Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

CES 2023 ප්‍රදර්ශනයේ දී එළිදැක්වුණු අලුත් ම උපාංග 5ක්

වාර්ෂික ව පැවැත්වෙන CES (Consumer Electronics Show) හෙවත් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය මෙවරත් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි දී ජනවාරි 5 සිට 8 වැනිදා දක්වා පැවැත්වුණා. මෙම ප්‍රදර්ශනයේ දී විවිධ සමාගම් සහ නිර්මාණකරුවන් ද වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත තමන්ගේ නවත ම ඉලෙක්ට්‍රොනික නිර්මාණ ප්‍රදර්ශනය කරනවා. එය අවසානයේ හොඳ ම නිර්මාණ තෝරා ගැනීමක් ද සිදුවන අතර එහි දකින්නට ලැබුණු හොඳ ම නිර්මාණ කිහිපයකුයි මේ.

5. වයර් කරදර නැති TV එකක්

ගෙදර ටීවී එක වටේ කොච්චර නම් වයර් තියෙනවා ද? මේ නිසා එය අවට අපිළිවෙළයි වගේ ම දූවිලි, මකුළු දැල් බැඳ‍ෙන ප්‍රමාණයත් වැඩි යි. අනාගතයේ දී වයර් නැති ටීවී දකින්නට ලැබෙන බව මෙවර CES එකේදී තහවුරු වුණා.

රැහැන් රහිත ටීවී එක සහ පුද්ගලයාට දකුණු පසින් ඇති Zero Connect box එක – lg.com

LG සමාගම නිෂ්පාදනය කළ මේ වයර්ලස් ටීවී එකේ අඟල් 97ක 4K 120Hz තිරයක් තිබෙනවා. “Zero Connect box” නමින් එය සමඟ තවත් බොක්ස් එකක් ලැබෙනවාත

HDMI, USB, ටීවී ඇන්ටෙනා සහ සැටලයිට් ආදී සියල්ල සම්බන්ධ කළ යුත්තේ එයට යි. ඉන්පසු එම බොක්ස් එක හරහා ටීවී එකට රැහැන් රහිත සබඳතාවකින් දත්ත යැවෙනවා.

බොක්ස් එකේ ඉහළ ඇති රවුම ටීවී එක දෙසට කරකැවිය හැකියි – ignimgs.com

අවම මීටර් 9ක් දුරින් මේ Zero Connect box එක තැබිය යුතු අතර, එය මත ඇති රවුමක් කරකවා ටීවී එක ඇති දිශාවට එහි ඇන්ටෙනාව යොමු කළ හැකියි. ටීවී එකත්, බොක්ස් එකත් අතර බාධක ඇති වූ විට එනම්, මැදින් යමෙකු ඇවිද යාමක් වැනි අවස්ථාවකදී සිදුවන දත්ත හානිය වළක්වා ගත හැකි ආකාරයටත් එහි ඇල්ගොරිතම සකසා ඇති බවයි LG සමාගම සඳහන් කරන්නේ. Voice recognition තිබෙන නිසා මෙම බොක්ස් එක හරහා ටීවී එක කටහඬින් පාලනය කරන්නත් පුළුවන්.

4. පාට මාරු කරන කාර් එකක්

ඔබ ගමනක් යද්දී ඇඳගෙන යන ඇඳුමේ පාටට සපත්තු, බෙල්ට්, ඔරලෝසු පටි භාවිතා කළත් ඒ විදියට ම කාර් එකේ පාටත් වෙනස් කරගන්න පුළුවන් වුණොත්?

BMW i Vision Dee කාර් රථය – ytimg.com

BMW සමාගමේ “BMW i Vision Dee” කාර් එකෙහි බඳ සහ රෝදවල කප් e-ink පැනල වලින් සකසා තිබෙන නිසා එයට අපි කැමති වර්ණයක් ලබා දෙන්න පුළුවන්. ්ප

සුගිය වර්ෂයේ දී ඔවුන් එයට කළු සහ අළු පැහැති පැනල යොදා තිබුණත් මෙවර වර්ණ 32ක් මැවිය හැකි පැනල යොදා නැවත CES 2023 හි දී ප්‍රදර්ශනයට තබා තිබුණා. මේ නිසා ආයේ කවදාවත් කාර් එකක් පේන්ට් කරන්න නම් අවශ්‍ය වෙන එකක් නැහැ.

