Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලැප්ටොප්වලටත් පිටතින් සවිකළ හැකි External GPU

අඩු මිලකට මිල දී ගත්තු ලැප්ටොප් එකේ හොඳ VGA එකක්, නිවැරදි වචනයෙන් කිව්වොත් GPU එකක් නැත්නම් අලුතෙන් ලැප්ටොප් එකක් ගන්නවා වෙනුවට පිටතින් GPU එකක් සබඳන්න පුළුවන් බව ඔබ දැන සිටියා ද? දැනට තිබෙන ලැප්ටොප් පරිගණකයට ම නව සවිබලයක් ගෙන එන මේ උපාංග ඉන් ක්‍රීඩා කරන්නට නොහැකි ව ඔබ සිහින දුටු පරිගණක ක්‍රීඩා, හොඳ වීඩියෝ අත්දැකීමක් ඇතුළු හැමදේම සැබෑ කරදෙන්නට සමත් වෙනවා. ඒ වගේම ඕනෑම පරිගණකයකට සබැඳිය හැකි නිසා අලුතෙන් ලැප්ටොප් එකක් ගන්නවා නම් එය අඩු මිලකට අරගෙන External GPU එක සම්බන්ධ කරගත්තාම වැඩේ ගොඩ.

නමුත් අවාසනාවකට, බලාපොරොත්තු වන දේවල් සහ ලැබෙන දේවල් අතර වෙනසක් මෙහි තිබෙන්නට පුළුවන්. ඇතැම් විට බොහොම වැදගත් වෙන්නටත් පුළුවන්. අපි External GPU (External Graphics Docks ලෙස ද හඳුන්වනවා) ගැන සොයා බලමු.

මොන වගේ ද සහ කොහොමද වැඩ කරන්නේ?

techpowerup.com

UPS එකක් වැනි, ඊට වඩා මහත අඩු ඍජුකෝණාස්‍රාකාර පෙට්ටියක් බඳු මෙම උපාංග  Thunderbolt හෝ USB Type-C කේබල් හරහා පරිගණකයට සම්බන්ධ කරන්නට පුළුවන්. ආවරණයක් නොමැති ඒවා කුඩා කාඩ් එකක්/ පරිපථයක් බඳු යි. එයට VGA කාඩ් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස, මෙම GPU dock එකක් මිල දී ගැනීමෙන් පසු desktop පරිගණකයේ ඇති VGA එක ලැප්ටොප් එකට මෙය හරහා පාවිච්චියට ගත හැකියි. External GPU යන්න කෙටි කිරීමෙන් මේවා eGPU ලෙස ද හඳුන්වනවා. සාමාන්‍ය කාඩ් එකක් මෙන්ම මෙයට ද Drivers ස්ථාපනය කිරීම සහ නිෂ්පාදකයාගේ අනෙකුත් විශේෂ මෘදුකාංග ස්ථාපනය කර, reboot කිරීමෙන් පසු පාවිච්චියට ගන්න පුළුවන්.

Setup කරගැනීමෙන් පසු පරිගණකය විසින් ග්‍රැෆික් කටයුතු process කිරීමට එම දත්ත පරිගණකය සතු onboard VGA එක වෙනුවට, ඍජුව ම External GPU එකට යවනු ලබනවා. මේ හරහා ග්‍රැෆික්ස් හැකියාව අඩු ලැප්ටොප් එකකට (හෝ desktop පරිගණකයට) සුවිසල් බලයක් එක්වරම ලබාගන්නට හැකියාව ලැබෙනවා. යොදන උපාංගයේ ගුණාත්මක බව අනුව ලැබෙන අත්දැකීම වෙනස් වෙනවා.

පරිගණකයට දැරිය හැකි සීමාවක් තිබෙනවා

External GPU එකක් සමග ද්විතීයික මොනිටරයක් ද සබඳා ඇති ආකාරය. මෙහිදී තවදුරටත් VGA එකෙන් ලැබෙන හැකියා අවපාතයක් තිබෙනවා. (9to5mac.com)

GPU එකක් බාහිරින් සබඳින්නට හැකි වූ පමණින් ම එහි උපරිම ක්‍රියාකාරීත්වය ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පරිගණකය සතු ව ඇති උපාංගවල වෙනස්කම් අනුව සහ එහි පැරණි බව අනුව දත්ත සංසරණයේ උපරිම හැකියාව ලබාගැනීමේ දී ගැටලු ඇති වෙනවා. එය eGPU එකක් පාවිච්චියේ දී ඇති වන අවාසියක් ලෙස සැලකෙනවා.

ප්‍රධානම බාධකය සම්බන්ධ කෙරෙන port එක යි. අද කාලයේ සාමාන්‍ය VGA card එකක් සබැඳෙන PCI Express වැනි සම්බන්ධකවලට වඩා Thunderbolt හෝ USB Type-C එකක වේගය බොහොම අඩු යි. Thunderbolt 3 එකක වුවත් තිබෙන්නේ 32Gbps තරම් දත්ත සංසරණ වේගයක් වන අතර PCI Express හි එය 126Gbps වෙනවා. එසේ ම ද්විතීයික මොනිටරයක් සබැඳීම නිසාත් හැකියා වෙනස්කම් තීරණය (අඩු වීම්) වෙනවා.

එසේ ම පැරණි CPUවලටත් විශාල පරිමාණ දත්ත හුවමාරු කිරීමට, අධි බලැති eGPU එකකට මුහුණ දෙන්නට ඇති හැකියාව බොහොම අඩු යි. මේ නිසාත් eGPU එකේ උපරිම හැකියාව ලබාගැනීමට නොහැකි ව යනවා.

