Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුල්වරට 5G ගෙන එන Moto Z3 දුරකථනය

4G LTE දුරකථනවල යුගාන්තය එළඹ ඇති බව අඟවමින් ලබන වසරේ මුල් භාගයේ දී කරළියට එන්නට නියමිත Moto Z3 ස්මාර්ට් දුරකථනය මාධ්‍ය වෙත පසුගිය දා හඳුන්වා දුන්නා. මෙය සතුව 5G සඳහා සහයක් නොමැති, මඳක් පැරණි ප්‍රොසෙසරයක් වන Snapdragon 835 අඩංගු කර තිබිය දී එය ලොව ප්‍රථම 5G දුරකථනයයැ යි නම් කිරීම සාධාරණ නොවෙන්න පුළුවන්. එහෙත් මේ වසරේ දී එහි LTE මාදිලිය වෙළඳපොළට පැමිණෙනවා.

නමුත් තරු ලකුණක් දමා, කොන්දේසි සහිත යි ලෙස යටින් සඳහන් කරමින් මෙය මුල්ම 5G දුරකථනය ලෙස හඳුන්වන්නට පුළුවන්. එහෙම වෙන්නේ කොහොමද? ඒ ගැන සහ මේ නව දුරකථනය ගැන සියලු දෑ පිළිබඳ සොයා බලන්නට යි මේ ලෑස්තිය.

බාහිර පෙනුම

zshila.com

මෙම දුරකථනය බැලූබැල්මට Moto Z2 Force Edition සහ Z3 Play දුරකථනවල මූලික පෙනුමට සමාන බවක් දකින්නට ලැබෙනවා. ඉදිරිපස තිරය ඉහළින් සහ පහළින් දාරයන් දෙකක් දකින්නට ලැබෙන අතර මේ වසරේ දකින්නට ලැබුණු බොහෝ දුරකථනවලින් හඳුන්වා දුන් full view display ඩිසයින් එක මෙහි දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් සාපේක්ෂව එහි තිරය මුහුණතෙහි වැඩි ප්‍රදේශයක් ආවරණය කර ඇති බව යි දකින්නට තිබෙන්නේ. පහළ දාරයේ “motorola” ලෙස අකුරින් හා මයික්‍රොෆෝනයකුත්, ඉහළ දාරයේ ඇමතුම් ගැනීමේ ස්පීකරය සහ ඉදිරිපස කැමරාවත් දකින්නට ලැබෙනවා. දකුණු පස දාරයෙහි ශබ්ද පාලක යතුරු හා ඇඟිලි සලකුණු සංවේදකයත්, වම් පස දාරයෙහි Power key එකත් අඩංගු වෙනවා.

දුරකථනයේ පසුපස ඉහළ කෙළවරෙහි මඳක් විශාල, ඉදිරියට නෙරා ආ රවුමක් තිබෙන අතර එහි ඉහළ ඡායාරූප සංවේදක, මධ්‍යයයේ කැමරා කාච දෙකක් සහ ඊට යටින් ෆ්ලෑෂර අඩංගු වෙනවා. දුරකථනය පසුපස මධ්‍යයට මඳක් ඉහළින් Motorola ලාංඡනය අඩංගු කර තිබෙනවා. යට කෙළවරෙහි ඇති කුඩා සිදුරු රැසක් සහිත සම්බන්ධකය Essential සමාගමේ PH-1 දුරකථනය සිහි ගන්වනවා. නමුත් එය Z ශ්‍රේණියේ අනෙකුත් දුරකථනවලත් තිබුණු අංගයක්. එ් හරහා සමාගම විසින් නිෂ්පාදිත සම්බන්ධක හරහා දුරකථනයට සබැඳි හැකියාවන් වැඩි වර්ධනය කරගන්නට අවස්ථාව ලැබෙනවා. Z3 දුරකථනය සතුව තුනී, ලෝහමය පෙනුමක් තිබෙනවා. මෙහි 3.5mm audio jack එකක් නැහැ.

තිරය සහ කැමරාව

playtech.ro

අඟල් 6ක 2160 x 1080 තිර විභේදනයකින් යුත් 1080p තිරයක් තිබෙනවා. එය 18:9 අනුපාතයෙන් යුත් Super AMOLED තිරයක්. මේ වසරේ ආ බොහෝ දුරකථනවල තිරයේ සතර කෝණයන් රවුම් කර තිබුණා සේ ම මෙහි ද යම් ප්‍රමාණයක කවාකාර මුලු සතරක් තිරයට ලබා දී තිබෙනවා.

playtech.ro

මේ දුරකථනයේ පසුපස ද්විත්ව කැමරා සැකැස්මක් තිබෙනවා. ඒවා මෙගා පික්සල් 12කින් යුතු අතර එකක් වර්ණ සංවේදකයක්, අනෙක කළු-සුදු සංවේදකයක් වශයෙන් ත්‍රිමාණ දැක්මක් ලබාදෙමින් ඡායාරූප ගැනීමේ දී සහභාගී වෙනවා. එසේම අඩු ආලෝක තත්ත්වවල දී හොඳ ප්‍රතිදානයක් ලබා දෙන්නට මෙම සැකැස්ම ඉවහල් වෙනවා. ද්විත්ව LED dual-tone ෆ්ලෑෂර් කට්ටලයක් ඇති මෙයට 2160p වීඩියෝ 30fpsවලින් ලබාගන්නට පුළුවන්. ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක කැමරාවක්. එයට 1080p – 30fps වීඩියෝ ලබාගත හැකි යි.

