Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Windows 10 වෙතට අලුතින් Terminal එකක් එයි

Windows 10වල දැන් Microsoft Store එකෙන් බාගත කරගත හැකි අලුත්ම Terminal එකක් තිබෙනවා. Tabs සමග Console කීපයක් භාවිතා කිරීමේ හැකියාව, පසුබිමට ඡායාරූපයක් එකතු කළ හැකි වීම ඇතුළු රිසි සේ වෙනස් කර ගත හැකි විශේෂාංග රැසක් සමග නිකුත් කර ඇති මෙය තවමත් ප්‍රාථමික අවධියේ ඇති, අපට අත්හදා බැලීම සඳහා නිකුත් කරන ලද්දක්. 

Linux සහ Mac මෙහෙයුම් පද්ධතිවලට Terminal යන වචනය බොහොම සුපුරුදු දෙයක් නමුත්, Windows 1.0 සිට ගතවූ අවුරුදු 33 දක්වාම මේ වචනය අපට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළ දකින්නට ලැබුණේ නැහැ. ලිනක්ස් වෙත තම අත පෙවීමේ මෙහෙයුම සහ ලිනක්ස් පරිශීලකයන් තමා වෙත ඇද ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම දරන වෑයමෙහි ප්‍රතිඵලයක් ලෙස ලිනක්ස් Bash එක ද දැන් Windows 10 මත භාවිතා කළ හැකි වන අතර එහි වේගය තවත් වැඩි කිරීමට Linux Kernal එකක් ද ගෙන ඒමට නියමිත යි. එහි අතුරුඵලයක් වශයෙන් මෙම Terminal මෘදුකාංගය වින්ඩෝස් වෙත සංක්‍රමණය වෙනවා.

ස්ථාපනය කරගැනීම සඳහා Microsoft Store විවෘත කර “Windows Terminal” ලෙස Search කරන්න. (තඹරු විජේසේකර / Roar)

වින්ඩෝස් මුල සිටම cmd හෙවත් Command Prompt එක තම විධාන පෙළ අතුරුමුහුණත (CLI) ලෙස යොදා ගත්තා. පසුව වැඩිය ප්‍රසිද්ධියේ දකින්නට නොලැබුණත්, වින්ඩෝස් 7වල දී Windows PowerShell නමැති නව ක්‍රමලේඛන භාෂා රටාවක් සමග Console එකක් හඳුන්වා දුන්නා. එය දැන් Windows 10වල Command Prompt එකට අමතරව, මූලික CLI එක ලෙස භාවිතා වෙනවා. වින්ඩෝස් සතු මෙම CLIවල කිසිදාක Tabs තිබුණේ නැහැ. ඔබට එක්වර PowerShell හෝ cmd දෙකක් එකවර අවශ්‍ය නම් ඒවා Window දෙකකයි විවෘත වන්නේ. ලිනකස් සහ Macවල නම් Terminal එකේ එලෙස දෙකක් අවශ්‍ය නම් ඒවා එකම වින්ඩෝවේ ටැබ් දෙකක් ලෙස ලබා ගන්න පුළුවන්. අන්න ඒ ගැටළුව Windows Terminal සමග විසඳා තිබෙනවා.

අලුත් වින්ඩෝස් Terminal එකෙහි ද පෙරනිමි වශයෙන් ප්‍රධාන CLI එක ලෙස විවෘත කර දෙන්නේ Windows PowerShell එකයි. ඉහළ තීරයේ ඇති “+” ලකුණ මඟින් නව Tabs ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එවිට වෙබ් බ්‍රවුසරයේ දී වගේ තවත් PowerShell ඕනෑ තරම් Tabs ආකාරයට විවෘත කරගත හැකියි.

නව Tabs එකතු කරගන්නට සහ ඔබ ස්ථාපනය කර ඇති වෙනත් Linux Subsystem පවා විවෘත කරගත හැකියි (තඹරු වි‍ජේසේකර / Roar)

නව Tab එකක් විවෘත කිරීමේ බොත්තමට දකුණු පසින් පහළට ඊතලයක් ඇති බොත්තමක් තිබෙනවා. එය ක්ලික් කළ විට, CMD සහ ඔබ ස්ථාපනය කරගෙන ඇති Debian, Ubuntu, OpenSuse වැනි තවත් CLI තිබෙනවා නම් ඒවා ද ටැබ් එකක් ලෙස විවෘත කරගත හැකියි. එනිසා මේ නව Terminal එක CLI මධ්‍යස්ථානයක් සේ හැඳින්වීමෙහි කිසිදු වරදක් නැහැ.

මෙය තවමත් Preview build එකක් නිසා Settings කවුළුවක්වත් සකසා නැහැ. ඒ වෙනුවට, Settings ක්ලික් කළ විට .json ෆයිල් එකක් විවෘත වන අතර එහි රිසි පරිදි වෙනස්කම් කරමින් පසුබිමට ඡායාරූපයක් ලැබෙන සේ පවා වෙනස්කම් සිදු කරගන්නට පුළුවන්. එය Notepad, Notepad++ හෝ VSCode වැනි ඔබ කැමති මෘදුකාංගයකින් විවෘත කරගෙන වෙනස් කළ හැකි අතර, Save කරනවාත් සමගම නව සැකසුම් සක්‍රීය වෙනවා.

JSON එක මඟින් පසුබිම් ඡායාරූප පවා යෙදිය හැකියි (Microsoft Store)

ඔබේ අතින් කොමා හෝ පෙරළි කොමා අතහැරී JSON වැරදී ගියහොත් “Failed to reload settings” යන පණිවිඩය ලබා දෙනවා. මෙම JSON ගොනුව භාවිතයෙන් විශේෂිත Batch file එකක් ධාවනය කරවීම, Java version එකක් සැකසීම, Visual Studio Developer Command Prompt එකක් ලබා ගැනීම වැනි දේවල් ද කරන්නට පුළුවන්. ඉදිරි වෙළුම්වල දී JSON ගොනු edit කරන්නේ නැතිව පහසුවෙන් මේවා වෙනස් කරගන්නට හැකිවනු ඇති.

සිංහල ටයිප් කිරීමේ හැකියාව (තඹරු වි‍ජේසේකර / Roar)

Windows Terminal මෘදුකාංගය UWP හෙවත් වින්ඩෝස් App එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා. එහි GPU-render කිරීමෙන් අකුරු ජනනය වන නිසා දැන් Emoji මෙන්ම සිංහල අකුරු පවා දැක ගැනීමේ හැකියාව තිබෙනවා. මේ නිසා වඩාත් සංකීර්ණව, කාලයට ගැලපෙන සේ CLI සමග කටයුතු කිරීමේ අවස්ථාව සැලසෙනවා.

මෙය විවෘත කේත ව්‍යාපෘතියක්. එනම්, ඔබට මෙහි කේතය බලන්නට සහ එහි විශේෂාංග වෙත දායක වීමට ද අවස්ථාව තිබෙනවා. මයික්‍රොසොෆ්ට් සමාගම GitHub මිල දී ගෙන දැන් ලිනක්ස් ඇතුළු විවෘත කේත මෘදුකාංග වෙත ද යොමුව සිටින අතර github.com/microsoft/terminal වෙතින් ඔබට Windows Terminal කේත දැකබලා ගත හැකියි. පහසුවෙන් ස්ථාපනය කරගැනීම සඳහා Microsoft Store විවෘත කර “Windows Terminal” ලෙස Search කරන්න.

කවරය: YouTube/Windows Developer

Related Articles