Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුතින් හාඩ් ඩ්‍රයිව් එකක් ගන්නට පෙර සලකා බැලිය යුතු දේවල්

ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයේ හාඩ් එකේ ආයු කාලය අවසන් වීම නිසා, වැඩි ඉඩකඩක් අවශ්‍ය වීම නිසා, හෝ පරිගණකයේ වේගය මද වීම නිසා අලුතින් හාඩ් ඩිස්ක් එකක් දාන්නට ඔබට අවශ්‍යතාව නිතැතින්ම මතු වන්නට පුළුවන්. මෙසේ අලුතින් එකක් මිලදී ගැනීමේ දී ඔබේ අවශ්‍යතාවයට වඩාත් ගැලපෙන, හැකියාවන්ගෙන් ඉහළ සහ අතට ගාණකුත් ඉතුරු කරගෙන වැඩේ කරගන්නට පුළුවන් නම් වඩාත් සාර්ථකව හොඳ ගනුදෙනුවක් කරගන්නට හැකි වේවි. නමුත් මේ සියල්ලම එක්ක හාඩ් එකක් තෝරන එක අමාරු වගේ හිතුණත් හරියට වැඩේ දැනගත්තාම ඒක කිරිකජු වගේ කියලා ඔබටම හිතේවි.

වැඩි වේග SSD ද අඩු මිල HDD ද?

licdn.com

SSD සහ HDD අතර තිබෙන ප්‍රධානම වෙනස HDDවල චලනය වන කොටස් තිබීම සහ SSDවල අපි දුරකතනයේ භාවිත කරන චිප්වල වගේ ෆ්ලෑෂ් මතකයක දත්ත ගබඩා කිරීමයි. HDDවල ඉතා වේගයෙන් කැරකෙන තැටියක තවත් චලනය වන අතකින් චුම්භක භාවිතයෙන් දත්ත ලිවීම සිදුවන නිසා ඊට අවශ්‍ය වන විදුලි බලයත් කාලයත් දෙකම වැඩියි. මෙසේ චලනය වන කොටස් නොමැති නිසාම SDDවල වේගය වැඩියි.

එනමුත් මුදල සැලකුවාම ඒවා සම්බන්ධ කතාව හාත්පසින්ම වෙනස්. SDDවල ගිගාබයිට් එකක නිෂ්පාදන වියදම ඉතා ඉහළ වන අනෙකෙහි එවන් පසුබිමක් නැහැ. එමනිසා අපට දැන් සිතීමට සිදුවන්නේ අපේ අවශ්‍යතාව අනුව තෝරාගැනීම සිදු කිරීමයි. ඔබේ අවශ්‍යතාව පරිගණකයේ ඉඩ ප්‍රමාණය වැඩි කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම තෝරාගත යුත්තේ HDD එකක්. එවිට අඩු මිලකට වැඩි ඉඩකඩක් ලබා ගන්නට පුළුවන්. හැබැයි මෙහෙයුම් පද්ධතිය, ඔබ නිතර පාවිච්චි කරන ගොනු, නිර්මාණ කටයුතු, පරිගණක ක්‍රීඩා ආදිය වෙනුවෙන් ප්‍රධාන වැඩ කටයුතුවලට සොයනවා නම් අනිවාර්යයෙන්ම SSD එකක් තමයි ගන්නට ඕන. වැඩි ඉඩක් නොලැබුණත් වැඩි වේගයක් ලැබෙන නිසා ඔබේ වැඩ කටයුතු තවත් පහසු වේවි. ඉඩ මදිකමක් ආවොත්, සේව් කරන්නේ පොඩි පොඩි ෆයිල් නම් Google Drive වැනි වළාකුළු පරිගණක සේවාවක් භාවිතා කළ හැකියි.

සවිවන ස්ථානය ගැන සැලකිලිමත් වන්න

deskdecode.com

දැනට නිවෙස්වල තිබෙන බොහොමයක් ඩෙස්ක්ටොප් පරිගණකවල තිබෙන්නේ අඟල් 3.5ක HDD වන නිසා අලුතින් ගන්නා හාඩ් එකත් ඒ ප්‍රමාණයේම එකක් වීම වැදගත්. ඒ වගේම ලැප්ටොප් එකට අලුත් හාඩ් එකක් දාද්දිත් බොහෝ ඒවායේ අඟල් 2.5 ප්‍රමාණයේ ඉඩක් තිබෙන නිසා ඊට ගැලපෙන එකක් තෝරාගත යුතු වෙනවා. මෙහිදී අඟල් 2.5 එකක් වුණත් අඟල් 3.5 එකකට සබැඳිය හැකි ආකාරයේ ඇඩැප්ටර තිබෙන නිසා එය එතරම් ගැටළුවක් වන්නේ නැහැ.

ඔබ ඩෙස්ක්ටොප් පරිගණකයකට හාඩ් එකක් තෝරද්දී කුඩා ප්‍රමාණයේ එකක් තිබුණහොත් එහි අභ්‍යන්තරයේ අනිකුත් උපාංග වලට ඉඩ සලසා ගැනීම සහ වායු සංසරණයට අවකාශ සැලසීම සිදු කරගන්නට පුළුවන්. විශේෂයෙන් HDDවල ප්‍රමාණය විශාල වන්නේ එම හාඩ්වල අභ්‍යන්තරයේ ඇති උපාංග ප්‍රමාණය ඉහළ යාම සහ ධාරිතාව වැඩි කරගැනීමේදී යෙදිය යුතු ඩිස්ක ප්‍රමාණය වැඩි නිසා උසින් වැඩි වීමෙනුයි. නමුත් SSDවලට නම් ඒ ගැටළුව ඇති වන්නේ නැහැ. ඊට අමතරව සවිවන ස්ථානයේ ඇත්තේ IDE කේබලයක් ද SATA කේබලයක් ද කියා සැලකිලිමත්වීම වැදගත්. අලුතින් එන හාඩ් බොහොමයක පළලින් ඉතාම අඩු SATA පෝට් එකක් තිබෙන අතර පරණ ඒවායේ හාඩ් එකේද ඉතා දිගට pin රැසක් සබැඳෙන පෝට් එකක් තමයි අඩංගු වන්නේ. ඉතින් අලුත් එකක් මිලදී ගනිද්දීත් ඒ ගැන බැලීම අත්‍යාවශ්‍ය වන අතර ඔබ බාහිරින් සම්බන්ධ කරන හාඩ් එකක් ගන්නවා නම් USB පෝට් එහි තිබෙන නිසා එය ගැටළුවක් වන්නේ නැහැ.

