Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණයට ලැදි අය වෙනුවෙන් දිය හැකි රු.2500ට අඩු තෑගි

විවිධ අයට ගැලපෙන ආකාරයට තෑගි තෝරන එක ටිකක් අපහසු කටයුත්තක්. දන්නා කියන කෙනෙක්ට වුවත් ඔවුන් වඩාත් ගැලපෙන ආකාරයේම එකක් තෝරගත්තත් අවසානයේ එහි මිල දැරිය නොහැකි තරම් ඉහළ එකක් බව දුටු විට බලාපොරොත්තු සුන් වෙනවා. සාමාන්‍ය අයට වඩා තාක්ෂණයත් සමඟ නිතර සිටින ඕනෑම වයසක කෙනෙක් අජීවී තෑග්ගකට වඩා, විදුලියෙන් අඩු තරමේ තනි බල්බයක්වත් දැල්වෙන ආකාරයේ තෑගි වලට බොහොම කැමතියි. ඉලෙක්ට්‍රොනික උපාංග බොහොම මිල බව එක්වර හිතුණත් අන්තර්ජාල වෙළඳපොළෙන් ඔබට මේ දේවල් ඕනෑ තරම් අඩු මිලට සොයා ගන්නට පුළුවන්.

මේ ගෙන එන සියළු අයිතම රුපියල් 2500කට අඩුවෙන් ගන්නට පුළුවන් ඒවා වන අතර මෙය වෙළඳ අරමුණකින් ගෙන එනු ලබන ලිපියක් නොවන නිසා ඔබට ඒවා eBay, AliExpress, Amazon වැනි අන්තර්ජාල අලෙවිසල්වල search කිරීමට අවශ්‍ය keywords පමණක් අපි ලබා දෙනු ලබනවා.

පැළඳුම් උපාංග

pocket-lint.com

දුරකථන ස්මාර්ට් වීමත් සමඟ නවතම රැල්ල බවට පත්ව ඇත්තේ අතේ බඳින ඔරලෝසු, බෑන්ඩ් ආදිය ස්මාර්ට් කරලීම යි. ස්මාර්ට් ඔරලෝසුවක් සාමාන්‍යයෙන් තිස් දහස ඉක්මවන නිසා ඊට වඩා අඩු මිලට Fitness tracker band එකක් මිල දී ගත හැකියි. කුඩා දරුවකුට ගන්නවා නම් රුපියල් තුන්දහසට පමණ ද චීන ස්මාර්ට් ඔරලෝසු තිබෙන අතර ස්මාර්ට් දුරකථනය සමඟ බ්ලූටූත් හා සබැඳී ලැබෙන දුරකථන ඇමතුම්, notifications ආදිය පෙන්වන සහ දවසේ ඇවිදින ලද පියවර සහ දුර ප්‍රමාණ, නිදාගත් කාලය ආදී සියල්ල දක්වන Fitness band එකක් තරුණ වයසේ කෙනෙක්ට වුවත් වැදගත් දෙයක් බවට පත්වේවි. රුපියල් 2000-2500 අතර මිලට ගත හැකි මේවා ජලයට ද ඔරොත්තු දෙන ආකාරයෙන් සකසා තිබෙනවා.

සෙවීම සඳහා: ID115 smartband, M2 smart bracelet, smart bluetooth bracelet band

පෙන් ඩ්‍රයිව් සහ SD card

alicdn.com

නූතනයේ බොහෝ දෙනෙක් ඡායාරූපකරණයේ යෙදෙන නිසා SD Card කියන්නේ නැතිවම බැරි දෙයක්. වසර කිහිපයක වගකීමක් සහිතව රු. 1400ට පමණ හෝ රු. 1850කට පමණ Lifetime warrenty ද සහිතව 16GB පමණ ධාරිතාවක Class 10 SD card එකක් මිල දී ගන්නට පුළුවන්. කුඩා දරුවන් වෙනුවෙන් කාර් වැනි සෙල්ලම් බඩු ආකෘති, චොක්ලට් කැබලි, කුඩා සතුන්, ස්පයිඩර්මෑන් ආදී සුපිරි වීරයන්ගේ හැඩය සහිත විසිතුරු ආකාරයේ පෙන් ඩ්‍රයිව් ද රුපියල් පන්සියයකට පමණ ලබා ගන්නට පුළුවන්.

සෙවීමට: 16gb class 10 sd card, pendrives kids

කාන්දම් මත දිවෙන ලෝක ගෝලයක්

newfrog.com

වයස් භේදයකින් තොරව මේසය සැරසීම සඳහා ලෝක ගෝල ආකෘතියක් භාවිත කිරීම අතීතයේ සිට පැවත එන පුරුද්දක්. නමුත් සාම්ප්‍රදායික ප්ලාස්ටික් කැබැල්ලක දෙකෙළවරට ඇමිණූ ගෝලයක් වෙනුවට කාන්දම් බලයෙන් නිදහස් අවකාශයේ කැරකෙන ලෝකගෝලයක් මේසය මත තබා ගැනීම ඕනෑම කෙනෙක්ට නවමු අත්දැකීමක් බවට පත් වේවි. මෙවැන්නක් රු. 1500 – 2000 අතර මිල ප්‍රමාණයකට මිල දී ගත හැකියි.

