Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇක්ෂන් කැමරා ගැන දැනගන්න කැමතිද?

21වන සියවසේදී තාක්ෂණය ලබාගත් සීඝ්‍ර දියුණුවත් එක්කම අතීතයේ ඉහළ මිලකට අළෙවි වුන බොහොමයක් තාක්ෂණික උපාංග අද වනවිට බොහෝ දෙනාට දැරිය හැකි මිලකට ලබාගන්නට හැකියාව ලැබිලා තියෙනවා. වීඩියෝ කැමරා කියන්නෙත් ඒ වගේ උපාංගයක්. මීට වසර 20කට පෙර අතීතයේදී වීඩියෝ කැමරාවක් කියන්නේ ඉතා මිල අධික තාක්ෂණික උපාංගයක්.

නමුත් අද වෙද්දි ඒ තත්ත්වය ඊට බොහෝ වෙනස්. ඉතින් අද අපි සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ කැමරාවල අලුත් ආකාරයේ යෙදවුමක් වන Action Camera ගැනයි.

මොනවද ඇක්ෂන් කැමරා කියන්නේ?

ඇක්ෂන් කැමරාවක් මඟින් උඩු ගුවනේදී ගත් ඡායාරූපයක්. (junkmail.co.za)

මේකත් සරළ, බරෙන් අඩු, ප්‍රමාණයෙන් කුඩා ඩිජිටල් කැමරාවක්. හැබැයි සාමාන්‍ය ඩිජිටල් කැමරාවකට වඩා වෙනස් ආකාරයේ ඩිජිටල් කැමරාවක්.

මොකක්ද මේ වෙනස? ඇක්ෂන් කැමරාව නිර්මාණය කරලා තියෙන්නෙම සාමාන්‍ය කැමරාවක් භාවිතයෙන් රූපගත කරගන්න අපහසු රළු භාවිතයකින් පමණක් රූපගත කරගන්න පුළුවන් දර්ශන සටහන් කරගන්නමයි. ඇක්ෂන් කැමරාවක් බොහොම පහසුවෙන් චලනය වන මතුපිටක සවිකළ හැකියි. වාහනයක පැති දොරක් මත, බයිසිකලයක හැඬලය මත, ක්‍රීඩකයෙක්ගේ හෙල්මට්ටුවක් මත හෝ ශරීරයේ ඕනෑම තැනක යනාදී ලෙස සාමාන්‍ය කැමරාවක් සවි කළ නොහැකි ඕනෑම තැනක එය සවිකළ හැකියි. ඒ වගේම ඕනෑම පාරිසරික සහ කාලගුණික තත්ත්වයක් යටතේ එය භාවිතා කල හැකියි. මේ සියළු ගුණාංගයන්ගෙන් සමන්විත මේ කැමරාවෙන් ඉතා ඉහළ තත්ත්වයකින් යුත් පුළුල් දර්ශන රාමුවකින් හෙබි (wide angle) රූපරාමු ලබාගත හැකියි.

මේ හේතූන් නිසා ඇක්ෂන් කැමරාවන් සාමාන්‍ය වීඩියෝ කැමරාවලින් බොහෝ දුරට වෙනස් වෙනවා.

Surf කිරීමේදී ඇක්ෂන් කැමරාවක් භාවිතා කරන අවස්ථාවක්. (twitter.com)

ඒ වගේම ඇක්ෂන් කැමරා නිර්මාණය කර තිබෙන්නේත් ඉතාම පහසුවෙන් භාවිතා කිරීම සඳහාමයි. බොහෝ ඇක්ෂන් කැමරාවල අඩංගුවන්නේ Power On/Off button එකක්, වීඩියෝ පටිගතවීම ආරම්භ අවසාන කරන button එකක් සහ Settings සඳහා button එකක් ලෙස buttons 3ක් පමණයි.

බොහෝ ඇක්ෂන් කැමරාවල එහි Settings වෙනස් කළ හැකි ආකාරය දැකගැනීමට කුඩා ප්‍රමාණයේ LCD තිරයක් අඩංගු වෙනවා. ඒ වගේම සමහර ඇක්ෂන් කැමරා මාදිළිවල ඔබ විසින් පටිගත කරන ලද වීඩියෝ නැරඹිය හැකි කුඩා LCD තිරයක් අඩංගු වෙන නමුත්, බොහෝ මාදිලිවල ඒ පහසුකමවත් ලබාදෙන්නේ නැහැ.

