Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුද්ධයට කඩුවක් නොව ලැප්ටොප් එකක් – Dell Latitude 7424 Rugged Extreme

Laptop වෙළඳපොළෙහි අප එදිනෙදා පාවිච්චි කරන සාමාන්‍ය ලැප්ටොප්වලට වඩා වැඩි සවිමත් බවකින් යුත් විශේෂ නිෂ්පාදන තිබෙනවා. Rugged (රළු කරන ලද) ලෙස හඳුන්වන මේවා කර්කෂ පරිසරවල වැඩ කරන අයට සකසා තිබෙන අතර එය ද fully rugged, semi-rugged, සහ business-rugged ලෙස තෙකොටසකට බෙදෙනවා. මෙම නිෂ්පාදන එදිනෙදා දකින වෙළඳ දැන්වීම්වලවත් දකින්නට ලැබෙනවා අඩුයි. මේවායේ මිලත් බොහොම වැඩියි.

Dell සමාගම අලුතින් හඳුන්වාදෙන Latitude 7424 ලැප්ටොප් එක අඩි 6ක් ඉහළ සිට වැටුණත් කිසිදු හානියක් සිදු නොවන පරිදි සකසා තිබෙනවා. එනිසා සංවර්ධන වැඩ බිම්, යුද්ධ හමුදා කටයුතු, රළු පරිසරයන්හි සංචාරය කරන අයට මෙය වඩාත් උචිත වෙනවා.

බාහිර පෙනුම

විවිධ පැතිවලින් පෙනෙන ආකාරය (mashable.com)

බැලු බැල්මට Latitude 7424 හරියට ලොකු කොන්ක්‍රීට් ලෑල්ලක් වගේ යි. නොදිලිසෙන කළු පැහැති මැග්නීසියම් මිශ්‍ර ලෝහවලින් සහ ප්ලාස්ටික් යොදා ගෙන වැඩි කොටසක් නිපදවා ඇති මෙම ලැප්ටොප් එක කිලෝ ග්‍රෑම් 3.8ක බරින් යුක්ත යි. ඉදිරිපසින් ඇති handle එක නිසා සාමාන්‍ය ලැප්ටොප් එකක් මෙන් බෑගයක් නොමැතිවම briefcase එකක් මෙන් අල්ලාගෙන යා හැකියි. චාර්ජ් කිරීමට ඇති AC adapter එක ද බොහොම විශාල නමුත් කර්කෂ පරිසරයක චාර්ජරය ඵලක් නොවන නිසා briefcase ආකාරයේ සැකැස්ම ඒ අනුව මෙය ගෙනයාම පහසු කරවනවා.

සෑම මුල්ලක්ම රබර්වලින් සැකසූ නෙරුම් (bumper)වලින් සකසා ඇති අතර සෑම port එකක්ම lock කළ හැකි දොරවල්වලින් ආවරණය කර තිබෙනවා. ඉදිරිපස අගුල මත තද කර තිරය සහිත පියන විවෘත කරන්නට පුළුවන්. තිරය ඉහළින් ඇති කැමරාවට Privacy shutter එකක් යොදා තිබෙන නිසා භාවිතා නොකරන අවස්ථාවේ දී ආවරණය කරන්නට පුළුවන්.

සම්බන්ධක

පසුපස සහ දකුණු පස පෙනුම (anandtech.com)

ලැප්ටොප් එකෙහි වම් පස USB 3.0 port දෙකක්, හෙඩ්ෆෝන් ජැක් එකක් සහ එක් USB 3.0 Type-C port එකක් අඩංගු වෙනවා. දකුණු පස තවත් USB 3.0 port එකක්, SD card reader එකක්, Blue-Ray writer එකක් සහ ඉවත් කළ හැකි PCI Express හා SATA storage කවුළු තිබෙනවා. ඒ අතරෙහි Stylus එක රඳවා ඇති අතර, SIM කාඩ් කවුළුවක් ද (Dongle එකක් නොමැතිව අන්තර්ජාලයට පිවිසීමට) යොදා තිබෙනවා.

පසුපසින් Ethernet port දෙකක්, HDMI හා VGA port එක බැගින්, Serial port එකක්, Lock කිරීමට කවුළුවක් සහ විදුලි සැපයුම තිබෙනවා.

තිරය

නැවිය හැකි තිරය (windowscentral.com)

අඟල් 14 ප්‍රමාණයේ තිරයක් මෙහි අන්තර්ගත වන අතර එය Touch කරන්නටත් පුළුවන්. අත්මේස් දමා සිටින අවස්ථාවක වුව පාවිච්චි කළ හැකි ආකාරයට සකසා ඇති නිසා මෙහි නූතන දුරකතන තිරවල මෙන් Capacitive touch එකක් නැහැ. මුල් කාලීන Touch දුරකතනවල වගේ තිරය මත ඇඟිල්ල තබා තද කළ විට පැනල දෙකක් එකිනෙක ස්පර්ශ වීමෙන් ක්‍රියාත්මක වන resistive touch එකක් තිබෙන නිසා ටිකක් තදින් touch කරනනට සිදු වෙනවා.

