Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

MWC 2019හි දී දකින්නට ලැබුණු හොඳම දුරකතන උපාංග

2019 වසර සඳහා පැවති ලෝක මොබයිල් සමුළුවේ දී (MWC) විවිධ සමාගම් තම අලුත්ම දුරකතන නිෂ්පාදන හඳුන්වා දුන්නා. වැඩි කැමරා ප්‍රමාණයක්, උපාංගය නැවිය හැකි බව, 5G පහසුකම් ඇතුළු සිත්ගන්නාසුළු විශේෂාංග රැසක් සහිත උපාංග මෙහිදී දැකගන්නට ලැබුණා.

නැවිය හැකි Huawei Mate X

තිරය පිටත සිටින සේ නැවේ (ytimg.com)

නැවිය හැකි උපාංගයක් වන මෙය 2019 වසර වෙත Foldable Phone රැල්ල ගෙන එන්නට දායක වුණු තවත් නිෂ්පාදනයක්. දිග හැරි විට අඟල් 8ක තිරය සමග ටැබ් යන්ත්‍රයක් බවටත් පත්වන Mate X නැවූ විට අඟල් 6.6ක AMOLED තිරයක් සමග දුරකතනයක් බවට පත් වෙනවා. Wide කාචයක් ඇති 40MP ප්‍රධාන කැමරාව, 16MP ultrawide කැමරාවක් සහ 8MP telephoto කාචයක් ඇති කැමරාවක් ඇතුළු කැමරා තුනක පද්ධතියක් මෙහි තිබෙනවා. වෙනත් දුරකතනවල මෙන් සෙල්ෆි කැමරාවක් වෙනම ‍නොමැති අතර, ප්‍රධාන කැමරාව ඒ සඳහා යොදා ගැනෙනවා.

වැඩිදුර කියැවීමට: අලුතින්ම ආ නැවිය හැකි Huawei Mate X

HiSilicon Kirin 980 ප්‍රොසෙසරයක්, 8GB RAM එකක් සහ 512GB අභ්‍යන්තර ධාරිතාවක් සමග එය ඇන්ඩ්‍රොයිඩ් 9 Pie ධාවනය කරනවා. සිම්පත් 2ක් දැමීමේ හැකියාව සහ එක් සිම්පතක් වෙනුවට නැනෝ මෙමරි (NM) පතකින් Storage එක තවත් වැඩි කරගන්නට අවස්ථාව සලසනවා. දාරයෙහි Volume බොත්තමට පහළින් ඇඟිලි සලකුණු සංවේදකයක්, NFC, රිමෝට් එකක් ලෙස භාවිතයට IR port එකක් සමග මෙය විනාඩි 30 ආරෝපණයෙන් 85%ක් දක්වා ළඟාවිය හැකි Huawei SuperCharge නම් වේගවත් ආරෝපණ හැකියාවෙන් යුතු යි.

කැමරා හයක් ඇති Nokia 9 Pureview

ඉදිරිපස හා පසුපස කැමරා 6ක් (ctfassets.net)

මෙතෙක් කල් අපට දුරකතනවල දකින්නට ලැබුණු කැමරා සංඛ්‍යාව උපරිම 3ක් හෝ 4ක් පමණ වූවත් මේ Nokia දුරකතනය කැමරා 6ක්ම ගෙන එනවා. එක්වර ක්‍රියාකරන පසුපස කැමරා 5ක් මෙහි අඩංගු වෙනවා. ඉන් දෙකක් RGB වර්ණ කැමරා වන අතර, කළු-සුදු කැමරා තුනක් ද සමන්විත යි. මේවා කාචවලට නම් දරන Zeiss optics ආයතනයෙන් නිපදවන ලද ඒවා යි. දුරකතනය පසුපස පැරණි විශාල ස්පීකරයක සිදුරු මෙන් කැමරා පද්ධතිය සිදුරු 7කින් සමන්විත අතර TOF සංවේදකයත්, ෆ්ලෑෂරයත් සමග එය වෙනස් පෙනුමක් දුරකතන වෙත ගෙන එනවා. ඉදිරිපස 20MP කැමරාව සමග මෙය කැමරා 6ක් සහිත දුරකතනයක් බවට පත් වෙනවා.