Off Road වාහනයක ඇක්ෂන් කැමරාවක් සවි කර ඇති අයුරු. (gpscity.com)

ඇක්ෂන් කැමරා ගැන තාක්ෂණික විස්තර කීපයක්

සෑම ඇක්ෂන් කැමරාවක්ම ස්ථිරව සවිකරපු wide-angle කැමරා කාචයකින් යුක්තයි. එම කාචය 17mm – 20 mm දක්වා වෙනවා කියලයි සඳහන් වෙන්නේ. සෑම ඇක්ෂන් කැමරාවකම වගේ අංශක 140ක පරාසයක රූපරාමු ලබාදෙනවා. ඒ වගේම සමහර කැමරා මාදිලිවලින් අංශක 170ක පරාසයක රූපරාමුත් ලබාදෙන බව ඒ කැමරා නිශ්පාදකයන් පවසනවා. මේ වර්ගයේ කැමරාවන් මඟින් මිනිස් ඇසකට පෙනෙන ආකාරයේ රූප දසුන්ම ලබාගත හැකිවීම විශේෂත්වයක් විදියට පෙන්වන්න පුළුවනි.

පැහැදිලි කාරණාව මෙහෙමයි, ඇක්ෂන් කැමරාවන් නිර්මාණය කරලාම තියෙන්නේ රළු භාවිතාවන් සඳහාමයි. ඒ කියන්නේ දූවිල්ලට, කම්පනයට ඔරොත්තුදෙන ආකාරයෙන්මයි. සරළව කියනවානම් බිම වැටුනට, මොකක හරි වැදුනට මේ මාදිලියේ කැමරා ලේසියෙන් බිඳෙන්නේ නැහැ. ඊළඟ වැදගත්ම දේ තමයි මෙම කැමරාවන් ජලයට ඔරොත්තු දීම.

ඔබ ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුකිරීමට දැඩි කැමැත්තක් දක්වන කෙනෙක්නම් මේ ඇක්ෂන් කැමරාවන් තමයි ඔබගේ ඒ සොඳුරු මතකයන් රූපගත කරන්න සුදුසුම උපාංගය. බොහෝ වර්ගවල ඇක්ෂන් කැමරාවන්ට සාමාන්‍ය මතුපිට ජල ප්‍රහාරයක් කිසිම ප්‍රශ්නයකින් තොරව කළමණාකරණය කරගත හැකියි.

ඒ වගේම ඔබට පුළුවනි මේ කැමරාව සමඟ දිය යට ඡායාරූප හෝ වීඩියෝගත කිරීමුත් සිදු කරන්නට. කිසිම විශේෂ ආවරණයකින් තොරව මීටර් 10, මීටර් 15 සීමාවේ ගැඹුරු ජලයේ පවා රූපගත කිරීම් සිදුකළ හැකි ආකාරයේ මේ ඇක්ෂන් කැමරා මාදිලිත් අද වෙළඳපොළේ මිලදී ගන්නට තිබෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි, මේ තාක්ෂණික කාරණා මොන ආකාරයෙන් වුනත්, අරපරිස්සමකින් යුතුව පාවිච්චි කිරීම නිසා කැමරාවේ ආයුකාලය වර්ධනය වෙනවා කියන එකයි අපේ නිර්දේශය.

කිමිදුම්කරුවන් විසින් ඇක්ෂන් කැමරාවක් භාවිතා කරන අයුරු. (californiadiver.com)

ඊළඟ වැදගත්ම දේ තමයි එක පාරක් බැටරිය මුළුමනින්ම චාර්ජ් කරගත්තම කොපමණ වේලාවක් වැඩකරන්න පුළුවනිද කියන කාරණාව. මේ කැමරා නිර්මාපකයන් සඳහන් කරලා තියෙන භාවිතා කළ හැකි කාල වේලාවල් 100%ක්ම හරි නෙමේ කියන එක නම් කියන්න ඕන.

