Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Fitness Tracker එකක් මිල දී ගන්නේ කොහොම ද?

ශරීර සුවතාව ගැන සිතන කෙනෙක්ට තමන් කොච්චර ප්‍රමාණයක් ඇවිද්දා ද, දිව්වා ද, කොච්චර කාලයක් workout කළා ද, කැලරි දහනය කළා ද කියලා දැනගන්න අත්‍යවශ්‍ය වෙනවා. හිතුමතේ ව්‍යායාම කරනවාට වඩා කැලරි දහනය නිසි ආකාරයට සිදුවන සේ ව්‍යායාම කරන්නට එවිට අවස්ථාව ලැබෙනවා. නමුත් වෙළඳපොළේ විවිධ මිල ගණන්වලට විවිධ මාදිලිවලින් තිබෙන ඒවායෙන් එකක් තෝරාගැනීමේ දී සැලකිලිමත් විය යුතු දේවල් බොහොමයක් තිබෙනවා.

Fitness tracker එකක් අවශ්‍ය ඇයි?

wareable.com

රැල්ලට යමින් Fitness tracker එකකට මුදල් වෙන් කරන්න කලින් ඇත්තටම එය තමන්ට අත්‍යවශ්‍ය ද කියා සොයා බැලිය යුතු වෙනවා.

ඇවිදීම, දිවීම වැනි ව්‍යායාම කරද්දී දුරකථනය හරහා step count එක බලාගන්න පුළුවන්. දුරකථනය සමගම එවන් ඇප් එකක් ලැබී නැත්නම් Google Fit හෝ Apple Health ස්ථාපනය කරගත් විට පහසුවෙන්ම එම දත්ත දැකබලා ගන්නට පුළුවන්. නමුත් ව්‍යායාම කරද්දී දුරකථනයේ විශාලත්වය නිසා එය සාක්කුවේ හෝ වැලමිටට ඉහළින් රැඳවුමක් හරහා තබා ගැනීම අපහසු නම් ඒ වෙනුවට Fitness tracker එකක් බොහොම පහසුවක් වෙනවා.

wtvox.com

සුවිසල් මුහුණතක් තිබෙන ඔරලෝසුවක් අත පැළඳීම විලාසිතාවක් වුවත් ඔබට ඔරලෝසුවක් අවශ්‍ය වන්නේ වෙලාව බලා ගැනීමට පමණක් නම් තාක්ෂණයේ නාමයෙන් ඒ මිලටම වැඩි හැකියාවන් තිබෙන Fitness tracker එකක් පාවිච්චි කරන්න පුළුවන්. එමඟින් ශරීර සුවතාව පමණක් නොව, දුරකථනයට ඇමතුම්, මැසේජ් හෝ අනෙකුත් (Facebook ආදී) notifications ආ විට ඒ ගැන දැනුම් දීම, දුරකථනය අමතක වී ගිය විටක දී ඒ බව හැඟවීම වැනි තවත් පහසුකම් රැසක් ගෙන එන නිසා සාම්ප්‍රදායික ඔරලෝසුවකට වඩා වැඩ ගොඩක් ඉන් කරගන්නට පුළුවන්. හොඳ Smart watch එකක් තිස් දහස ඉක්මවද්දී, සමාන්‍යයෙන් හොඳ fitness tracker එකක් මේ පහසුකම් ද සමග රුපියල් පන්දහසකට පමණ මිල දී ගන්න පුළුවන්. අඩු මිලකට වැඩි පහසුකම් ප්‍රමාණයක් ලැබීම ආර්ථික වාසියක්.

අවශ්‍යතාව අනුව: ක්ලිප්, මුදු, බ්‍රේස්ලට් සහ ඔරලෝසු

jmir.org

Fitness trackers ආකාර කිහිපයකින් වෙළඳපොළට එනවා. ඒවායෙන් තමාගේ එදිනෙදා චර්යා රටාවට ගැලපෙන ආකාරයේ එකක් තෝරාගත යුතු යි.

ක්ලිප්

fitbit.com

ක්ලිප් ආකාරය ඉතාම කුඩා ප්‍රමාණයේ, අතේ මැණික් කටුවට, වැලමිටට ඉහළින් හෝ කකුලේ වළලුකරට ආසන්නයෙන් මෙය පැළඳ ගන්නට පුළුවන්. කාන්තා විලාසිතාවන්ට ගැලපෙන ආකාරයෙන් සකසන ලද ඒවා ආභරණයක් ලෙස ඇඳුමේ පිටට පෙනෙන්නට හෝ තනපටෙහි පැළඳිය හැකි යි. ඔරලෝසුවක් සහ ෆිට්නස් ට්‍රැකර් එකක් යන දෙකම අවශ්‍ය කෙනෙක්ට අතේ දෙකක් බැඳීමට නොහැකි නිසා ඒ වෙනුවට මෙවැන්නක් පාවිච්චියට ගැනීමට අවස්ථාව තිබෙනවා. නමුත් ප්‍රමාණයේ කුඩා බව නිසා අස්ථාන ගත වීමට, අමතක වීමකින් සේදීමට ලක්වීමට ඉඩ තිබෙනවා. මේවායේ දර්ශන තිරයක් (display) නොමැති නිසා සම්පූර්ණයෙන්ම දුරකථනය මත යැපෙනවා. ව්‍යායාම කරන අතරතුරේ බැලීමට අවශ්‍යතාවක් නැත්නම්, පසු අවස්ථාවක එය දුරකථනය සමග bluetooth හරහා දත්ත sync කරගත් පසු බැලීමට හැකි නිසා එය නම් ගැටලුවක් වන්නේ නැහැ.