Qualcomm Snapdragon 845 ප්‍රොසෙසරය, 6GB RAM ධාරිතාවක් සහ 128GB අභ්‍යන්තර ධාරිතාවක් සමග මෙය Android 9 Pie ධාවනය කරන අතර සුපිරිසිදු ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීමක් ලැබිය හැකි Andoroid One මෙහි අඩංගු වීම විශේෂත්වයක්. තිරය යට ඇඟිලි සලකුණු සංවේදකය යොදා ඇති අතර 3.5mm audio jack එක යොදා නැහැ. රැහැන් සහිතව සහ රහිතව (Wireless) ද වේගවත් ආරෝපණ හැකියාවක් මෙහි තිබෙනවා. ජලයේ මීටර් 1ක් යට විනාඩි 30ක උපරිමයක් දක්වා ගිල්වා තැබුව ද හානි සිදු නොවන ලෙස දුහුවිලි සහ ජල ප්‍රතිරෝධීව සකසා තිබෙනවා.

පසුපස දේදුනු වර්ණ ගෙනෙන Xiaomi Mi 9

කළු වර්ණ මාදිලියේ පසුපස දිලිසෙන්නේ නැහැ (mi.com)

අඟල් 6.39ක Samsung සමාගමේ නිෂ්පාදිත Super AMOLED තිරයක් මේ Xiaomi දුරකතනයේ යොදා තිබෙනවා. එනිසාම වඩාත් හොඳ වර්ණ තීව්‍රතාවක් ගෙන එන්නට මෙයට හැකිවෙනවා. Dot-drop හෙවත් ඉදිරිපස කැමරාව සඳහා ඉතා කුඩා, මැදින් යෙදූ Notch එකක් මෙහි තිබෙනවා. මුහුණත දාර ඉතාම සිහින්ව සකසා ඇති අතර, තිරය යට ඇඟිලි සලකුණු සංවේදකය යොදා තිබෙනවා. තුනී බව, ලෝහමය නිමාව, දුරකතනය යට ස්පීකර කවුළු දෙකක්, පසුපස දිලිසෙන වර්ණ, MI ලෝගෝව කුඩාවට සඳහන් කර තිබීම ආදිය සමග නූතනයට ගැලපෙන අග්‍රගණ්‍ය පෙනුමක් මේ දුරකතනය ගෙන එනවා.

Qualcomm Snapdragon 855 ප්‍රොසෙසරයක් සහිත මෙය මාදිලි දෙකකින් සකසා තිබෙනවා. ඒ, 6GM RAM / 64GB Storage සහ 8GB RAM / 128GB Storage ලෙස යි. දම්, නිල් සහ කළු වර්ණ මාදිලිවලින් ද යුත් මෙහි මතකපත් (memory card) දැමීමේ හැකියාවක් නැහැ. දෙපසම වීදුරුවලින් සකසා ඇති අතර ඉදිරිපස Corning Gorilla Glass 6 ආරක්ෂණයක් ද පසුපස Corning Gorilla Glass 5 ආරක්ෂණයක් ද තිබෙන අතර වේගවත් රැහැන් සහිත හා රහිත ආරෝපණ හැකියාවන් ගෙන එනවා. මෙහි විශේෂාංග අඩුකොට සැකසූ Mi 9 SE නමින් මාදිලියක් ද නිකුත් කර තිබෙනවා.