ක්‍රියාකාරීත්වය සහ පිරිවිතර පරීක්ෂා කරන්න

mzepanonline.blogspot.com

හාඩ් එකක් ගනිද්දී එහි උඩ මුද්‍රණය කරලා තිබෙන දේවල් ගැන ටිකක් අවධානයෙන් බැලුවොත් එහි හාඩ් එක ගැන වැදගත් විස්තර සියල්ලම අඩංගු කර තිබෙන ආකාරය දැකගන්නට හැකි වේවි. මේ දේවල් ‘කඩේ අයියා’ට කියලා බලවලා තෝරාගන්නවාට වඩා අපිව අවබෝධයෙන් බලා මිලදී ගන්නවා නම් පසුකාලීනව ඇතිවන ගැටළු අවම කරගැනීමට හැකියාව ලැබෙනවා. හාඩ් එකක ඇති අපට අත්‍යාවශ්‍ය දෙයක් වන්නේ එහි කෙතරම් ධාරිතාවක් තිබෙනවාද යන්නයි.

HDD මෙන් ම SSD ද 128GB, 256GB, 500GB සිට 1TB සහ ඉන් ඉහළට ද දිවෙන අතර තව අවුරුදු දෙකක් පමණ යනතුරු ගෙදර සාමාන්‍ය භාවිතයට 1TB හාඩ් එකක් හොඳටම ප්‍රමාණවත්. හැබැයි 1TB SSD එකක් ටිකක් ගාණ වැඩි නිසා මෙහෙයුම් පද්ධතිය ආදී අත්‍යාවශ්‍ය දේවල් සඳහා 256GB SSD එකකුත්, අනෙකුත් ගොනු තබා ගැනීමට ඔබ අන්තර්ජාල Cloud service එකක් හෝ External Hard එකක් භාවිත කරන්නේ නැත්නම් 500GB විතර HDD එකකුත් තබා ගන්නට පුළුවන්. HDD එකක් ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ එහි ඉහළ RPM අගයක් හෙවත් එතුළ ඇති ඩිස්කය කොතරම් වේගයෙන් භ්‍රමණය වනවාද යන්න වැඩි අගයක එකක් වීමයි. එවිට එහි දත්ත සංසරණය වන වේගය ද වැඩි වෙනවා.

වම්පස SATA සහ දකුණුපස IDE පෝට් සහිත හාඩ් දෙකක් (craigpay.com)

නූතනයේ වැඩිපුර භාවිත වන SATA කේබලවල වේගය කොහොමත් වැඩි නිසා අතීත IDE කේබල සහිත එකකට වඩා කොහොමටත් වයරය පැත්තෙන් නම් වේගය අපට ලැබෙනවා. කල් පැවැත්ම ගැන කල්පනා කළත්, මේ වන විට HDDවල උපරිමයක් දක්වා තාක්ෂණය පැමිණ ඇති නිසා SSD එකකට වඩා එහි කාලය සහ පරිගණකයට සබඳා නොතිබුණත් දත්ත නොමැකී බොහෝ කල් තබා ගන්නට පුළුවන්. නමුත් SSD එකක වුණත් කල් පැවැත්ම වැඩි කරගන්නා හැටි අප පෙර ලිපියකින් ගෙන ආවා.

ධාරිතාව වැඩි කරගන්න External Hard එකක් ගන්න

clifox.com

ඔබේ මූලික පරමාර්ථය පරිගණකයේ තිබෙන ගොනු සුරක්ෂිතව තබා ගැනීම සහ පරිගණකයේ ධාරිතාවය වැඩි කර ගැනීම නම් හාඩ් එකක් සවි කරනවාට වඩා බාහිරින් සබැඳිය හැකි හාඩ් එකක් මිලදී ගැනීම වඩාත් සුදුසුයි. මොකද, පරිගණකයේ ම හාඩ් එක තිබෙනවා කියන්නේ කරුමෙට විදුලි කාන්දුවක්, අකුණු ගැසීමක් හෝ වයිරසයක් නිසා පද්ධතියට හානියක් සිදුවුණොත් හාඩ් එකටත් ඒ සමඟම හානි සිදුවීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. නමුත් ඔබ සතියකට සැරයක් හෝ මාසයකට සැරයක් පිටින් සවි කරන ලද හාඩ් එකට ඔබේ ගොනු උපස්ථ (backup) කරනවා නම් එවන් අවදානමක් ඇති වන්නේ නැහැ. මේ වන විට 1TB හාඩ් එකක් රුපියල් දහ දහසකට පමණ මිලදී ගත හැකි අතර එසේ ගැනීමේදී එහි USB 3.0 හෝ ඊට වැඩි අගයක් තිබෙනවා දැයි සැලකිලිමත් වීමෙන් ඉහළ දත්ත සංසරණ වේගයක් ඔබට ලැබෙන බවට සහතික කරගත හැකියි.

කවරයේ ඡායාරූපය: ao.com

Related Articles