CT හෙවත් CAT Scanning කියන්නේ මොකක්ද?

නිතර අහන්නට ලැබෙන CT, CAT ස්කෑනිං කියන්නේ වෛද්‍ය විද්‍යාවේ, රෝග විනිශ්චනය පහසු කරලන්නට නවමු මංපෙත් එළි පෙහෙළි කරන තාක්ෂණයක්. මෙය පිළිකා රෝග සම්බන්ධයෙන් පර්යේෂණ කරන්නට වැදගත් වන බව අප දැන සිටියත් ඊට වඩා බොහෝ දේවල් මේ වටා ගැබ්ව තිබෙනවා. ඒ සියළු කරුණු කාරණා මේ ලිපියෙන් ආවරණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

CAT පරිලෝකනය

timesofisrael.com

Computerized Axial Tomography හෙවත් ‘පරිගණකගත අක්ෂීය දේහ ස්ථර පරිලෝකනය’ කියන්නේ CAT හෝ CT ලෙස අපි හොඳින් දන්නා X Ray යන්ත්‍රය වගේම අක්ෂ කිහිපයකින් දේහ අභ්‍යන්තර ඡායාරූප ලබා ගන්නා ක්‍රමවේදයක්. විවිධ පැති වලින් ගන්නා ලද මෙම ඡායාරූප ස්ථර කිහිපයක් ලෙසට හෝ ත්‍රිමාණාකාරව එකලස් කරන්නට පුළුවන්. ඒවා පරිගණක තිරයෙන් බලන්නට වගේම සීඩී, පෙන් ඩ්‍රයිව් වැනි දත්ත ගබඩා මාධ්‍යයන්ට ඇතුලත් කරන්නටත් මුද්‍රණය කරන්නට පුළුවන් ඩිජිටල් ප්‍රතිදානයක්.

CT scanner එක සාමාන්‍යයෙන් විශාල, සිදුරක් සහිත හෝ මධ්‍යයට පිවිසිය හැකි උමඟක් ඇති පෙට්ටියක් වගේ උපකරණයක්. එහි ඇති පටු අධ්‍යයන මේසය මත රෝගියා හාන්සි විය යුතුයි. එයට උමඟ තුළට පිවිසීම හෝ පිටතට පැමිණීමට හැකියි. ඇතුලට පිවිසුණු විට X Ray නලයක් සහ සංවේදකයක් එකිනෙකට විරුද්ධ දෙසින් කවාකාරව වළල්ලක් සේ සිටිමින් රෝගියා වටා කැරකෙමින් පරිලෝකනය කරනවා. එහි දී ලබා ගැනෙන දත්ත ඊට යාබද කාමරයක තිබෙන පරිගණක තිරයට ලැබෙන අතර එහි සිට රෝගියා දෙස ද බලාගෙන මෙහෙයවන ශිල්පියාට බොහෝ අවස්ථාවලදී රෝගියා සමඟ සන්නිවේදනය කිරීමට හැකි වන පරිදි මයික්‍රොෆෝනයක් හා ස්පීකරයක් දෙපසම යොදා තිබෙනවා.

ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීන්, අස්ථි මෙන්ම විශේෂයෙන් මෘදු පටක සහ රුධිර නාල පරිලෝකනයේ දී මේ ක්‍රමවේදය හරහා ලැබෙන්නේ ඉහළ පහසුවක්. විශේෂ ආම්පන්න, ක්‍රමවේද, සහ ප්‍රවීණත්වය භාවිතයෙන් CT ස්කෑන් කොට පිළිකා, හෘත් වාහිනී ආකූලතා, ආසාත්මික රෝග, උණ්ඩුක පුච්ඡ ආබාධතා (ඇපෙන්ඩිසයිටීස්), කම්පන තත්ත්ව, අස්ථි ආශ්‍රිත පේශිවල ආබාධතා වුවත් හඳුනා ගන්නට පුළුවන්.