මුදු

shizlist.com

මැණික් කටුව ආසන්නයෙහි කිසිවක් පැළඳ සිටීමේ දී පරිගණක භාවිතයට අපහසුතා ඇති විය හැකි නිසා මුද්දක් ලෙස සැකසූ උපාංග මාදිලිය ඇඟිල්ලෙහි පැළඳ ගැනීමෙන් තමන්ගේ අවශ්‍යතාවය, ආභරණ පිළිබඳ ඇති රුචි අරුචිකම් අනුව එය පාවිච්චි කිරීමට හැකි වෙනවා. මේවා ද දුරකථනයෙහි ස්ථාපිත ඇප් එකක් මත යැපෙනවා. ක්ලිප් එකකට වඩා ශරීරයෙන් ගිලිහී යාමෙන් නැතිවීමේ අවදානමක් නැතත්, නිතර ගැලවීමේ පුරුද්දක් තිබෙනවා නම් තැබූ තැනක අමතක වී යා හැකි යි.

බ්‍රේස්ලට් සහ අනෙකුත් මාදිලි

gazettereview.com

බ්‍රේස්ලට් මාදිලිය ඔරලෝසු මාදිලියට වඩා සිහින් නිසා පැළඳ සිටීම පහසු යි. මේ මාදිලි දෙකෙහිම තිරයක් තිබෙන නිසා ව්‍යායාම කරන අතරතුරේම රැස්වන දත්ත බැලීමට අවස්ථාව තිබෙනවා. එවිට දුරකථනය ළඟ නොතිබුණත් සවිස්තර වාර්තාවක් ඒ හරහා ස්වාධීනව ලබා ගත හැකි යි.‍ සාක්කුවේ ෆෝන් එක තිබිය දී දුරකථන ඇමතුමක්, notification එකක් ආවාම ඒ කුමක්ද කියා band එක හරහාම දැකගන්නත් ඉන් පහසු යි.

අපට පමණක් නොව, සුරතල් සතුන්ගේ ගෙල පැළඳිය හැකි, කරපටි ආකාරයේ Fitness trackers ද දැන් තිබෙනවා.

හෘද ස්පන්දන සහ අනෙකුත් සංවේදක

healthbestreviews.com

ඇතැම් Fitness band සතු ව්‍යායාම පුහුණු කිරීමේ විශේෂාංග පාවිච්චි කරමින් දෙන ලද කාලයක් තුළ ව්‍යායාම කරමින් කැලරි දහන ප්‍රමාණය, හෘද ස්පන්දන අගය, ඇවිදින ලද අඩි ප්‍රමාණය, දුර ප්‍රමාණය ආදී පුළුල් වාර්තාවක් දුරකථනය නොමැතිවම බලාගත හැකි යි. මේ අමතර විශේෂාංග ක්ලිප් සහ මුදු ආකාරයේ ඒවායේ අඩු යි. මන්ද, ඒවා ඇඳුම්වල පැළඳීමෙන් හා ශරීරයේ ගැටෙන ප්‍රමාණය අවම වීමෙන් හෘද ස්පන්දන ආදී දත්ත ලබාගැනීම අපහසු යි. එනිසා වැඩි පහසුකම් අවශ්‍ය නම් බ්‍රේස්ලට් වැනි මාදිලියක් තෝරාගත යුතු වෙනවා.

උපාංගය යට පැත්තෙහි ඇති heart rate සංවේදකය ක්‍රියාතමක වී ඇති ආකාරය (slashgear.com)

හෘද ස්පන්දන සංවේදකය සහිත ඒවායේ තිර මුහුණතට යට පැත්තේ (අත සමග ගැටෙන ප්‍රදේශයේ) විදුලි බුබුළක් තිබෙනවා. බෑන්ඩ් එක ක්‍රියාත්මක වෙද්දී හෘද ස්පන්දනය පරීක්ෂා කරන අවස්ථාවන්හි දී කොළ පැහැයෙන් දැල්වෙනු (මාදිලිය අනුව වර්ණය වෙනස් විය හැකි යි) දකින්නට පුළුවන්. මේ සංවේදකය සහිත බව නිසා band එකේ මිළ ඉහළ යනවා. චීනයේ නිෂ්පාදිත එකක් නම් රුපියල් 3000+ට පමණ සොයා ගන්න පුළුවන්.