රිසි සේ වර්ණ වෙනස් කර ඇති ආකාරය – indiatimes.com

මෙහි ඉදිරිපස වීදුරුවත් (Windshield එක) AR වලින් බලගැන්වූ තිරයක් සහ Digital Assistant එකකින් සමන්විත නිසා mood එක අනුව එහි විවිධ සැකසුම් කරගන්නටත් පුළුවන්.

මේවා Concept cars හෙවත් සංකල්පමය කාර් රථ වශයෙන් ඉදිරිපත් කරන ඒවා නිසා වෙළඳපොළට එක්වන කාර්වලට මේ පහසුකම් ලැබෙන්නට තවත් වසර ගණනාවක් හෝ ඇතැම්විට දශකයකටත් අධික කාලයක් ගත වෙන්නට පුළුවන්.

3. තිර දෙකක ලැප්ටොප් එකක්

CES 2023 හි දී Lenovo Yoga Book 9i ලැප්ටොප් එකේ මූලික නිමැවුමක් ඉදිරිපත් කෙරුණා. එහි තිබූ විශේෂත්වය වුණේ සාමාන්‍ය ලැප්ටොප් එකක කීබෝඩ් එක හා trackpad එක සහිත කොටස වෙනුවට සම්පූර්ණයෙන් ම තවත් තිරයක් අඩංගු කර තිබීම යි.

තිර දෙකකින් යුතු Lenovo Yoga Book 9i ලැප්ටොප් එක – Engadget

තිර දෙක තනි දිගු තිරයක් ලෙස භාවිත කිරීමට හෝ වෙන වෙන ම භාවිත කළ හැකි මෙහි Gestures මඟින් තවත් පහසුකම් රැසක් එක් කර තිබෙනවා. ඒ අනුව, පහළ තිරයෙහි ඇඟිලි 8ක් තැබූ විට කීබෝඩ් එකත්, ඇඟිලි 8ක් ඉහළට swipe කළ විට කීබෝඩ් එකට පහළින් trackpad එකත් ලබා ගත හැකි යි. Haptic feedback ඇති නිසා තිරය මත ඇති මෙම බොත්තම් තද කිරීමේ දී සත්‍ය keys ඔබනවාක් මෙන් දැනෙන බව The Verge ඉදිරිපත් කළ වීඩියෝවක ඔවුන් ‍උද්‍යෝගයෙන් ගෙන හැර පෑවා.

Lenovo Yoga Book 9i ලැප්ටොප් එකේ මූලික නිමැවුම – www.theverge.com

මෙයට අමතර ව කාන්දම් සහිත physical keyboard එකක් ද ලැබෙන අතර, එය පහළ තිරයේ ඉහළ කොටසේ අලවා, තිරයේ trackpad එක සමඟ භාවිත කරන්නට ද පුළුවන්. Stylus එකකුත් ලැබෙන නිසා වඩාත් පහසුවෙන් තිරය භාවිත කරන්නට, අකුරු සහ චිත්‍ර ඇඳීමටත් එමඟින් පුළුවන්.

2023 ජුනි මාසයේ දී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත මෙහි මිල ඩොලර් 2,100ක් (රු. ලක්ෂ 7.6ක් පමණ).

2. මුත්‍රවලින් සෞඛ්‍යය මනින U-Scan

කොමෝඩ් එකේ ඉදිරිපස රැඳවූ රවුම් හැඩැති උපාංගයකින් දැන් නිවසේදී ම දිනපතා මුත්‍ර පරීක්ෂාවක් කරගන්නට පුළුවන්. WiFi හරහා ඇප් එක සමඟ සබැඳෙන Withings සමාගමේ U-Scan උපාංගය ඔබේ මුත්‍ර අනුව සෞඛ්‍ය තත්ත්වය එහි පෙන්වනවා.