මිල අධිකයි

Dock එකකට VGA card එකක් ඇතුළත් කර ඇති ආකාරය (futurecdn.net)

GPU dock එකක් කියන්නේ හරියට PCI express එකක් විතරක් ඇති motherboard එකක් වගේ යි. ඒවා ඇතැම් පරිගණක මාදිලිවලට පමණක් සහාය දක්වන අවස්ථා තිබෙන අතර එහි මිල පමණක් රුපියල් හයදහසක් පමණ වෙනවා (ඉන් ඉහළටත් තිබෙනවා). එය මිල දී ගැනීමෙන් අනතුරුව ඊට ගැළපෙන VGA එකක් සොයා ගත යුතු වෙනවා. එවිට එයට තවත් විශාල මුදලක් යොදන්නට සිදුවෙනවා.

මෙසේ යොදවන මුදල ඔබේ ලැප්ටොප් පරිගණකයේ මිලටත් එකතු කර බැලූ කල එතරම් හොඳ විසඳුමක් වන්නේ නැහැ. අවශ්‍ය වේගය නොලැබෙන නිසා ම එහි හැකියාවට සාපේක්ෂ ව මූල්‍යමය වටිනාකම ද අවපාත වෙනවා. මේ නිසා අලුතෙන් පරිගණකයක් ගන්නවා නම් Internal GPU එකක් ම තිබෙන එකකට තවත් කුඩා මුදලක් එකතු වීම eGPU එකකට සාපේක්ෂ ව, ආයෝජනයක් බඳු වෙනවා.

Macවලට වැදගත්

youtube.com

ඇපල් සමාගමේ මැක්බුක් පරිගණකවල ඇති ප්‍රධානම ගැටලුවක් නම් එහි ඇති මාදිලිවල සීමා සහිත බව යි. මේ නිසා ම බොහෝ පරිගණක ක්‍රීඩා ලෝලීන් වෙනත් පරිගණක මාදිලි වෙත යොමු වෙනවා. පරිගණක ක්‍රීඩා වුවත් මැක්වලට ඇති ප්‍රමාණය අවම වුවත් ඒවාට සහාය දෙන හොඳ ග්‍රැෆික් ක්‍රීඩා නැතුවා ම නොවෙයි. එසේත් නැත්නම්, වීඩියෝ සංස්කරණ කටයුත්තක් මැක් එකකින් කරන අවස්ථාවක් සලකන්නට පුළුවන්. එවිට පරිගණකය තුළින් ම ලැබෙන සහාය මදි නම් eGPU එකකින් මහත් පිටිවහලක් ලබාගත හැකියි.

ඔබ මැක්වලට ප්‍රිය කරනවා නම් සහ එයින් තමන්ගේ ඉහළ ග්‍රැෆික්ස් අවශ්‍යතාවය සපුරා ගන්නට අවශ්‍ය නම් eGPU එකක් සබැඳීමෙන් ලැප්ටොප් එකේ හැකියාව ඉහළ නංවා ගන්නට අවස්ථාව ලැබෙනවා. එනිසා යොදන VGA card එකේ හැකියාව මඳ වශයෙන් අඩුවීම හා මිල නොසලකා සිටිය හැකි අවස්ථාවන් ද නැතුවා නොවේ. ඔබ සතු ව පාවිච්චි නොකරන හොඳ VGA card එකක් තිබෙනවා නම් සහ GPU එක අඩු ලැප්ටොප් එකක් තිබෙනවා නම්, dock එකකට තව සුළු මුදලක් වැය කිරීමෙන් ඒ VGA එකෙන් වැඩක් ගන්න පුළුවන්.

විවිධ මාදිලි තිබෙනවා

VGA කාඩ් කිහිපයක් සබැඳිය හැකි dock එකක් (gamingfactors.com)

තමන්ගේ අවශ්‍යතාවයට සහ පද්ධතියට (VGA එකට සහ පරිගණකයට) ගැළපෙන ආකාරයට dock එකක් තෝරාගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් නිෂ්පාදක සමාගම් පුළුල් ප්‍රමාණයක නිෂ්පාදන රැසක් වෙළඳපොළට ලබාදී තිබෙන අතර ඒවායේ ද පහසුකම් හා විශේෂාංග අනුව මිල වෙනස්කම් ද රැසක් දකින්නට ලැබෙනවා.

පහසුකම්, විශේෂාංග, හා නිෂ්පාදන ක්‍රමවේද අතින් සැලකීමේ දී ඇතැම් docksවලින් ඊට යොදන VGA එකේ ප්‍රමාණය ස්ථීර සේ සකසා ඇති නිසා ඊට ගැළපෙන VGA එකක් ම තෝරාගත යුතු වෙනවා. ඇතැම්වායේ SATA port එකක් තිබෙන නිසා තවත් HDD හෝ SDD එකක් පරිගණකයට සබැඳීමට සහාය dock එක හරහා ම සපයනවා. Alienware වැනි ඒවායේ ඔවුන්ගේ ම පරිගණකවලට පමණක් සබැඳිය හැකි port යොදා තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතු අතර තවත් docks නිශ්චිත Thunderbolt වර්ගයකට සීමා සහිත වෙනවා.

එනිසා, තමන්ගේ අවශ්‍යතාව සහ දැනට ඔබ සතු පසුබිම අනුව පරිගණකයේ හැකියාව වැඩි කරගන්නට මේ ආකාරයේ උපාංගයකින් සහාය ලබාගන්නට අවස්ථාව සැලසෙන අතර ලැප්ටොප් එකේ හොඳ VGA එකක් නොමැතිකම නිසා පීඩා විඳින්නෙකුටත් මින් මහත් පහසුවක් වෙනවා.

කවරයේ ඡායාරූපය: imore.com

Related Articles