සාමාන්‍ය භාවිතයේ දී Touch කිරීමට ඇඟිලි වෙනුවට Stylus එක පාවිච්චි කරන එක පහසු යි. තිරය, එහි දාරයෙන් වෙන් කොට අංශක 360ක් දක්වා නවන්නට පුළුවන් නිසා කීබෝඩ් එක මත තබාගෙන ටැබ් එකක් ලෙස ද පාවිච්චි කරන්නට හැකියි

1080p හෙවත් Full HD තිරයක් නිසා එය වඩාත් සුපැහැදිලි දසුන් මවනවා. දෙපසින් බැලීමේ දී වැඩි කෝණ පරාසයක් දක්වා වර්ණ වෙනස් නොවන අතර, තිරය ඉහළ ගුණාත්මක බවකින් යුත් වර්ණ ගෙන එනවා. 1,000 nits අගයක Brightness තිබෙන නිසා එළිමහනේ වුවත් පාවිච්චි කරන්නට පුළුවන්. එම අගය දැනට ඇති Macbook Pro සහ HP workstation පරිගණකවලටත් වඩා වැඩි යි.

යතුරුපුවරුව සහ Touch pad එක

වෙනස් යතුරු පුවරුවක් සහ ඉදිරිපස හැඬලය (expertreviews.co.uk)

මෙහි ඇත්තේ backlit යතුරු නිසා කළුවර අවස්ථාවක දී වුණත් Keys දැකගන්නට පුළුවන්. මෙය සාමාන්‍ය අඟල් 14 ලැප්ටොප් එකකට වඩා වෙනස්, විකාර රූපී යතුරු පුවරු සැකැස්මක් දරනවා. ඉහළ තීරය ESC සහ F යතුරුත්, Print Screen, Insert හා Delete යතුරුවලින් සමන්විත වෙනවා. Home සහ End යතුරු Fn සමග භාවිතයට Arrow keysවලටම යොදා තිබෙනවා.

Up Arrow key එක දෙපස ඇති ඉඩට Page Up සහ Page Down යතුරු යොදා තිබීම අමුතු යි. අනෙක් Arrow keys තිබෙන පේලිය Space bar එකට වඩා යටින් තිබෙන අතර ඒ සමග විශාල ඇණ 4ක් දැකගත හැකියි. ලැප්ටොප් එක ඉදිරියෙන් ඇති handle එක නිසා කීබෝඩ් එකට ඇති දුර වැඩි වන නිසා පාවිච්චි කිරීමේදී හුරු වනතුරු එය කරදරයක් විය හැකියි.

ඊට පහළින් Touch pad එක ඇති අතර මැද මහත දාරයකට පසු Click කිරීමේ බොත්තම් දෙක යොදා තිබෙනවා. මෙම Touch pad එක ද අත්වැසුම් සමග වුව පාවිච්චි කළ හැකි සේ සකසා ඇති නිසා සාමාන්‍ය ලැප්ටොප් එකක මෙන් සුමුදුව ස්පර්ශ කරමින් භාවිතා කරන්නට බැහැ. ක්ලික් කිරීමේ දී tap කරනවාට වඩා Button click කිරීම පහසු යි. නිවසේ දී පාවිච්චි කරනවා නම් බාහිර මූසිකයක් භාවිතය ඊටත් වඩා පහසු වන නමුත් Touch screen එකක් තිබෙන නිසා මෙය එතරම් ම ගැටළුවක් වන එකක් නැහැ.

පද්ධති හැකියාවන් සහ අනෙකුත් විශේෂාංග

සමස්ත පෙනුම (anandtech.com)

මිල අනුව මාදිලි කිහිපයකින් ඇති මෙහි $3,499 (රු. ලක්ෂ 6ක් පමණ) මාදිලිය 7th Generation Intel Core i3 ප්‍රොසෙසරයකින්, 8GB RAM එකකින් සහ 128GB SSD ධාරිතාවකින් සමන්විත වෙනවා. $5,124 (රු. ලක්ෂ 9ක් පමණ) වන මාදිලිය 8th Generation, 1.9GHz (Turbo අවස්ථාවේදී 4.2GHz දක්වා) Core i7 ප්‍රොසෙසරයක්, 16GB RAM එකක්, 512GB NVMe SSD ධාරිතාවක් සමග AMD Radeon RX 540 ග්‍රැෆික්පතක් ද තිබෙනවා. 32GB RAM එකක් සහ 3TB SDD එකක් දක්වා මෙය මිල දී ගැනීමේ දී අවශ්‍ය පරිදි සකසා ගත හැකියි.

මෙහි ඇති webcam එක 720p face-recognition හැකියාවෙන් ද යුතු නිසා Windows Hello ආරක්ෂණ පද්ධතිය සමග පාවිච්චි කළ හැකියි. එවිට පාස්වර්ඩ් වෙනුවට Face unlock කරන්නට පුළුවන්. ඊට අමතරව Touchpad එකට දකුණු පසින් Fingerprint Scanner එකක් ද තිබෙනවා. IP65 අගය ලබා ඇති මෙය දූවිලිවලට සහ පීඩනයට ලක් කළ ජලයට පවා ඔරොත්තු දෙනවා. අඩි 6ක් සිට වැටීම්වලට ද ඔරොත්තු දෙන නිසා ඕනෑම පරිසරයක භාවිතයට යොදා ගන්නට හැකියාව තිබෙනවා.

ඉතාම වටිනා කාර්යයාලීය දත්ත ගබඩා කිරීමට, ගොඩනැගිලි සංවර්ධන භූමියක වැඩට, පොලිස් හෝ යුද්ධ හමුදා කටයුත්තකට වැනි ඉහළ පෙළේ අවශ්‍යතාවන්ට ගැලපෙන මේ ලැප්ටොප් එක ගෙදර සාමාන්‍ය පාවිච්චිය සඳහා නම් නොවේ.

කවරය: neow.in

Related Articles