන්නට ඇත්තේ සරල පිළිතුරක්. නම් දැරූ ආයතනයකින් වඩාත් සාර්ථක මට්ටමින්, ලොව පුරා බෙදාහැරිය හැකි ආකාරයේ, සහ දැරිය හැකි මිලකින් යුත් මුද්දක් තවමත් සකසා නැහැ.

ඇමසන් සමාගම Echo loop නමින් Alexa සමග කතා කරන්නට සහ (ස්පීකරයක් හරහා) සවන් දෙන්නට හැකි මුද්දක් සකසා තිබෙන අතර, අත්හදා බැලීම්වලින් අනතුරුව අවසන් නිෂ්පාදනයක් බවට පත් වීමට නියමිත යි. ඇපල් සමාගම ද මුද්දක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගත් බවට පසුගිය වසරේ දී (2019) පුවත් පළ වුණා.

එබැවින්, වඩාත් සාර්ථක නිෂ්පාදනයක් වෙනුවෙන් අපට තවදුරටත් බලා ඉන්නනට සිදුවෙනවා. චීන නිෂ්පාදන බොහොමයක් තිරයක් ද සහිතව මේවා සකසා තිබුණ ද, ඒවායේ කල්පැවැත්ම ගැන වගකියන්නට නොහැකියි. ඒ කෙසේ වෙතත්, බත් කන අතේ නම් ශ්‍රී ලාංකික අපිට මේ මුදු දාන්න බැරි වේවි!

කවරය: medium.com

මූලාශ්‍රයයන්:

  • wareable.com
  • techradar.com
  • venturebeat.com
  • අදාළ නිෂ්පාදන වෙබ්පිටු

Related Articles