Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අංශක 180ක් හැරෙන කැමරාවක් ඇති Asus ZenFone 6

දුරකතන මුහුණත පුරා තිරය විහිදුවාලීමේ දී නිෂ්පාදකයන්ට ඇතිවුණු ප්‍රධානම ගැටළුව වූයේ සෙල්ෆි කැමරාව යි. හොඳ සෙල්ෆි ඡායාරූප සහ මුහුණත සම්පූර්ණයෙන්ම තිරයෙන් යුතු උපාංගවලට වෙළඳපොළ ආකර්ෂණය දැඩිව යොමු වෙද්දී ඒ අභියෝගය ජයගන්නට ඔවුන් විවිධ උපක්‍රම අනුගමනය කරනවා.

Notch එක, දුරකතනය උඩින් ඉහළට එසැවෙන කැමරාව මෙන්ම දැන් පසුපස කැමරාව ඉදිරිපසට හැරී සෙල්ෆි කැමරාව බවට පත්වන ආකාරය Samsung A80 දුරකතනයේත් දකින්නට ලැබුණා. නමුත් ෆෝන්වලටත් වඩා ලැප්ටොප්වලට ඉහළ නමක් උසුලන Asus සමාගම ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකින් තම නව දුරකතනයේ කැමරාවට උපරිම පාලනයක් ගෙන දෙමින් වෙනස්ම අත්දැකීමක් ගෙන එනවා.

බාහිර පෙනුම

පසුපස සහ ඉදිරිපස පෙනුම (futurecdn.net)

කැමරාවේ විශේෂ සැකැස්ම නිසා ඉදිරිපස සම්පූර්ණයෙන්ම තිරයට වෙන් කරන්නට Asus සමාගමට අවස්ථාව ලැබී තිබෙනවා. තිරයේ පහළ දාරය නොසැලකිය යුතු තරම් සිහින් වුවත් අනෙක් දාර ඇත්තේම නැති තරම් නිසා එය මඳක් කැපී පෙනෙනවා. දුරකතනය ඉහළ දාරයේ මැදින් ඇමතුම් ස්පීකරය යොදා තිබෙනවා.

වටේ දාරය ඇලුමිනියම් රාමුවකින් සකසා ඇති අතර දුරකතනයේ දකුණු පස දාරයෙහි මතුපිට රළු කළ Power බොත්තම, ශබ්ද පාලක බොත්තම් සහ අතිරේක බොත්තමක් වන Smart Key එකක් තිබෙනවා. Smart Key එක මඟින් මූලික වශයෙන් Google Assistant පණ ගැන්වීම සිදුවන අතර එය දෙවරක් තද කිරීම, දිගු කාලයක් තද කරගෙන සිටීම වැනි වෙනස් ක්‍රම මඟින් අපිට අවශ්‍ය වෙනත් ක්‍රියාවක් (Do not disturb mode එක සක්‍රීය කිරීමට, කැමරාව විවෘත කිරීම, Screenshot ගැනීම ආදිය) සඳහා යොදා ගන්නට පුළුවන්.

කළු සහ රිදී වර්ණ මාදිලි දෙකක් (digitaltrends.com)

වම් පස දාරයෙහි සිම්පත් කවුළුව තිබෙනවා. එහි Sim tray එකෙහි සිම්පත් 2ක් සහ ඊට අමතරව මතකපත් (memory card) කවුළුවක් ද යොදා ඇති නිසා වඩාත් පහසු යි. යට දාරයෙහි ස්පීකරය, USB-C port එකක් සහ 3.5mm audio jack එක තිබෙනවා.

පසුපස ද Corning Gorilla (Glass) ආරක්ෂණය සහිත වීදුරුවක් යොදා තිබෙනවා. ඉහළින් කාච දෙකක් මැද ෆ්ලෑෂරය හා ලේසර් focus හැකියාවන් සහිත කොටසක් ද ඇති චලනය වන කැමරා පද්ධතිය තිබෙනවා.

ඊට පහතින් පැතලි රවුමක හැඩයට ඇඟිල් සලකුණු සංවේදකය ඇති අතර එය මැදට ආසන්නව ඇති නමුත් දුරකතනය පසුපස ඇති ආනත බව නිසා සංවේදකයට ඇඟිල්ල යොමු කිරීම ගැටළුවක් වන්නේ නැහැ.  යට කොටසෙහි ASUS ලෝගෝව සහ ඇල ඉරකට පසු කතු හිමිකම් හා නිෂ්පාදන තොරතුරු අඩංගු කර තිබෙනවා.

