Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෝකටත් තෛලේ – Blackview BV9500 Pro දුරකථනය

ට්‍රිප් එකක් ගියාම ෆෝන් එකට වතුරෙන්, වැටීම්වලින්, වාහනවල රෝදවලට හසුවීම්, මඩ ගෑවීම වගේ නානාප්‍රකාර දේවල්වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. හදිසියේ කැලයක අතරමං වුණොත් සිග්නල් නැති වුණොත් සාමාන්‍ය දුරකථනයකින් නම් පණිවිඩයක්වත් යවාගන්නට බැහැ. රැකියාව ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ නම් එවන් ස්ථානවල සිටිය දී දුරකථනයට එල්ලවන අභියෝග ප්‍රමාණය තවත් වැඩි යි. මේ ගැටලු බොහොමයකට විසඳුම් ගෙන එන දුරකථනයක් තමයි Blackview BV9500 Pro කියන්නේ.

බාහිර පෙනුම

gizmochina.com

බැලු බැල්මට හමුදා උපාංගයක සැලසුමකින් යුත් ආකාරයේ BV9500 Pro දුරකථනය ඕනෑම දෙයකට ඔරොත්තු දිය හැකි සවිමත් පෙනුමකින් යුක්ත යි. වැටීමකින් බිම වැදිය හැකි ස්ථාන වන මුළු සතර තීව්‍ර නොකර දුරකථනයට අෂ්ඨාස්‍රයක හැඩය දී තිබෙනවා. එසේම එ්වාට රළු කරන ලද මුහුණතක් දී තිබෙන නිසා ගැටීමෙහි ශක්තිය සවිමත්ව උරා ගන්නට හැකියාව තිබෙනවා. තිරය ස්වල්පයක් පහතින් ඇති නිසා මුහුණත වැදුණු විට තිරයට හානි වීමක් නැහැ. පසුපසට ද ඒකාකාරී මතුපිටක් වෙනුවට උස් පහත් වීම් සහිතව ඝට්ටන දරා ගැනීම් සඳහා උචිත ආකාරයට නිමවා තිබෙනවා.

දෙපස දාරයන් ද පැතලි මුහුණතක් වෙනුවට දෙපසින් ආනත වන ආකාරයට සකසා තිබෙනවා. වම් පස දාරයේ ශබ්ද පාලක යතුරු සහ Walkie-Talkie බොත්තම ඇති අතර දකුණු පස දාරයේ power බොත්තම, ඇඟිලි සලකුණු සංවේදකය සහ Function key එකක් තිබෙනවා. දෙපසෙහිම විශාල ප්‍රමාණයේ ඇණ හතර බැගින් දකින්නට පුළුවන්. යට පැත්තෙහි ආවරණය කළ හැකි USB Type-C පෝට් එකකුත්, 3.5mm audio jack එකත් තිබෙනවා. ඉහළ පැත්තෙහි Walkie-Talkie එකක් ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය ඇන්ටෙනාව සවි කළ හැකියි.

awaqa.com

පසුපස තිරස් රේඛාවක කැමරා දෙක මධ්‍යයේ ෆ්ලෑෂරයත්, ඊට පහළින් Blackview ලෙස නිෂ්පාදන ආයතනයේ නමත් සඳහන් කර තිබෙනවා. ඊට පහතින් ඇති කොටු වැනි එබ්බවීම් තුළ එහි විශේෂාංග පිළිබඳවත්, යට දාරයට මඳක් ඉහළින් ස්පීකරයත් අඩංගු කර තිබෙනවා. මෙහි කොළ, කහ සහ කළු පැහැයන්ගෙන් මාදිලි තුනක් වෙළඳපොළට නිකුත් කෙරෙනවා.

සවිමත් බව: ගොඩට, මඩට සහ තෙලට

awaqa.com

ජලයට සහ දූවිල්ලට ඔරොත්තු දෙන බව මැනීමට ලබාදෙන IP rating අගයෙහි උපරිම ස්ථානයෙහි මේ දුරකථනය සිටිනවා. ඒ, IP68 ලෙස යි. ඒ අනුව මෙම දුරකථනයට කිසිදු ආකාරයකින් දූවිලි ඇතුළට නොයන අතර, ජලය ද මීටර් එකකට වඩා ගැඹුරක පවත්වා ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අනෙකුත් දුරකථනවල IP68 අඩංගු වූවත් ඒවා ජලය, සෝඩා, බියර්, කෝපි, ලුණු වතුර වගේ දේවල්වලට සීමා වෙනවා. BV9500 Pro දුරකථනයේ ඇති විශේෂත්වය නම්, එය පහසුවෙන් කාන්දු විය හැකි තෙල්වලටත් ඔරොත්තු දීම යි.

අත් වැරදීමකින් ජලයට වැටීම පමණක් නොව ජලය යට ඡායාරූප ගැනීම්, වීඩියෝ සඳහා ද කිසිදු පැකිලීමකින් තොරව මේ දුරකථනය පාවිච්චි කරන්නට පුළුවන්. දූවිලි ගැවසෙන ස්ථානවල දවස තුළ රැඳෙන කෙනෙක්ට වුවත් ඒ ගැන කිසිදු තැකීමකින් තොරව දුරකථනය පාවිච්චි කරන්නට අවස්ථාව තිබෙනවා.

BlackView ආයතනය විසින්ම නිකුත් කරන ලද වීඩියෝ දර්ශයන්හි මෙම BV9500 Pro දුරකථනය මතින් වාහනයක් ගමන් කරවනු ලබනවා. නමුත් ඉන් දුරකථනයට කිසිදු දැනීමක් නැහැ. එනිසා මහමඟ දී අත්වැරදීමකින් දුරකථනය පාරේ වැටුණත් එය කිසිදු අනතුරකින් තොරව සවිමත්ව සිටින්නට සමත් වෙනවා.

