වසරේ තාක්ෂණය තීරණය කරන CES 2018හි හොඳම නිපැයුම්

වාර්ෂික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් ප්‍රදර්ශනය මේ වසර සඳහාත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි ජනවාරි 9 සිට 12 වැනිදා දක්වා පැවැත්වුණා. මෙම අවස්ථාව සඳහා විවිධ සමාගම් සහ නිර්මාණකරුවන් ද වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත තමන්ගේ නවතම ඉලෙක්ට්‍රොනික නිර්මාණ ප්‍රදර්ශනය කළා. එය අවසානයේ හොඳම නිර්මාණ තෝරාපත් කර ගැනීමක් ද සිදුවන අතර එසේ ජයග්‍රහණය කරන ලද ඒවා සහ දකින්නට ලැබුණු හොඳම කිහිපයකුයි මේ.

තිරය සමගම Fingerprint Sensorය ගෙන ආ Vivo දුරකථනය

cbsistatic.com

මුහුණත පුරාම තිරය ඇති ෆුල් වීව් ඩිස්ප්ලේ දුරකථන හරහා ස්මාර්ට් දුරකථන කලාවේ නවමු පෙරළියක් ගිය වසර අගභාගයේ ගෙන ඒමත් සමඟම, බොහෝ දුරකථන සමාගම් වලට තම ඇඟිලි සලකුණු සංවේදකය දුරකථනය පසුපසට යොදන්නට සිදු වුණා. නමුත් Synaptics සමාගම හඳුන්වාදුන් optical sensor එක දුරකථන තිරයට වහාම යටින් සිටිමින් OLED තිත් අතර ඇතිවන හිඩැස් හරහා ඇඟිලි සලකුණු හඳුනාගන්නට හැකියාව තිබුණා. මෙය යොදා ගනිමින් Vivo සමාගම දුරකථනයක් ද නිපදවනු ලැබූ අතර එය CES 2018හිදී ප්‍රදර්ශනයට තබා තිබුණේ අනාගත දුරකථන මාදිලි ගැන සුබ සිහින මවමින්.

VRවලින් බලගැන්වූ Gym එකක්

sporttechie.com

මේ වසරේ හොඳම නව ව්‍යාපාරයක් ලෙස දකින්නට ලැබුණේ Black Box VR නමැති අමුතු අදහසක් ගෙන ආ ආයතනයක්. ඔවුන්ගේ අරමුණ වන්නේ අතථ්‍ය තථතාව (VR) මගින් බලගැන්වූ කාය වර්ධන මධ්‍යස්ථානයක් බිහි කිරීමයි. මේ සඳහා ඔවුන් HTC Vive හිස් පැළඳුම්, චලන සංවේදක සහ විශේෂිත කාය වර්ධන උපකරණ උපයෝගී කරගෙන ව්‍යායාම් කිරීම පරිගණක ක්‍රීඩාවක් බවට පත් කරවනවා. සැන් ෆ්‍රැන්සිස්කෝවේ අරඹන්නට නියමිත මේ Gym එකේ සාමාජිකයන්ට එකිනෙකා සමඟ තරඟ කරමින් Leaderboard එකක වැඩි ලකුණු ලබාගෙන ප්‍රථමයා බවට පත්වීම සඳහා උනන්දු කරවනවා. ඒ වගේම තමා දහනය කරන කැලරි ප්‍රමාණ ආදී විස්තර රැසක් ද VR හෙඩ්සෙට් එක හරහා දැක ගන්නට ලැබෙනවා.

පිළිකා දරුවන්ගේ තනියට Aflac Duck

හුරතල් කරන්නට හැදූ සාම්ප්‍රදායික සෙල්ලම් බඩුවලට CESහිදී තැනක් නැතත් මේ My Special Aflac Duck නිෂ්පාදනය ‘Tech For A Better World’ සම්මානය හිමිවුණා. පිළිකා රෝගී දරුවන් හරහා අත්හදා බැලුණු මේ තාරාවා විවිධ හැඟීම් වලට අනුකූලව ප්‍රතිචාර දක්වන අතර හිස සහ ඇඟ අතගාද්දී ඊට ප්‍රතිචාර දක්වන්නට ද සමත් වෙනවා. මෙය සමඟ ලැබෙන ඉමෝජි සහිත NFC කාඩ්පත් තාරාවාගේ පපු ප්‍රදේශයට තැබූ විට ඊට අදාලව තම හැඟීම් වෙනස්කරගන්න ඊට පුළුවන්. මේ හරහා තමන්ගේ තනිකම නැති කරගන්නට සහ සිතේ ඇති කනස්සල්ල නැති කරගන්නට ඔවුන්ට හැකියාව ලැබෙන අතර ඇමරිකාවේ පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් නොමිලේම මෙම නිෂ්පාදනය ලබා දෙන්නට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඉවතලන ඉලෙක්ට්‍රොනික් උපාංගවලින් තැනෙන ස්වර්ණාභරණ

DELL

ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය වැඩිවීමත් සමඟ e-waste හෙවත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණයද වැඩි වුණා. මේ නිසා බොහෝ සමාගම් තමා හරහාම ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා සේවාවන් වෙනත් රටවල අරඹන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් DELL සමාගමත් Nikki Reed නමැති ඇමරිකානු නිළිය සතු ස්වර්ණාභරණ ව්‍යාපාරය හා එක්ව ප්‍රතිචක්‍රීකරණයෙන් තම නිෂ්පාදනවල ඇති රත්‍රං ඉවත්කරගෙන ඒවායෙන් කැරට් 14 සහ 18 ස්වර්ණාභරණ නිපදවන බවට CES 2018හිදී පෙන්වා දුන්නා.

අයිබෝ සුනඛ රොබෝවා

“කෘත්‍රීම බුද්ධිය හිස ඔසවමින් තිබෙන අවධියක අවුරුදු 12කට පසු Sony සමාගම නැවතත් නවතම (රොබෝ) නිෂ්පාදනයක් ඉදිරිපත් කරන බවට තොරතුරු හෙළි වුණා.” එලෙසයි අපි මේ පුවත කණ වැකුණු ගමන් පෙර ලිපියකින් අයිබෝ රොබෝවා ගැන ඔබ වෙත ගෙන ආවේ. එලෙස නිපැයුණු කෘත්‍රීම බුද්ධියෙන් සන්නද්ධ මේ රොබෝවා සාමාන්‍ය සුනඛයකු ලෙසින්ම කටයුතු කරන මොහුට OLED තිර දෙකකින් යුතු දෑසක් ද සවි කර තිබෙනවා. WiFi, LTE සබඳතාවන් වගේම නිවසේ ආරක්ෂක කැමරාවක් ලෙසක් යොදාගත හැකි මේ නිපැයුම සාම්ප්‍රදායික මනුෂ්‍යාකාර රොබෝ කලාවෙන් ඔබ්බට යමින් රොබෝ සුරතලුන් නිවසට ගෙන ඒම සඳහාවූ සෝනි සමාගමේ පියවර අලුත් කරනු ලැබුවා.

කවරයේ ඡායාරූපය: cnet.com

Related Articles