අභ්‍යන්තර සැකැස්ම හා හැකියාවන්

ytimg.com

නව පන්නයේ දුරකථනයක් වශයෙන් මෙහි වැඩි අවධානයට, කතාබහට පාත්‍ර වන්නේ Qualcomm Snapdragon 835 ප්‍රොසෙසරය යි. Snapdragon 845 තිබිය දී ඔවුන් ඊට පෙර පැමිණි ප්‍රොසෙසරය යි මෙයට යොදා තිබෙන්නේ. කොහොමටත් මේ වසරේ ඇතැම් දුරකථනවල ද 835 පාවිච්චි වුණු නිසා එය ගැටළුවක් නොවුණත් 5G සහාය දක්වන දුරකථනයක් වශයෙන් ඒ තීරණය සැකයක් ගොඩනගනවා. ඔවුන් ඊට පිළිතුරු සොයාගත් හැටි කතා කිරීම අපි මඳකට පසුවට තබමු.

මොටරෝලා සමාගම බෙහෙවින් පිරිසිදු (ගූග්ල් සමාගම නිකුත් කරන මූලික මෙහෙයුම් පද්ධති සැකැස්මට ආසන්න) ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීමක් ලබාදෙනවා. එය 4GB RAM එකක් සමග Android Oreo 8.1 ධාවනය කරනවා. දුරකථනය සතුව ඇති Qualcomm සමාගමේ නිෂ්පාදිත Snapdragon X16 මොඩමය හරහා තත්පරයට ගිගාබිට් 2ක (2 Gbps) 4G පහසුකම් සලසා ගන්නවා. බැටරිය 3,000mAh නිසා දිනකට ආසන්න කාලයක් බැටරි ආයු කාලය රැඳෙනවා.

blogimg.jp

බොහෝ දුරකථනවල ඇඟිලි සලකුණු සංවේදකය දුරකථනය පසුපසට යොදන trend එකක් දකින්නට තිබුණත් මොවුන් එය දුරකථන දාරයට යොදා තිබෙනවා. USB Type-C පෝට් එකක් මෙය සතු නිසා audio jack එකේ අඩුව පුරවා ගන්නේ ඇඩැප්ටරයක් හරහා යි. Fast charging හරහා බැටරිය විනාඩි 30ක දී 50%ක් ආරෝපණය කර දෙනවා. NFC, Radio, බ්ලූටූත් 5.0 සමග SD card එකක් ද දැමීමේ පහසුකම මෙය සතු යි.

5G ෆෝන් එකක් වෙන හැටි

5G mod එක සබැඳෙන ආකාරය (soyacincau.com)

මේ දුරකථනයේ බාහිර පෙනුම ගැන කතා කරද්දී අපි සඳහන් කළා, Moto Z ශ්‍රේණියේ දකින්නට ඇති සම්බන්ධකය මෙහි ද අඩංගු කර තිබෙන බව. ඔබ හිතුවා හරි. මේ ෆෝන් එක 5G එකක් බවට පත් වෙන්නේ බාහිරින් සම්බන්ධ කරන Mod එකක් වන 5G මොඩමයක් නිසා යි. Motorola සමාගම එය ලබන වසර මුල දී එළිදක්වන්නට නියමිත අතර එය ඇමරිකාවේ Verizon දුරකථන සේවා සම්පාදක සමාගම හා අනුබද්ධිතව ඊට ගැලපෙන සේ සකසන්නට තීරණය කර තිබෙනවා.

මෙම මොඩමය සතුව 2000mAh බැටරියක් ඇති අතර එය ද දුරකථනයේ බැටරිය සමග සම්බන්ධ වෙනවා. එනිසා එය සබැඳීමෙන් දුරකථනයේ බැටරි ආයු කාලයට අවාසියක් සිදුවන්නේ නැහැ. එය Qualcomm සමාගමේ නිෂ්පාදිත Snapdragon X50 නමැති 5G මොඩමයක් හා X24 නමැති 4G මොඩමයක්. එනිසා එය සබැඳූ විට 4G වේගයත් දෙගුණයක් බවට පත් වෙනවා. පරිගණකයට USB-C මොඩමයක් ලෙසත්, WiFi hotspot එකක් ලෙසත් දුරකථනය පාවිච්චි කරන්නට එහි සහාය ද ලැබෙනවා.

මෙම Mod එක ඇන්ටෙනා 4ක array එකක් ලෙස සකසා තිබෙනවා. එනිසා අතින් වැසී දත්ත වේගය අඩු කරන තනි ඇන්ටෙනාවක් වෙනුවට එය සිව්ගුණයක සංඥා ග්‍රහණ හැකියාවක් ලබා ගන්නවා. මෙය සබැඳීමෙන් දුරකථනයේ ඝනකම මෙන්ම බර ද මඳකින් වැඩි වන බව නම් නොරහසක්.

කවරයේ ඡායාරූපය: gizmochina.com

Related Articles