Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 ලෝක මොබයිල් සමුළුවේ දී හඳුන්වාදුන් අපූර්ව දුරකථන

හැමදාම දකින ඒකාකාරී දුරකථන රටාවෙන් පරිබාහිර දුරකථන රැසක් මේ වසරේ Mobile World Congressහි දී එළි දැක්වුණා. එහි දකින්නට ලැබුණු වඩාත් සිත්ගත් ඒවා කිහිපයක් මේ ලිපියේ අඩංගු වෙනවා.

Nubiaහි ස්පෝට්ස් කාරයක් බඳු දුරකථනය

දුරකථන අභ්‍යන්තරයේ ෆෑන් අඩංගු කර ඇති ආකාරය forbes.com

මිල අධික නිෂ්පාදන සඳහා නම් දරන චීනයේ Nubia සමාගම ප්‍රබල ගේමිං හැකියාවෙන් යුත් දුරකථන ආකෘතියක් හඳුන්වා දුන්නා. ලැප්ටොප් මෙන්ම දුරකථන ද වැඩි කාලයක් හෝ වැඩි graphics වලින් යුත් ගේම් එකක් අඩු කාලයක් ක්‍රීඩා කරද්දී රත්වීමට පෙළඹෙනවා. එය උපාංගයේ කල්පැවැත්මට බලපානවා මෙන්ම එය අතේ තබාගෙන සිටීමේදී ද අපහසුතා ඇති කරවනවා. මෙයට ආකාර කිහිපයකින් විසඳුම් ගෙන ඒමට Nubia සමාගම සමත් වෙනවා. මේ දුරකථනයේ ෆෑන් අන්තර්ගත කර තිබෙන අතර ඒවා ආකූලතා (turbulence) පද්ධතියකට අනුරූපව කටයුතු කරනවා. මෙහි ඇති කාබන් නැනෝ සැකැස්ම තාප උත්සර්ජක සමග උපාංගයේ තාපය ඉවතට සන්නයනය කොට පද්ධති සිසිලනය කරන්නේ sports කාරයක මෙන් දුරකථනයට ලබා දී ඇති බාහිර වායුගතික සැලසුම ද සමඟයි. වසර මධ්‍යයේ වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත මෙයට වැඩි RAM බලයක් සහ නවීන CPU එකක් යොදනු ඇති.

ඇපල් පරදන Ulefone T2 Pro

ytimg.com

චීන Ulefone සමාගම iPhone X දුරකථනයට අභියෝග එල්ල කරන තම T2 Pro දුරකථනය ඉදිරිපත් කරනවා. මෙය සතුව අඟල් 6.7ක සුවිසල් තිරයක් තිබෙන අතර එය iPhone X දුරකථනයටත් වඩා තුනී, පෙනුමෙන් ඉතා සමාන වූ, ඉදිරිපස ඉහළින් කැමරාව සඳහා කවාකාර කොටසක් වෙන් කරන ලද එකක්. තිරය ඉහළ සහ දෙපස වටේ දාරය ඉතාම අඩු නමුත් යට දාරය මදක් මහතින් යුක්තයි. පසුපස 16MP ද්විත්ව කැමරාව iPhoneහි මෙන්ම ඉහළ වම් පසින් නිමවා තිබෙනවා. 4GB RAM එකකින් යුත් මෙය වසරේ දෙවන කාර්තුවේ දී එළිදැක්වීමට නියමිතයි.