භාවිත අවස්ථා

හානි නොකොට පරීක්ෂා කළ යුතු මමි වැනි ඓතිහාසික දෑ පවා CAT scan කර අභ්‍යන්තරය දැකිය හැකියි. (uchospitals.edu)

පපුව, උදරය, සහ උකුළු ප්‍රදේශය, හා යටිබඩ ආශ්‍රිත උග්‍ර ලක්ෂණ පෙන්නුම් කරන්නන්, ශ්වසන අපහසුතා ඇති රෝගීන් ස්කෑන් කිරීමේ දී වඩාත් වේගවත් සහ නිරවද්‍ය තොරතුරු ලබාගන්නට කැට් ස්කෑනරය ඉවහල් වෙනවා. රිය අනතුරු වලින් කම්පන තත්ත්වයන්ට පත්වූවන්ගේ ආබාධ පරීක්ෂා කරන්නට මෙන්ම ලේ පිළිකා සහ පෙනහැලි, වකුගඩු, අග්න්‍යාශ, ඩිම්බ කෝෂ ආදියේ ඇතිවන පිළිකා නිශ්චිතව හඳුනාගන්නටත්, පිළිකාවේ ප්‍රමාණය මැනීම, නිශ්චිත ස්ථානය සොයා ගැනීම මෙන්ම එය අවට ඇති අනෙකුත් පටකවලට සාපේක්ෂව වෙන්කර ගනිමින් එහි පැතිරීයාම අවබෝධ කරගන්නට මින් මහඟු පිටිවහලක් ලැබෙනවා.

වකුගඩු අක්‍රිය වීමට හෝ මරණයට පවා හේතුවිය හැකි ධමනි රෝග හඳුනාගැනීමේ දී කැට් ස්කෑන් කිරීම පහසුවෙන් රෝග විනිශ්චය කළ හැකි වෙනවා. පෙනහැලි ආශ්‍රිත රුධිර වාහිනීවල රුධිර කැටිගැසීම හෙවත් පුප්ඵුශීය අවරෝධනය හඳුනාගන්නටත් සීටී ස්කෑනරය භාවිත කරනවා. ඉතා කුඩා අස්ථි කොටස් පවා හොඳින් සිතියම්ගත කිරීමේ හැකියාව තිබෙන නිසා අත්, පා, සහ අනෙකුත් කුඩා අස්ථි කොටස් අධ්‍යයනය කිරීමේදීත් ඒ ආශ්‍රිත පේශි හා රුධිර නාල වැනි සියුම් පටක පවා නිරීක්‍ෂණය කරන්නට පුළුවන්.

රෝගියා සූදානම් විය යුතු ආකාරය

amberusa.com

ස්කෑනරයට පිවිසීම සඳහා රෝගීන්ට සැහැල්ලු, සුව පහසු, සහ බුරුල් ඇඳුමකින් සැරසෙන ලෙස උපදෙස් ලැබෙනවා. බොහෝ අවස්ථාවල දී ගවොමක් වැනි ඇඳුමක් ඇඟලා ගන්නට ලැබෙනවා.

ආභරණ, ඇස් කන්ණාඩි, කෘත්‍රීම දත් කුට්ටම්, කොණ්ඩ කටු ආදී ලෝහමය දෑ CT ඡායාරූපකරණයට බාධා ගෙන දෙන බැවින් පිවිසුමට ප්‍රථම ඉවත් කළ යුතු යි. රෝගියා කන් නොඇසීම සඳහා භාවිත කරන උපකරණ හෝ ඉවත් කළ හැකි දන්තමය සැකසුම් පැළඳ සිටිනවා නම් ඒවා ගලවන ලෙස උපදෙස් ලැබෙනවා. යට ඇඳුම්වල ලෝහමය කොටස් ඇත්නම් එම ඇඳුම් ද ඉවත් කිරීමට සිදුවන අතර කරාබු වැනි පැළඳීම් සිරුරේ තිබෙනවා නම් ඒවා ද ඉවත් කළ යුතු වෙනවා.

විශේෂ වර්ණක (contrast material) යොදා පරිලෝකනය කරන අවස්ථාවල දී පර්යේෂණයට පිවිසෙන්නට පැය කිහිපයකට ප්‍රථමව සිට කිසිවක් ආහාරයට ගන්නට හෝ පානය නොකරන්නට උපදෙස් ලැබෙනවා. රෝගියාට මේ වන විට කිසියම් ඖෂධයකට, ඩයි වර්ගයකට අසාත්මිකතාවයක් තිබුණා නම් ඒ බව මෙම අවස්ථාවේ දී වෛද්‍යවරයා හෝ උපකරණ මෙහෙයවන්නාව දැනුවත් කළ යුතු යි. එවිට ස්ටෙරොයිඩ වැනි ඖෂධයක් රෝගියාට නියම කළ හැකි යි. මෙම ඖෂධ පර්යේෂණයට පැය 12කට පමණ පෙර ලබාගත යුතු අතර පර්යේෂණය සිදුකරන වේලාවෙහි වෙනස්වීම් සම්බන්ධව එහි දී කල්පනාකාරී විය යුතු වෙනවා.

