Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 වසරේ මිලදීගත හැකි හොඳම ලැප්ටොප් 5ක්

පරිගණකයක් මිලදී ගැනීමේදී අද කාලයේ ප්‍රථම තේරීම බවට පත්වන්නේ ලැප්ටොප් පරිගණකයි. අතේ ඇති මුදලට සහ වැයකරන මුදලට සාධාරණ පහසුකම් ප්‍රමාණයක් ලබාදෙන ආකාරයේ ලැප්ටොප් පරිගණකයක් මෙන්ම තමන්ගේ අවශ්‍යතාවන් සපුරාලන ආකාරයේ එකක් බවට එය පත්විය යුතුයි. මේ නිසා සාමාන්‍ය භාවිතයේ සිට ගේමිං හරහා සවිබල ටැබ් එකක අවශ්‍යතාවක් ඇති අය දක්වාම දැනට වෙළඳපොළේ තෝරාගැනීමට ඇති හොඳම ලැප්ටොප් මාදිලි 5ක් අපි තෝරාගත්තා.

විවිධ සමාගම්වලින් එකිනෙක පරයමින් සහ පරිගණක ක්‍රීඩා හෝ ග්‍රැෆික් නිර්මාණ කටයුතු වැනි විවිධ අවශ්‍යතාවන් මූලික කරගනිමින් ද තමන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කරනවා. මේ නිසාම මිලදී ගැනීමකදී කළ යුතු තෝරාගැනීම මඳක් අපහසු වන්නේ විකල්ප ප්‍රමාණය ද වැඩිව තිබෙන නිසායි. එසේ අතරමංවූ ඔබටත් මේ ලිපිය පහසුවක් වේවි.

Huawei MateBook X Pro

expertreviews.co.uk

මේ වසරේ වඩාත් කතාබහට ලක්වුණු, කීබෝඩ් එකේ කැමරාව සැඟවූ ලැප්ටොප් එකයි Matebook X Pro කියන්නේ. පෞද්ගලිකත්වය පිළිබඳව හැම කෙනෙක්ම වද වෙන කාලයක කැමරාව තිරය ඉහළ යොදන්නේ නැතිව කීබෝඩ් එකේම, යතුරක් තද කළ විට එම යතුර ඉහළට එසවී එය යට ඇති කැමරාව නිරාවරණය කරනවා. මේ නිසා තිරය ඉහළ අනවශ්‍ය දාරයක් අවශ්‍ය වන්නේත් නැහැ. එනමුත් කැමරාවෙන් ලැබෙන දසුන් ඉතා පහත නිසා පරිගණකයට ආසන්නයේ සිටියහොත් බෙල්ල සහ පපු ප්‍රදේශයයි පෙනෙන්නේ. අඟල් 13.9ක තිරයක් ඇති මෙහි ඇඟිලි සලකුණු සංවේදකය power button එකේම ඇති නිසා ඉහළ මට්ටමක ආරක්ෂාවක් ලැබෙනවා. මෙහි ප්‍රොසෙසරය මාදිලි දෙකක් සඳහා 8th Gen Intel Core i5 සහ i7 ලෙසත්, Graphics සඳහා Intel UHD Graphics 620 හෝ ගිගාබයිට් 2ක Nvidia GeForce MX150 (GDDR5) හැකියාවකුත් ලබනවා. රැම් එක 8GB සහ 16GB ලෙස මාදිලි දෙකෙහි අඩංගු වෙනවා. 512GB SSD එක නිසා වේගවත් බව තවත් වැඩි වන අතර බැටරිය එක දිගට පැය 12ක් 1080p වීඩියෝ එකක් බලන්නට තරම් ප්‍රමාණවත් වෙනවා.

Dell XPS 13

cbsistatic.com

තිරයේ ඉහළ තුන් පැත්තේම දාරය ඉතා අඩු මෙහි Huawei ලැප්ටොප් එකට වඩා යට මහත දාරයකින් යුතු වෙනවා. Infinity Edge ලෙස ඔවුන් හඳුන්වන මෙම තුනී දාර සැකැස්ම සමඟ තිර ප්‍රමාණය අඟල් 13.3ක touch screen එකක් ලැබෙනවා. තිර විභේදනය FHD සහ 4K ලෙස මාදිලි දෙකෙහි තිබෙනවා. මධ්‍යයේ ඇති IR webcam එක, Intel UHD Graphics 620 ග්‍රැෆික්ස් හැකියාව, 8th generation Intel Core i5 සහ i7 ප්‍රොසෙසර මෙහි විශේෂ අංගයන් වෙනවා. USB Type C වන Thunderbolt පෝට් එකක් ඇති මෙම XPS 13 ලැප්ටොප් එකේ පෝට්ස් ගණනාවක් සඳහා යන ඉඩ ඉතිරි වන්නේ ඊට සබැඳිය හැකි ඇඩැප්ටරය හරහා HDMI, VGA, USB ආදී තවත් සබැඳුම් එක් කළ හැකි නිසායි. සාමාන්‍ය charging port එකට අමතරව මෙය හරහා ද චාර්ජ් කරන්නටත් පුළුවන් නිසා ආරෝපණ ආකාර දෙකක් ලැබෙනවා. Matebook එකට වඩා මෙහි ඇති වාසියක් වන්නේ card reader එකක්ද තිබීමයි.