නමුත් පොදුවේ ගත්තම පැය 1ත් 3ත් අතර කාලයක් වීඩියෝ ගතකරන්න මේ ඔස්සේ හැකියාව ලැබෙනවා. අපිට හිතෙන හැටියටනම් පැය 3ක් කියන්නේ සාපේක්ෂව හොඳ කාලයක්. බැටරියේ බලය අඩුවෙන කරුණු පිළිබඳව සැළකිළිමත් වීමෙන් වැඩි කාලයක් ඇක්ෂන් කැමරාවන් භාවිතා කරන්නට පුළුවනි. උදාහරණයක් විදියට ගත්තම, ඔබ සෑමවිටම වීඩියෝ ගත කරන්නේ 4K resolution ආකාරයටනම්, ඔබගේ බැටරියේ ආරෝපණය ඉතා ඉක්මනින් අඩු වෙනවා. ඒ වගේම සෑම විටම කැමරාවේ Wi-Fi සම්බන්ධතාවය ක්‍රියාත්මක කරලා තිබීම මඟිනුත් බැටරිය අඩුවීම සිදුවෙන බව බොහෝ ඇක්ෂන් කැමරා භාවිතා කරන්නන් සඳහන් කරලා තියෙනවා.

ඒ වගේම අධික උෂ්ණ හෝ අධික සිසිල් පරිසරයකදීත් බැටරියේ බලය අඩුවීම සාමාන්‍ය පරිසර තත්ත්වයකදී අඩුවෙනවාට වඩා වේගවත් කියන එකත් මෙහිදී මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම බොහෝ ඇක්ෂන් කැමරා මාදිලිවල බැටරි මාරු කිරීමේ හැකියාවත් තිබෙනවා. ඉතින් ඔබ බොහෝ වේලාවක් මේ කැමරාවක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවානම්, අමතර බැටරියක් දෙකක් ලඟතබා ගැනීම නුවණට හුරුයි කියන එකයි අපේනම් අදහස.

ඇක්ෂන් කැමරාවන් මඟින් රූපගත වෙන වීඩියෝ save වෙන්නේ MP4 ආකාරයට. මේ MP4 ආකාරයට save වෙන එකේ වාසි කීපයක් තිබෙනවා. මේ නිසා ඔබට ඔබගේ වීඩියෝ කිසිම ආකාරයක පසු සංස්කරණයකින් තොරව YouTube, Vimeo හෝ ඕනෑම ආකාරයක වීඩියෝ සංසරණය වන වෙබ් අඩවියකට upload කළ හැකියි. එමෙන්ම ඒ නිසා උසස් තත්ත්වයේ වීඩියෝ රූපරාමු ලබාගන්න පුළුවනි.

වර්ථමානයේ නිකුත්වෙන සෑම ඇක්ෂන් කැමරාවකින්ම වාගේ 1080p resolution ආකාරයට තමයි වීඩියෝ ගතකිරීම සිදුවන්නේ. ඒ වගේම 4K ආකාරයට වීඩියෝ ගතවෙන ඇක්ෂන් කැමරා මාදිලිත් දැන් මිලදීගන්න පුළුවනි. ඒ කැමරාවන් ඉතින් මිල අධිකයි කියලා ආයේ අලුතෙන් කියන්න දෙයක් නැහැ නේද.

ඇක්ෂන් කැමරාවක් සහ එහි උපාංග. (pinaytravelista.com)

අපි කළිනුත් සඳහන් කරපු ආකාරයට ඇක්ෂන් කැමරාවන් බොහෝ මතුපිටවල පහසුවෙන් සවිකළ හැකියි. ඔබගේ පාපැදියේ/යතුරු පැදියේ හැඬලයේ, ඔබගේ හෙල්මටය මත, වාහනයේ බොනට්ටුව මත හෝ පැති කණ්ණාඩියක් මත, සර්ෆින් සඳහා භාවිතා කරන සර්ෆ් බෝඩ් එක මත, ස්කේට් බෝඩ් එකමත, ඔබට ඩ්‍රෝන් එකක් තිබෙනවානම් එහි කැමරාව සවිකරන ස්ථානයේ ආදී වශයෙන් සාමාන්‍ය කැමරාවක් සවිකරන්න අපහසු බොහෝ තැන්වල ඔබට ඇක්ෂන් කැමරාවක් සවිකරගන්න පුළුවනි.

ඒ වගේම ඒ ඕනෑම තැනක මේ කැමරාව සවිකරන්න අවශ්‍ය වෙන අනිකුත් ආධාරකත් බොහොම පහසු මිලට වෙළඳපොලෙන් ලබාගන්න පුළුවනි.