මෑතකදී තිබූ රෝග තත්ත්ව, විශේෂයෙන් හෘද රෝග, ඇදුම, දියවැඩියාව, වකුගඩු, හෝ තයිරොයිඩ් ආශ්‍රිත රෝග පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීමෙන් පර්යේෂණය හරහා ඇතිවන බලපෑම් වළක්වා ගත හැකියි. ගැබිණි තත්ත්වයේ මුල් සමය ගත කරන කාන්තාවන් ඒ ගැන වෛද්‍යවරයා සහ උපකරණ මෙහෙයවන්නා දැනුවත් කිරීම සුදුසුයි.

ක්‍රියාත්මක වන ආකාරය

amberusa.com

X-කිරණ එල්ලවන විට ශරීරාංග විවිධ මාත්‍රා වලින් ඒවා අවශෝෂණය කර ගන්නවා. මෙම වෙනස නිසා ලබා ගැනෙන ඡායාරූපයේ අපිට එම අංග වෙන් වෙන්ව දකින්නට හැකියාව ලැබෙනවා. සාමාන්‍ය X-කිරණ පර්යේෂණයක දී සිදුවන්නේ ශරීරය හරහා ඉලෙක්ට්‍රොනික ඡායාරූපගත කිරීමේ තනි පැනලයක් මතට X-කිරණ යොමු කිරීම යි. එවිට අස්ථි සුදු පැහැයෙනුත්, ඉන්ද්‍රීයයන් ඒවායේ ඝනකම අනුව අළු පැහැයන්ගෙනුත් වාත අවකාශ කළු පැහැයෙනුත් ඡායාරූපගත වෙනවා.

නමුත් CT පරිලෝකනයේ දී විවිධ සංඛ්‍යාවක කිරණ ධාරාවන් සහ සංවේදක පැනල කය වටා සිටිමින් සෑම කිරණයක්ම ලබා ගනිමින් ඒවා කය විසින් අවශෝෂණය කරගත් ප්‍රමාණ මැනගන්නවා. පර්යේෂණයේ සහ උපකරණයේ ස්වභාවය අනුව ඇතැම් විට රෝගියා සිටින මේසය හෝ ඒ වටා ඇති උපකරණ කවය චලනය වන අතර X-කිරණ ද වෘත්තාකාර මාර්ගයක චලනය වෙනවා. එහිදී විශේෂ පරිගණක වැඩසටනක් විසින් මේ සියළු දත්ත විශ්ලේෂණය කරමින් තල රූප ජනනය කර මොනිටරය මත පෙන්වනවා. එහිදී CT ඡායාරූපකරණය පාන් ගෙඩියක් පෙති කපා එදෙස බලන්නාක් මෙන් වන අතර පසුව සියළු තලරූප එක්කොට දේහ අභ්‍යන්තරය පිළිබඳ ත්‍රිමාණ ආකෘතියක් ගොඩනගා දෙනවා.

විශේෂ පටක දැකගැනීමට අවශ්‍ය වන අවස්ථාවන්හි දී ඒවා වර්ණ ගැන්වීමට රෝගියාට වර්ණක එන්නත් කරනු ලබනවා. එසේම මෙම ඡායාරූප ගැනීමේ දී රෝගියා නිශ්චලව සිටිය යුතු වන අතර කුඩා දරුවන් ස්කෑන් කිරීමේ දී බොහෝවිට සිහි මූර්ඡා කරන්නට ද සිදු වෙනවා. නූතන CT scanner යන්ත්‍ර අඩු කාලයක් ගත කරමින් ක්‍රියාවලිය අවසන් කරන්නට සමර්ථ වීම නිසා ඉතා කුඩා දරුවන්ගේ මෙන්ම දැඩි අපහසුතාවන්ගෙන් පෙළෙන රෝගීන්ට පවා කිසිදු අපහසුවකින් තොරව තම සිරුර පරිලෝකනය කරගන්නට හැකියාව ලැබීම විශේෂත්වයක්.

මූලාශ්‍ර: medicalnewstoday.com, radiologyinfo.org, amberusa.com

කවරයේ ඡායාරූපය: ytimg.com

Related Articles