Lenovo Yoga Book

vox-cdn.com

නිතර ගමන් බිමන් යන කෙනෙක්ට ලැප්ටොප් එකක් වගේම ටැබ් එකකුත් ළඟ තිබෙන එක පහසුවක් වෙනවා. ඒත් මේ දෙකම එක device එකක් තිබෙනවා නම්? එහෙනම් උත්තරය තමා Yoga book එක. වින්ඩෝස් ධාවනය වන ලැප්ටොප් එකක් වගේම ඇන්ඩ්‍රොයිඩ් සහිත ටැබ් එකක් ලෙස මාදිලි දෙකකින් නිකුත් කර ඇති මෙහි කීබෝඩ් එක තිබෙන කොටසේ සත්‍ය යතුරු නැහැ. ඒ වෙනුවට අාලෝක ගන්වන ලද සංවේදක ප්‍රදේශයන් පමණයි තිබෙන්නේ. ස්විචයක් හරහා ඒවා අක්‍රීය කොට එම කොටස stylus එකෙන් ලියන්න හෝ අඳින්න පාවිච්චි කරන්නත් පුළුවන්. මැග්නීසියම්, ඇලුමීනියම් ඇලෝයි වලින් සකසා ඇති මෙම yogabook එක සතුව තිබෙන්නේ Atom ප්‍රොසෙසරයක් නිසා නෝට්බුක් එකක ඇති සවිබලය බලාපොරොත්තු වන්නට බැහැ. නමුත් අඟල් 10.1ක තිරයක්, 4GB රැම් එකක් සහ 64GB SSD එකක් සහිත නිසා සාමාන්‍ය ටැබ් එකකින් ඔබ්බට ගිය හැකියාවක් එය සතු වෙනවා.

වැඩිදුර කියැවීමට: කීබෝඩ් එකක් වෙනුවට touch screen දෙකක් ගෙනෙන ලැප්ටොප් එකක්

MSI GS65 Stealth

ignimgs.com

තිරය දෙපස දාර මිලිමීටර් 4.9ක් තරම් තුනී gaming ලැප්ටොප්වලටම නම් දැරූ MSI සමාගමේ GS65 Stealth ලැප්ටොප් එක සාමාන්‍ය 60Hz තිරයකට වඩා සුපැහැදිලි බවක් 144Hz හෙවත් මිලි තත්පර 7 කට වරක් දසුන් මාරු වන තිරය හරහා ලබනවා. අඟල් 15.6ක තිරය දිලිසීම්වලින් තොර බව සහ wide-view විශේෂාංගවලින් යුතු වෙනවා. ගේමිං ලැප්ටොප්වලටම ආවේණික වර්ණ විදුලි බුබුළු යෙදූ කීබෝඩ් එක, හොඳින් වාතනය කරමින් උණුසුම අඩු කිරීමට සමත් ෆෑන් කට්ටලය, Dynaudio ශබ්ද පද්ධතිය මෙන්ම අන්තර්ජාලය හරහා කරදරයකින් තොරව පරිගණක ක්‍රීඩා කරන්නට අවස්ථාව සලසන Killer E2500 Gigabit අන්තර්ජාල සම්බන්ධකයක් ද මෙය සතු වෙනවා. Intel Core i7 ප්‍රොසෙසරය, ගිගාබයිට් 8ක Nvidia GeForce GTX 1070 ග්‍රැෆික් ප්‍රොසෙසරය, 16GB රැම් එක සහ 512GB M.2 SSD එක මෙහි හැකියාවන් ඉතා ඉහළින් තබනවා. පැය 8ක බැටරි ආයු කාලයක් මෙය සතුයි.

Samsung Notebook 9

ytimg.com

අඟල් 0.24ක තිර දෙපස දාරයක්, වැසූවිට ඝනකම අඟල් 0.5‍7ක් වන සැම්සන්ග් සමාගමේ Notebook 9 පරිගණකය කි.ග්‍රෑ. 1.3ක් පමණ වෙනවා. දහවල් ආලෝකයේදී මෙන්ම අඩ අඳුරු කාමරයක සිට පවා සුපැහැදිලි දසුන් ලැබදෙන අඟල් 15ක LED තිරය, පැය 12ක බැටරි ආයු කාලය, Fast Charging සහිත නිසා පැය 1.5කින් සම්පූර්ණ ආරෝපණයක් ලබාගත හැකිවීම මෙය මැක්බුක් එකක හැකියාවන් සහිත (සහ ඉන් ඔබ්බට ගිය) අඩු මිල වින්ඩෝස් පරිගණකයක් බවට පත් කරවනවා. අංශක 180ක් දක්වා මෙහි තිරය දිග හරින්නට පුළුවන්. Intel i7-8550U ප්‍රොසෙසරයක්, ග්‍රැෆික් සඳහා Nvidia GeForce MX150 සකසුවක්, 8GB සහ 16GB රැම් සහිත මාදිලි දෙකක් මෙන්ම 256GB සහ 512GB SSD මාදිලි දෙකේ ගබඩා ඉඩකින් මෙය වෙළඳපොළට නිකුත් වෙනවා. මෙහි යතුරුපුවරුව නම් ඇතැම්විට භාවිතයට අපහසු හැඟීමක් දැනවිය හැකි අතර ටච්පෑඩ් එකට වීදුරු ආලේපනයක් යොදා ඇති නිසා අතට පහසුවක් දැනිය හැකියි.

මින් ඔබේ ප්‍රියතම ලැප්ටොප් එක කුමක්ද?

කවරයේ ඡායාරූපය: hiconsumption.com

Related Articles