තිරය

asus.com

මුහුණතෙහි සම්පූර්ණයෙන්ම පාහේ හරියටම කිව්වොත් 92%ක් පුරාවට විහිදී ගිය අඟල් 6.4ක සුවිසල් IPS LCD තිරයක් මේ දුරකතනය සතු වෙනවා. ඔවුන් මෙය NanoEdge display එකක් ලෙසයි හඳුන්වන්නේ. එහි Corning Gorilla Glass 6 ආරක්ෂණයක් අඩංගු වන අතර මීටරයක් ඉහළ සිට බිම වැටුණත් හානි වීම් සහ සීරීම්වලට ප්‍රතිරෝධී වෙනවා. තිර දීප්ත අගය nits 600ක් නිසා එළිමහනේදී පවා තිරය හොඳින් දර්ශනය වෙනවා. සිනමා මට්ටමේ 100% DCI-P3 වර්ණ සංකලනය මඟින් OLED ආකාර‍යේම සත්‍යරූපී දසුන් තිරය මතට ගෙන එනවා.

කැමරා පද්ධතිය

පසුපස කැමරාව ඉදිරිපස කැමරාව බවට පත්වෙනවා (digitaltrends.com)

ඉදිරිපස කැමරාවක් නොමැති මේ දුරකතනයේ පසුපස කැමරාව ම ඉදිරිපසට භ්‍රමණය වී සෙල්ෆි කැමරාව බවට පත් වෙනවා. සිරස්ව පිහිටි එම කැමරා පද්ධතිය සතුව 48 MP (f/1.8) wide කාචයක් සහ 13 MP (f/2.4) වූ අංශක 125ක් ආවරණය කරන ultrawide කාචයක් අඩංගු වෙනවා. මේ දෙකම Sony සමාගමේ නිෂ්පාදිත ඒවා යි.

Samsung Galaxy A80 දුරකතනයේ තිබූ කැමරාව ක්ෂණිකව චලනය වූවත් එයට වඩා මෙහි ඇති විශේෂත්වයක් වන්නේ එලෙස චලනය වන සෑම කෝණයක් පාසාම එයට නවතින්නට හැකි වීම යි. මේ නිසාම එයට Auto panorama හැකියාව ලැබී තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබට ගසක ඍජු පැනොරාමා ඡායාරූපයක් ගන්නට අවශ්‍ය නම් සාමාන්‍ය දුරකතනයක නම් ගසේ පහළ සිට ඉහළට දුරකතනය චලනය කරන්න වෙනවා. එවිට අවට සිටින අය මේ මොන විකාරයක් කරනවාදැ යි බලනවා. ඒත් Asus Zenfone 6 සතු කැමරාවට අප දුරකතනය සාමාන්‍ය ආකාරයට තියොගෙන හිඳිද්දීම කැමරා පද්ධතිය ඉහළට චලනය වෙමින් ඡායාරූපය ස්වයංක්‍රීයවම ගන්නවා.

කැමරා පද්ධතියේ සැකැස්ම (asus.com)

සාමාන්‍ය ඡායාරූපයක් ගනිද්දීත් ඔබට දුරකතනය ඉහළට ඔසවන්නට අවශ්‍ය වන්නේ නැහැ. සුපුරුදු ලෙස තිරස්ව දුරකතනය තබාගෙන සිටියදීම Volume බොත්තම් මඟින් කැමරාව මෝටරයෙන් ස්වයංක්‍රීයව චලනය කරමින් පහසුවෙන් ඡායාරූප ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, Face recognition හැකියාවන් තිබෙන නිසා දුරකතනය Unlock කරද්දී බොහොම වේගයෙන් සෙල්ෆි කැමරාව බවට පත්වී මුහුණ හඳුනාගන්නටත් එයට පුළුවන්.

HDR+ Enhanced විශේෂාංගය මඟින් දිවා කාලයේ විවිධ ආලෝක මට්ටම් සහිත ඡායාරූපවල දී සමාන පැහැදිලි බවක් ලබා දෙනවා. අඳුරේ ඡායාරූප ගැනීමේ දී මෙය සතු Night mode එක නොමැතිව පවා ප්‍රධාන කැමරාවෙන් හොඳ ඡායාරූප ලබා ගන්නට පුළුවන්. Ultra-wide කැමරාව අඳුරේ ගන්නා ඡායාරූපවලට එතරම්ම සාර්ථක බවක් දක්වන්නේ නැතිමුත් සාමාන්‍ය සෝෂල් මීඩියා ඡායාරූපයකට ප්‍රමාණවත් වෙනවා.