සුවිසල් තිරයක් ඇති Vivo Apex

9to5google.com

පසුගිය වසරවල Xiaomi සමාගම දාර රහිත දුරකථන ඉදිරිපත් කළා. එය මේ වසරේ වඩාත් හොඳින් කරන්නට Vivo සමාගමට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන්ගේ නවතම දුරකථනය වන Apexහි දුරකථන මුහුණතේ 95%ක්ම පමණ තිරය තිබෙන නිසා එය අනෙකුත් සියළු Full view display දුරකථන අභිබවා යනවා. තිරය ඉහළ සහ දෙපස දාරය මිලිමීටර් 1.8ක් වන අතර තිරය යට කොටසේ දාරය මිලිමීටර් 4.3ක් පමණයි. මෙයට කිසිදු ගැටළුවකින් තොරව සම්පූර්ණ මුහුණතම භාවිත කිරීමට හැකියාව ලැබීමට එක් හේතුවක් වන්නේ එය ඇඟිලි සලකුණු සංවේදකය සහ ආලෝක තත්ත්ව හඳුනාගන්නා proximity සෙන්සරය තිරයට යටින් යොදන්නට සමත් වීම නිසායි. මෙය ඇතැම්විට දුරකථන ඇමතුම් ගැනීම සඳහා නම් යෝග්‍යවන එකක් නැහැ. මන්ද, එහි මුහුණත ඉහළ ස්පීකරය පිටතට නොමැති නිසා දුරකථනයේ සෑම කොටසකින්ම හඬ නිකුත් වෙනවා. මේ නිසා ඉලක්කගතවූ ශබ්දයක් කණට නොලැබී යාම ඇතැමෙක්ට අපහසුවක් වන්නට පුළුවන්.

පරණ ක්‍රමයට ප්‍රිය කරන අයට Nokia 8110 4G

gadget.ro

පැරණි Nokia දුරකථනවල ඇති සවිමත් බව, වැඩි බැටරි කාලය, භාවිතයේ පහසුව ආදිය නිසා බොහෝ දෙනෙක් ඒවාට තවමත් සිත් බඳිනවා. අලුතින් හඳුන්වාදෙන මෙම 8110 4G දුරකථනයත් පැරණි දුරකථනයක් මෙන්ම පෙනුමෙන් ද යුතුයි. කීපෑඩ් එකක්, එය ආවරණය වන කොටසක්, කුඩා තිරයක් ඇති මෙය ස්ථාවර දුරකථනයක (land phone) ඇති හෑන්ඩ්සෙට් එක මෙන්ම ආනති හැඩයකින් යුක්තයි. වරක් ආරෝපණයකින් පසු දින 25ක් දක්වා standby තබාගත හැකි මෙය පැරණි, ජනප්‍රිය ක්‍රීඩාවක් වන Snake ද පෙරනිමියෙන් ස්ථාපනය කොට එවනවා. 512MB වූ RAM ධාරිතාවක් මෙන්ම ගිගාබයිට් 4ක අභ්‍යන්තර ධාරිතාවක් මෙහි අඩංගුයි. KaiOS නමැති මෙහෙයුම් පද්ධතිය, අඟල් 2.4ක තිරය සහ ෆ්ලෑෂරයක් සහිත 2MP තිරය සහ 4G පහසුකම මේ දුරකථනය අතීතය සහ අනාගතයෙහි අතරමැදි අවස්ථාවේ මාදිලියක් බවට පත් කරවනවා.

අඩු මිලට විශාලව එන Alcatel 1X

mobilesyrup.com

රුපියල් විසිදහසකට පමණ 18:9 ප්‍රමාණයේ තිරයක් අතිවිඳින්නට කැමති නම් අප්‍රේල් මාසයේ නිකුත් වීමට නියමිත Alcatel දුරකථනය ඒ සිහින සැබෑ කරනවා. පසුගියදා Android Go නමින් ගූග්ල් සමාගම ඇරඹි නව ව්‍යාපෘතියත් සමඟ අඩු හැකියාවන්ගෙන් යුත් දුරකථනවල පවා නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධාවනය කළ හැකි පහසුකම ලැබීම නිසා Alcatel සමාගමත් එහි ප්‍රතිලාභය ඍජුව අඩු මිල දුරකථනයක් හරහා පාරිභෝගිකයන්ට ලබා දෙන්නට කටයුතු කරන බවයි පෙනී යන්නේ. Mediatek quad-core චිප් සෙට් එකක් 1.3GHz වේගයකින් යුතුව 1GB වූ RAM ධාරිතාවය සහ 18:9 VGA තිරය හොඳින් බල ගන්වන්නට 2460mAh බැටරිය සමත් වෙනවා. මෙහි ඇති 8MP කැමරාවෙන් ඇල්ගොරිතම හරහා 13MP කැමරාවක මෙන් වූ ගුණාත්මක බවින් යුත් ඡායාරූප ගැනීමට එය සමත් වෙනවා.

කවරයේ ඡායාරූපය: twimg.com

Related Articles