තිරය සහ කැමරාව

awaqa.com

අඟල් 5.7ක Full HD තිරයක් වන මෙය IPS තාක්ෂණයෙන් බලගන්වා ඇති නිසා සුපැහැදිලි දසුන් මවනවා. තිර අනුපාතය 18:9 වන අතර තිර විභේදනය (resolution) 1080×2160 අගයක් ගන්නවා. අද කාලයේ තිබෙන තිර ප්‍රමාණයන්ට අනුව නම් මෙය කුඩා අගයක් නමුත් දුරකථනයට එක් වන සවිමත් බවට දාර රහිත තිරයක් යෙදීම අපහසු බව ඔවුන් තීරණය කළා වන්නට පුළුවන්. මන්ද, මෙම තිරය වටා ඝනකම් කළු දාරයක් දකින්නට තිබෙනවා. තිරය ඉහළ සහ පහළ එහි ඝනකම තවත් වැඩියි. ආරක්ෂාව වෙනුවෙන් දුරකථනයේ දාරය ද ඊට එක් වුණු විට සැලකිය යුතු ප්‍රමාණයකින් අනවශ්‍ය උසක් සහ පළලක් දැනෙනවා.

පසුපස සඳහා නූතන ද්විත්ව කැමරා පද්ධතිය මෙහි දක්නට ලැබෙන අතර එය Sony සමාගමේ නිෂ්පාදිත යි. ප්‍රධාන කැමරාව 16MP සහ ගැඹුර හඳුනාගැනීමට ඇති අනෙක 0.3MP වෙනවා. මේවායේ aperture එක පිළිවෙලින් f/2.0 සහ f/2.8 වන අතර Auto-focus ද සහිත යි. ඉදිරිපස කැමරාව 13MP සහ f/2.0 නිසා දිය යට සෙල්ෆි වඩාත් හොඳ පෙනුමකින් ගන්නට හැකියාව ලැබෙනවා.

පද්ධති විශේෂාංග

cheesynode.com

Helio P23 2.3GHz වේගයකින් යුත් Octa-Core ප්‍රොසෙසරයකින් බල ගන්වා ඇති මෙම දුරකථනයට 6GB රැම් එකක් තිබෙන නිසා වඩාත් හොඳ වේගයක් ද අත් විඳින්නට පුළුවන්. අභ්‍යන්තර ධාරිතාව 128GB වන එය Android 8.1 Oreo ධාවනය කරනවා. මේ නිසා බරසාර ඇප්ස් වුවත් ස්ටෝරේජ් එකේ ගැටලුවකින් හෝ වේගයේ බාධාවකින් තොරව භාවිතා කරන්නට අවස්ථාව තිබීම විශේෂත්වයක්.

Blackview BV9500 Pro හි බැටරිය ද ඇස් දල්වන අගයකින් යුක්ත යි. ඒ, 10000mAh අගයක්. දැනට බොහෝ දුරකතනවල 4000mAh අගයක් තිබිය දී ඉන් දෙගුණයකටත් වඩා වැඩි අගයක් මෙහි තිබීම දින කිහිපයක් දක්වා එහි බැටරි බල කාලය වැඩි කරලනවා. සාමාන්‍ය අවස්ථවේ දී පැය 1200ක්, පැය 60ක දුරකතන ඇමතුමක්, පැය 80ක් ගීත ශ්‍රවණයට, පැය 40ක් වීඩියෝ නරඹන්නට, සහ පැය 18ක් එක දිගට වීඩියෝ ගේම් කරන්නට මේ බැටරිය ප්‍රමාණවත් වෙනවා.

අනෙකුත් විශේෂාංග

cheesynode.com

රැහැන් රහිතව ආරෝපණය කළ හැකි BV9500 Pro දුරකථනයට සාමාන්‍ය දුරකතනවල තිබෙන Fast charging මෙන් දෙගුණයක ආරෝපණ වේගයක් තිබෙනවා. මේ සඳහා pin 24කින් 12V සහ 2A විදුලියක් ලබාගෙන Type-C Quick Charge තාක්ෂණය ඔස්සේ පැය 3.5කින් උපරිම ආරෝපණයට ළඟා වෙනවා.

සිම්පත් දෙකක් යෙදිය හැකි අතර 4G පහසුකම දෙකෙන්ම පාවිච්චි කිරීමේ අවස්ථාව තිබෙනවා. නමුත් වරකට 4G හරහා සබැඳිය හැක්කේ එක් සිම්පතකින් පමණ යි. මේවාට අමතරව memory card එකක් ද ඇතුළත් කළ හැකියි. දුරකථනය සමග ලැබෙන ඇන්ටෙනාව සවි කරගත් විට walkie-talkie එකක් වශයෙන් පාවිච්චි කරන්නට පුළුවන්. මේ සඳහා 400-470mhz පරාසයේ ඇති අනෙකුත් walkie-talkie උපාංග සමග කථා කිරීමට අවස්ථාව සැලසෙන නිසා, එවන් පරිසරයක සිටින කෙනෙක්ට දුරකථනයට අමතරව තවත් එවන් උපාංගයක් ද ළඟ තබා ගැනීමට කරදර විය යුතු නැහැ. එහි පරාසය මුහුදු මට්ටමේ දී 4-10KM, ගොඩනැගිල්ලක තට්ටු 1-30 ප්‍රමාණයක්, නාගරික ප්‍රදේශයක 1-5KM, රිය පැදවීමේ දී 0.5-2KM දක්වා යොදා ගත හැකියි.

කවරයේ ඡායාරූපය: blackview.hk

Related Articles