කැමරාවේ විවිධ චලන අවස්ථා (gsmarena.com)

මෙහි Focus කිරීම් සඳහා ලේසර් තාක්ෂණය යොදාගන්නා අතර කැමරා පද්ධතිය ෆ්ලෑෂරය සමගම භ්‍රමණය වන නිසා රාත්‍රියේ දී සෙල්ෆි ගනිද්දී පහසු යි. එහෙත් මෙම කැමරා පද්ධතියේ OIS නැති නිසා ඡායාරූප ගනිද්දී අත සෙලවීම් නිසා බොඳවීම් ඇතිවිය හැකියි. Motion Tracking හැකියාව නිසා චලනය වන වස්තුවකට අනුරූපව කැමරාව ද භ්‍රමණය වෙමින් එය හසුකර ගැනීම විශේෂත්වයක්.

හරස් අතට දුරකතනය අල්වාගත් විට කැමරාවේ චලනයට ඉඩ සලසමින් වම් අත හැමවිටම ඉවත් කරගන්නට සිදු වෙනවා. එවිට දුරකතනය අල්වාගෙන සිටීම අපහසු යි. එසේම, කල් පැවැත්ම ගැන සලකද්දී මෝටර් මඟින් චලනය වන කැමරාවක් කොහොමටවත් හොඳයැ යි කීම අපහසු යි. OnePlus 7 PRO කැමරාවට කොන්ක්‍රීට් පවා උස්සන්නට හැකි නමුත් මේවා ක්‍රියාත්මක නොවී යාමට ඇති ඉඩකඩ වැඩියි.

පද්ධති හැකියාවන්

දීප්තිමත් වර්ණ සහිත තිරය (fonpit.de)

කෘත්‍රීම බුද්ධිමය හැකියාවන් ඇති Qualcomm Snapdragon 855 ප්‍රොසෙසරයෙන් බල ගැන්වෙන මේ දුරකතනය Android Pie ධාවනය කරනවා. Dark mode, AI boost ආදී විශේෂාංග සහිතව සරල සහ භාවිතයට පහසු Asus සමාගමේ UI එක වන ZenUI 6 මෙහි අඩංගු වෙනවා.

අභ්‍යන්තර ධාරිතාව 64GB සහ 128 GB වන මාදිලිවල 6GB RAM එකකුත්, 256GB මාදිලියේ 8GB RAM එකකුත් අන්තර්ගත වෙනවා. ඊට අමතරව 1TB දක්වා මෙමරි චිප් දාන්නට ද හැකියි.

අනෙකුත් විශේෂාංග

යට ඝනකම් දාරය කැපී පෙනෙනවා (phonearena.com)

දින දෙකක් පමණ භාවිතා කළ හැකි 5000mAh බැටරියක් ඇති මෙහි Quick Charge 4.0 සමග වේගවත්ව ආරෝපණය කළ හැකියි. එසේම දුරකතනයෙන් විදුලි බලය ඉවතට ගත හැකි නිසා තවත් දුරකතනයකට මෙය Power bank එකක් ලෙස පාවිච්චි කරන්නටත් පුළුවන්. පසුපස වීදුරුවලින් සකසා තිබුණත් අවාසනාවකට මෙහි රැහැන් රහිත ආරෝපණ හැකියාවන් නැහැ.

DTSX 7.1 channel ශබ්ද මාධූර්යයන්, ද්විත්ව ස්පීකර සමග surround sound මඟින් වඩාත් හොඳ ශබ්ද අත්දැකීමක් මෙය ගෙන එනවා. Bluetooth 5.0, NFC සහ අභ්‍යන්තර ධාරිතාව 685MB/s වේගයක reading හැකියාවෙන් මෙය සමන්විත යි.

නුදුරේ දීම වෙළඳපොළට හඳුන්වාදෙන්නට නියමිත මෙහි මිල $499 හෙවත් රුපියල් 88,000ක් පමණ වනු ඇති.

කවරය: pcdn.co

Related Articles