මෙසේ search කරන්න: C shape LED decor magnetic levitation Globe

හෙඩ්සෙට් එකක්

audio-technica.com

බස් එකේ කෝච්චියේ යන ගමන් මෙන්ම බාහිර ලෝකයෙන් මිදෙන්න හෝ මිදී ඉන්න බව පෙන්වන්න සින්දු අහන එක හැම කෙනෙක්ම පාහේ කරනවා. දුරකථනයත් එක්කම හෙඩ් සෙට් එකක් ලැබුණත් ඒක යන යන තැන අරන් යන්නට සිදුවන අතර එකක් වැඩිපුර බෑග් එකේම තියාගන්නට පුළුවන් නම් එය මහත් පහසුවක් වෙනවා. මේ නිසා සින්දු අහන්න ප්‍රිය කරන කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග බවට මෙය පත් වන අතර රු. 300 පමණ සිට 2500 දක්වාම විවිධ මාදිලි වලින් සහ ශබ්ද ගුණාත්මක බව අනුව හෙඩ්සෙට් තෝරාගන්නට පුළුවන්. බාල බ්ලූටූත් හෙඩ්සෙට් එකක් රුපියල් 2500ට වඩා මඳක් වැඩි විය හැකි අතර වයර් දෙක සහිත කුඩා ප්‍රමාණයේ In Ear headphone එකක් රුපියල් 1500කටත් අඩුවෙන්, සැලකිය යුතු ශබ්ද ගුණාත්මක බවක් සහිතව මිල දී ගන්නට පුළුවන්.

Search කිරීමට: 3.5mm In-Ear Earphones Stereo Earbuds Headphone Headset, bluetooth stereo sports headset

Tab රඳවනයක්

pinimg.com

ලැප්ටොප් එක වෙනුවට ටැබ් එකක් පාවිච්චි කරන කෙනෙක්ට එය භාවිතයෙන් ෆිල්ම් බලන එක ටිකක් අපහසු කර්තව්‍යයක්. ප්‍රමාණයෙන් විශාල ටැබ් එක වැඩි කාලයක් අතේ තබාගෙන සිටින විට වේදනාවන් ඇති වෙනවා. විශේෂයෙන් ඇඳෙ ඉඳගෙන බලනවා නම් එය හෝල්ඩරයක් තබා කැමති ලෙස හාන්සි වී සිටින්නට පුළුවන් නම් එය මහත් පහසුවක් වෙනවා. රු. 780කට පමණ මිල දී ගත හැකි ටැබ් හෝල්ඩර් ඇඳ විට්ටමේ හෝ මේස කෙළවරේ සවිකොට, අවශ්‍ය පරිදි එහි ඇල්වුම් කොටස තමා සිටින ස්ථානයට ගෙන අවශ්‍ය අංශක ගණනකින් කරකවා, ඉතාම පහසු සේ සකසා ගත හැකි නිසා ඕනෑම කෙනෙක්ට එය වැදගත් තෑග්ගක් බවට පත් වෙනවා.

මෙලෙස search කරන්න: Tablet universal arm lazy holder mount

VR Headset එකක්

tqn.com

Virtual Reality හරහා පරිගණක ක්‍රීඩා, ෆිල්ම් බලන එක මේ දවස්වල බොහොම ජනප්‍රිය දෙයක්. ස්මාර්ට්ෆෝන් එක දාන්න පුළුවන් වර්ගයේ headset බොහොම අඩු මිල ඉඳලා ගන්නට පුළුවන්. කාඩ්බෝඩ් වලින් හදපු ඒවා මෙන්ම රු. 1800කට පමණ ප්ලාස්ටික් වලින් සැකසූ, කාච එහා මෙහා කළ හැකි සහ දුරකථන තිරය පාලනය කළ හැකි පහසුකම් ද සහිත එකක් මිල දී ගත හැකියි. මෙවැන්නක් ගැනීමේ දී එහි බර ප්‍රමාණය සහ සුවපහසුව ගැන සැලකිලිමත් විය යුතු වන්නේ පැළඳ බොහෝ කාලයක් සිටීමේ දී බාල ඒවායෙන් වේදනා ගෙන දෙන නිසා යි. මේ නිසා එහි යොදා ඇති රැඳවුම් පටි ගැනත් ටිකක් සෙවිල්ලෙන් බැලීම හොඳ යි.

සෙවීමට: vr box, vr headset, virtual reality headset

තාක්ෂණික දේවල් ප්‍රින්ට් කළ T shirt

fb.com

පරිගණක කේතකරණයට, ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට ප්‍රිය කරන කෙනෙක්ට ටී ෂර්ට් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම එහි කිසියම් විෂයයට අදාල දෙයක් ප්‍රින්ට් කර තිබෙනවා නම් ඔවුන්ට එය මහත් වටිනා දෙයක් බවට පත් වෙනවා. Linux, පරිගණක භාෂාවක්, ඉලෙක්ට්‍රොනික පරිපථ ඇති ඡායාරූපයක් ආදී දේවල් මෙන්ම අඳුරු පැහැ වර්ණයක් වීම nerdලාගේ බහුතර කැමැත්ත වෙනවා.

Search කරන්න: programmer tshirt, electronic engineer tshirt

කවරයේ ඡායාරූපය: makitpro.com

Related Articles