GPS තිබෙන band එකක් නම් ෆෝන් එක හා සම්බන්ධ නොවීම කෙතරම් දුර ප්‍රමාණයක් ගමන් කළා ද, කුමන ස්ථානවල දිනය තුළ සැරිසැරුවා ද ආදී විස්තර ද දැකගන්නට පුළුවන්. දිනකට නිදාගන්නා ප්‍රමාණය බලා ගැනීමට අවශ්‍ය නම් Sleep tracker යන පහසුකම band එකේ තිබෙන බවට තහවුරු කර ගත යුතු යි.

තිරයේ පහසුකම් සහ ඇප් එක

gearpatrol.com

අඩු මිලට ගත හැකි චීන Fitness band මිල දී ගනිද්දී එහි තිබෙන විශේෂාංග සහ ඇප් එක ගැන බෙහෙවින් කල්පනාකාරී විය යුතු යි.

ඒවා සමග ලැබෙන බොහෝ ඇප්ස් තියෙන්නෙ චීන භාෂාවෙන්. එවන් අවස්ථාවක දී VeryFit වැනි ඇප් එකක් හරහා ඒවාට සහාය ලබාගන්නට පුළුවන්. මන්ද, මේ trackersවලට සහය දෙන තවත් ඇප්ස් Play / App Store හරහා සොයා ගත හැකි යි. නමුත් නිල වශයෙන් සහය වන ඇප් එක ම හොඳ වර්ගයේ එකක් නම් එය වැඩි පහසුකමක් සහ band එකේ උපරිම ප්‍රයෝජනය ලබාගන්නට උපකාරී වෙනවා.

alicdn.com

තෝරා ගැනීමේ දී Touch පහසුකම සහිත තිරයක් වීම පහසු යි. ඇතැම් ඒවායේ මුළු තිරය වෙනුවට මුහුණතෙහි කුඩා ප්‍රදේශයක පමණක් බොත්තමක් වැනි පෙදෙසක touch කළ හැකි ආකාරයට ද තිබෙනවා. කෙසේ හෝ උපාංගයෙහි ඇති සැකසුම් වෙනස් කරන්නට, ව්‍යායාමය අනුව පුහුණු කිරීමේ modes සක්‍රීය කරන්නට, හෘද ස්පන්දන වැනි විශේෂාංග දුරකථනය නොමැතිවම තිරය හරහා බලාගන්නට හැකි බවට තහවුරු කර ගත යුතු යි.

ප්‍රමාණයෙන් මඳක් විශාල තිරයක් නම් ඇප් එක හරහා එහි මුහුණත වෙනස් කරන්නට, ඔරලෝසුවක් මෙන් සකසා ගන්නට වැනි හැකියාවන් ද ලබා ගත හැකි ඒවා තිබෙනවා. අතෙහි පැළඳි විට තිරයෙහි අකුරු තිබෙන්නේ ඔබේ දිශාවට නම් එය බලා ගන්නට පහසු යි. අකුරු දිස්වන දිශාව (සිරස් හෝ තිරස් ලෙස) සැකසිය හැකි එකක් ද නැද්ද යන්න පරීක්ෂා කිරීම ඉතාම වැදගත්. මන්ද, ඇතැම් ඒවායේ එය වෙනස් කරන්නට නොහැකි නිසා කරදරයක් විය හැකි යි.

චාර්ජ් කිරීමේ පහසුකම

amazon.com

සාමාන්‍යයෙන් අඩු මිල band එකක් වුවත් දින 4ක් පමණ පාවිච්චි කරන්නට පුළුවන්. තමන්ගේ දින චර්යාව අනුව චාර්ජ් කරන්නට වැඩිය ලැබෙන්නේ නැත්නම් බැටරි ආයු කාලය ගැන සැලකිලිමත් විය යුතු යි.

එසේම චාර්ජ් කරන්නට ඇති ක්‍රමවේදය පරීක්ෂා කිරීමත් වැදගත්. ඇතැම් සමාගම් විසින් ඔවුන්ටම ආවේණික චාර්ජරයක් ලබාදෙන නිසා (ජලය ඇතුළුවීම වැළැක්වීමේ උපායක් ලෙස යි එසේ කරන්නේ.) චාර්ජරයට හානි වුවහොත් නැවත එවන් ආකාරයේ එකක් සොයා ගැනීම අපහසු යි. Micro USB හෝ band එක ඍජුවම USB port එකකට සබැඳිය හැකි ආකාරයේ එකක් නම් වඩාත් උචිත යි.

සැලකිලිමත් විය යුතු අනෙකුත් දේවල් ලෙස සවිමත් බව හා කල් පැවැත්ම, අත් පටියේ ගුණාත්මක බව, ජලයට ඔරොත්තු දෙන බව ආදී සාමාන්‍ය ඔරලෝසුවක් මිල දී ගැනීමේ දී බලන දේවල් ම පරීක්ෂා කළ හැකි යි.

කවරයේ ඡායාරූපය: shopify.com

Related Articles