ඇක්ෂන් කැමරා භාවිතා කරන්න පුළුවන් ආකාර

පාපැදියක ඉඳිරි රෝදයේ සවිකළ ඇක්ෂන් කැමරාවක්. (highballblog.com)

ඔබ racer කෙනෙකුනම්, ඔබ තරඟ වදින ආකාරය ගැන අවබෝධයක් ඔබටම ලබාගන්න තියෙන හොඳම ආකාරයක් තමයි ධාවන පථයේ ඔබ යන විදිය ඇක්ෂන් කැමරාවක් මාර්ගයෙන් රූපගත කරගැනීම. ඔබ දුෂ්කර කඳු නැගීම, ත්‍රාසජනක හෝ අන්තරාදායක ක්‍රියාවන්හි නිරතවීම විනෝදාංශයක් විදියට තෝරාගෙන තිබෙන කෙනෙකුනම්, ඒ විනෝදාංශයන්හි මතක සහ අත්දැකීම් අනිත් අය හා බෙදාගන්නත් ඇක්ෂන් කැමරාවක් මාර්ගයෙන් සිදුකරන්න පුළුවනි.

ඒවගේම ඔබගේ වාහනයේ, යතුරු පැදියේ හෝ පාපැදියේ ඇක්ෂන් කැමරාවක් සවිකර ගැනීමෙන් එදිනෙදා මහා මාර්ගයන්වල ඔබ ගමන්ගන්නා ආකාරය ගැන ඔබටම ස්වයං අධ්‍යයනයක් සිදුකරගන්න පුළුවනි. එහෙමත් නැතිනම් ඔබ ජල ක්‍රීඩා කරන කෙනෙකුනම්, ඒ ක්‍රීඩා අත්දැකීම් රූපගත කරගන්න කදිම උපාංගයක් තමයි ඇක්ෂන් කැමරාවන්. පිහිනීම, කිමිදීම, සර්ෆින් ආදිය ඔබගේ විනෝදාංශ විදියට තිබෙනවානම්, ඇක්ෂන් කැමරාවක් සමඟ ඒ විනෝදාංශයන්හි යෙදීමෙන් ඔබගේ ක්‍රියාකාරකම් යළිත් වතාවක් ඒ ආකාරයෙන්ම දැකබලාගන්න ඔබට හැකියාව ලැබේවි.

සුරතලාගේ ශරීරයේ සවිකළ විට. (twitter.com/GoPro)

මීට අමතරව ඔබගේ සුරතලාගේ දවස ගෙවෙන ආකාරය පිළිබඳව ඔබට වැටහීමක් ලබාගන්න අවශ්‍ය නම්, ඇක්ෂන් කැමරාවක් මඟින් ඒ ගැන දැනගන්නත් ඔබට පුළුවනි. ඒ වගේම ලොව සමහර රටවල සන්නද්ධ හමුදාවන් තමන්ගේ සෙබළුන් යුධ බිමේදී සටන් වදින ආකාරය සජීවීව දැක ගැනීම සඳහාත් ඇක්ෂන් කැමරාවන් භාවිතා කරනවා. ඒ වගේම වැඩබිම්වලදී කාර්මික යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක වෙන ආකාරය නිරීක්ෂණයටත් ඇක්ෂන් කැමරාවන් යොදාගන්නා ආකාරය දැකගන්නට ලැබෙනවා. ඒ වගේම කෙටි චිත්‍රපටයක් රූගත කරන්නට, ඔබේ ප්‍රියතම සංගීත භාණ්ඩයේ සවිකරගෙන එය ක්‍රියා කරවන අයුරු බලන්න වගේ මෙකී නොකී ඕනෑම විදියකට භාවිතා කරන්නට ඔබට හැකියාව තිබෙනවා.

හමුදා සෙබලෙකුගේ හෙල්මටයේ සවිකළ ඇක්ෂන් කැමරාවක්. (pinterest.com/chadkurgan)

ඔබ දැනටමත් ඇක්ෂන් කැමරාවක් භාවිතා කරන කෙනෙක්ද? ඔබ ඇක්ෂන් කැමරාව භාවිතා කරන්නේ කුමන ආකාරයේ කාර්යයන් සඳහාද? නැතිනම් නුදුරු අනාගතයේදී ඔබ ඇක්ෂන් කැමරාවක හිමිකරුවෙක් වීමට සිහින දකිනවාද? ඔව්, ඔබටත් පුළුවනි ඇක්ෂන් කැමරා හා බැඳුන ඔබගේ අත්දැකීම් සහ අදහස් අපිත් එක්ක බෙදාගන්න.

කවරයේ පින්තුරය: eduporium.com

Related Articles