U-Scan උපාංගය කොමෝඩ් එකේ ඉදිරිපස රඳවා ඇති ආකාරය – yimg.com

මෙයට cartridge යෙදිය යුතු අතර, ඉන්පසු ඔසප් කාල පරතරය, දේහයේ pH අගය, වියළි බව, විටමින් C ප්‍රමාණය, සහ කීටෝන මට්ටම් පෙන්වන නිසා දියවැඩියාව වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන අයට නිරන්තරයෙන් තම සෞඛ්‍ය තත්ත්වය නිවසේ දී ම පරීක්ෂා කර ගන්නට පුළුවන්.

අභ්‍යන්තර ව්‍යුහය සහ මැද cartridge එක ඇති ආකාරය – withings.com

මාස 3ක් දක්වා ආයු කාලයකින් යුතු බැටරිය මෙන් ම, cartridge එකත් ඒ සමාන කාලයක් භාවිත කළ හැකි නිසා එය වරින් වර ඇල්ලීමට අවශ්‍ය වන්නේ නැහැ. ජලයෙන් හෝ මුත්‍රවලින් හානි නොවන සේ සකසා ඇති නිසා ෆ්ලෂ් කරද්දී ම එයත් පිරිසුදු වෙනවා.

යූරෝ 500ක් (රු. ලක්ෂ 1.96ක් පමණ) වන මෙය 2023 වසරේ දෙවන අර්ධයේ දී වෙළෙඳපොළට පැමිණීමට නියමිත යි.

1. ඇවිදින වේගය වැඩි කරගන්නට අලුත් ක්‍රමයක්

මානව ඉතිහාසයේ මුල සිට අද වන විට අධිවේගී වාහන සහ ගමනාගමන පහසුකම් බිහිවුණත්, අප තවමත් ඇවිදින්නේ අපේ මුතුන් මිත්තන් ඇවිදපු විදියටම යි. මේ නිසා සියල්ල වේගවත් වුවත් අප ඇවිදින්නේ තවමත් සෙමින්.

මෝටර් සහිත Rollkers රෝද කට්ටල – ytimg.com

එක පයක් බිම තබා අනෙක් පය ඔසවා ඉදිරියෙන් තබන කාලය අතුරතුර අප නැවතී සිටිනවා. මෙම කාලය අතරතුරත් අප ඉදිරියට තල්ලු කරන මෝටර් සහිත රෝද සපත්තු දැන් ලෝකෙට බිහි වෙලා.

Rollkers නමින් CES හි දී එළිදැක්වූ මෙම ‘ඇවිදීමේ අලුත් ක්‍රමය’ ඔබේ ඕනෑම සපත්තුවක් වටා බැඳ ගත හැකි උපාංගයක්. පැයට කිලෝ මීටර් 11ක වේගයක් ලද හැකි මෙය රෝද කට්ටල 3කින් යුක්ත යි. එහි බැටරිය කිලෝ මීටර් 4ක් දක්වා ක්‍රියාත්මක වන අතර, පුහුණුවකින් තොරව ම මෙම උපකරණය භාවිතයට ගත හැකි යි. මෙය වැලි මත ගමන් කිරීමට නම් සමත් වන්නේ නැහැ. ඉදිරිපස විද්‍යුත් ලාම්පුවක් ඇති බැවින් රාත්‍රියේ ගමන් කිරීමේ දී මඳ එළියක් ලබා ගන්නටත් එයින් පුළුවන්.

රෝද 8කින් යුත් Shift Moonwalkers උපාංගය – cnn.com

මෙයට සමාන උපාංගයක් Shift Moonwalkers නමින් 2022 අගභාගයේ දී දකින්නට ලැබුණා. රෝද 8කින් සමන්විත එය පාරේ ඇති වළවල් මතින් පවා සාර්ථක ව ගමන් කරන ආකාරය WIRED ඉදිරිපත් කළ වීඩියෝවක දකින්නට ලැබුණා. පඩිපෙළ නැඟීමේ දී පවා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන එය මඳක් බරින් වැඩි නිසා කකුලට එම බර වෙනස හොඳින් දැනෙන බවත් එම වීඩියෝවේ ප්‍රකාශ වුණා.

මේ අතරින් ඔබේ සිත්ගත් උපාංගය මොකක්ද? ලිපිය Share කර, ඔබේ අදහස් බෙදා ගන්න.

කවරයේ ඡායාරූපය : www.theverge.com
මූලාශ්‍ර:
www.theverge.com

Related Articles