5G ගෙනෙන LG V50 ThinQ

OLED නිසා තිරය කළු පැහැති විට Notch එක නොපෙනේ (aolcdn.com)

හරිහැටි 4G හිස ඔසවන්නටත් පෙර, වඩාත් වේගවත් අන්තර්ජාල සබඳතාවක් ගෙන එන 5G වෙතින් 2019 වසර හැඩ ගැන්වෙද්දී LG සමාගම ද තම පුරෝගාමී දුරකතනයට 5G හැකියාවන් ගෙන එනවා. අඟල් 6.4ක P-OLED තිරයක් ඇති මෙය ඉදිරිපස මෙන්ම සහ පසුපස ද Corning Gorilla Glass 5 ආරක්ෂණයක් ලබනවා. දාරය ඇලුමිනියම්වලින් සකසා තිබෙනවා. තිරය මත 8MP හා 5MP කැමරා දෙකකට සහ තවත් සංවේදක සමග දිගු Notch එකක් අඩංගු යි. පසුපස 12 MP ප්‍රධාන කැමරාව, 12MP telephoto කැමරාවක් සහ 16MP ultrawide කැමරාවකින් සමන්විත වන අතර ඊට පහළින් ඇඟිලි සලකුණු සංවේදකය තිබෙනවා.

3.5 jack එකක්, මතකපත් දැමීමේ හැකියාව, NFC,  DTS X ශබ්ද මාධූර්යයන් මෙය සතු යි. විනාඩි 36කින් 50%ක වේගවත් ආරෝපණයක් ලැබිය හැකි අතර රැහැන් සහිතව ද වේගවත් ආරෝපණය කළ හැකියි. IP68 හෙවත් විනාඩි 30ක් මීටර් 1.5ක උපරිමයකට ජලයටත්, එසේම දූවිලිවලටත් ප්‍රතිරෝධීව සකසා තිබෙනවා. මෙහි තිබෙන්‍නේ ද Qualcomm Snapdragon 855 ප්‍රොසෙසරයක් වන අතර 6 GB RAM එකක් සහ 128 GB අභ්‍යන්තර ධාරිතාවක් තිබෙනවා. තවම මෙය පවතින්නේ පෙර-ඇණවුම් අවධියේ යි.

ලොව ප්‍රථම 4K OLED තිරය ගෙන එන Sony Xperia 1

මුහුණත පුරා තිරය නොමැති නිසා පැරණි පෙනුමකින් යුතුයි (fonpit.de)

අඟල් 6.5ක OLED තිරයක් සතු මෙහි මුහුණත පුරාම විහිදුණු තිරයක් නොමැති නමුත් ලොව මුල්වරට 4K තිර විභේදනයක් (21:9 අනුපාතය) ගෙන එනවා. කැමරාවලට නම් දරන Sony සමාගම තම අලුත්ම දුරකතනයට ලොව ප්‍රථම වරට BIONZ X තාක්ෂණයෙන් බලගැන්වූ කැමරා පද්ධතියක් ගෙන එනවා. Wide කාචයක් ඇති ප්‍රධාන කැමරාව, Telephoto කැමරාව හා Ultrawide කැමරාව යන තුනම 12MP වෙනවා. ඉන් අඩු ආලෝක ඡායාරූප පවා හොඳින් ගැනීමට හැකියාව ඇති අතර, සෙල්ෆි කැමරාව 8MP වෙනවා.

දුරකතන දාරයේ ඇති ඇඟිලි සලකුණු සංවේදකය, වේගවත් ආරෝපණ හැකියාවන්, ජල සහ දූවිලි ප්‍රතිරෝධීතාව, NFC, Bluetooth 5.0 මෙහි විශේෂාංග බවට පත් වන අතර 3.5mm jack එක සහ රැහැන් රහිත ආරෝපණ හැකියාවන් මෙහි අඩංගු කර නැහැ. මෙහි ද Qualcomm Snapdragon 855 ප්‍රොසෙසරයක් තිබෙනවා. අභ්‍යන්තර ධාරිතාව 64GB හෝ 128GB ලෙස මාදිලි දෙකකුත්, 6GB RAM එකකුත් මෙය සතු යි.

මේවායෙන් ඔබේ වැඩිපුරම සිත්ගත්තේ මොන ෆෝන් එක ද?

කවරය: futurecdn.net

Related Articles