Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දුරකතනයට කවරයක් තෝරාගන්නේ මෙහෙමයි

ඉහළ මිලක් ගෙවා මිලදී ගන්නා ලද දුරකථනයට, තවත් සුළු මුදලක් ආයෝජනය කොට කවරයක් නොදා සිටීමෙන් හදිසි අවස්ථාවකදී බිම වැටීමක් වැනි දෙයක් සිදු වූ විට එයට සිදුවන තිරය හෝ දාර බිඳීයෑම් නැවත පිළිසකර කරවා ගැනීමට තවත් විශාල මුදලක් වැය වෙනවා. මේ නිසා නිසි ආකාරව හොඳ කවරයක් තෝරා ගතහොත් මුදල් ඉතුරු කර ගැනීමට මෙන්ම දුරකථනයට හොඳ ආරක්ෂාවක් ද ලබා ගැනීමට හැකි වෙනවා.

කෙතරම් ආරක්ෂාවක් ඔබට අවශ්‍යද?

mobilerepairs4u.co.uk

විවිධ මිල ගණන් වලින් විවිධ ආකාරයේ දුරකථන කවර වෙළඳපොලේ මිලදී ගැනීමට තිබුණත් ඔබට ගැලපෙන ආකාරයේ එකක් සොයාගැනීමට නම් ප්‍රථමයෙන් ඔබ ඔබෙන්ම පැණයක් ඇසිය යුතුයි: “කෙතරම් රළු ආකාරයේ හෝ කටුක පරිසරයක මම දුරකථනය පාවිච්චි කරනවා ද?”

මීට පෙර පාවිච්චි කරන ලද දුරකතන ඔබේ පාවිච්චිය නිසා මුහුණ දුන් අකරතැබ්බ පිළිබඳ කල්පනා කිරීමෙන් නව දුරකථනය සඳහා තෝරාගත යුතු කවරයේ ස්වභාවය පිළිබඳව දළ අදහසක් ලබා ගන්නට පුළුවන්. ඔබේ දුරකථනය පාවිච්චි කරන්නේ රළු පරිසරයකදී නම් එනම්, නිතර පඩිපෙළ සහිත ස්ථානවල, කොන්ක්‍රීට් බහුල ස්ථානවල, දූවිලි මඩ හෝ ජලය සහිත පරිසරවල, කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් සහිත ස්ථානවල නම් අනිවාර්යයෙන්ම කවරයක් දැමීමට තීරණය කළ යුතු වනවා

Rugged කවර

astronrough.com

අධි කර්කශ අවස්ථාවන්ට මුහුණ දීමට ද හැකි ආකාරයේ ඉතා රළු, හොඳ නිමාවක් සහිත Rugged කවර වෙළඳපොලේ මිලදී ගැනීමට තිබෙනවා. මේවායේ මිල ඉතා ඉහල වන නමුත් ඒවායෙන් වැඩි ආරක්ෂාවක් දුරකතනයට ලැබෙනවා. ඉතා හොඳින් නිපදවන ලද කවරවල හමුදාමය මට්ටමේ ආරක්ෂාවක් තිබෙන අතර දූවිලි සහිත පරිසර, ජලය හා මඩ සහිත පරිසර ආදී කටුක පරිසර අවස්ථා මෙන්ම ඉහළ පීඩනයන්, ඉහළ උෂ්ණත්වයන් සහ ඝට්ටනයන්ට මුහුණ දිය හැකි ආකාරයේ සවි බලයකින් ඒවා යුතු වෙනවා. දුරකථනයේ පසුපස සහ දාර පමණක් නොව ඉදිරිපස තිරය පවා ආරක්ෂණය කෙරෙන අතර බොත්තම් තද කිරීමට සහ තිරය ස්පර්ශ කිරීමට එය යෙදීමෙන් පසු මඳක් අපහසු වෙනවා. ගොඩනැගිලි සකසන ස්ථානවල හෝ නිතර චාරිකාවල යෙදෙන්නේ නැති කෙනෙක් නම් ඔබට සාමාන්‍ය කවරයක් ගෙන, ඊට tempered glass එකක් අලවා ගත්තාම හොඳටම ප්‍රමාණවත්.

Tough කවර

blueshop.ca

දුරකථනය බිඳ වැටීමකින් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම් රළුව සකසන ලද මෙම කවර භාවිත කරන්නට පුළුවන්. මේවායේ දාර සඳහා වැඩි බලයක් ලබාදී ඇති අතර පසුපස කොටසෙහි ද ගැටීමකට ඔරොත්තු දීමට හැකි ආකාරයේ සැකසුමක් ලබාදී තිබෙනවා. දුරකථනය අතේ තබා ගෙන සිටීමේ දී ද එය ලිස්සා යාම වළක්වා ලීම සඳහා එහි ක්‍රමෝපායන් යොදා ඇති අතර මුහුණත බිමට සිටින සේ වැටෙන අවස්ථාවන් වලදී ද තීරය ආරක්ෂා කිරීම සඳහා එහි දාරයන් උස් කොට සකසා තිබෙනවා. පෙනුම සැලකීමේදීද මෙම කවර Rugged කවරවලට ආසන්න, හමුදාමය පෙනුමක් ඇති ඒවා ලෙස බහුතරයක් සකසා තිබෙන නිසා ෆෝන් එකේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරලන්නට මෙයට ද හැකියාව තිබෙනවා.

සාමාන්‍ය කවර

dhgate.com

මෙම ආකාරයේ කවර ඉතා තුනී වන අතර සාමාන්‍ය වැටීමකට සහ අතේ ඇති දහඩිය තෙල් ආදිය දුරකථන ගෑවීම වැළැක්වීම සඳහා යොදාගත හැකි ඒවායි. මේවා බොහොමයක් හරහා දුරකතනයේ ඉදිරිපස මුහුණකට ආරක්ෂාවක් නොලැබෙන නිසා අනිවාර්යෙන්ම tempered glass එකක්ද ඇලවීමට සිදුවෙනවා. මිල අඩු බව නිසාම මෙවන් කවර දුරකථන මාදිලි කිහිපයකට ගැළපෙන ලෙස සකසන අතර එවැන්නක් තෝරා ගැනීමේදී වුවද speaker ආදී සිදුරු ඒවා හරහා නොවැසෙන බවට වගබලා ගත යුතුයි. ඇතැම් ඒවායෙන් දුරකථන කැමරාව සහ ෆ්ලෑෂරය අර්ධ වශයෙන් හෝ ආවරණය වී ඡායාරූපවලට අනවශ්‍ය ආලෝක තත්ත්වයන් සහ දර්ශනය වැසී යන අවස්ථා ඇති වන නිසා ඒවාද වැළකෙන ආකාරයේ කවරයක් තෝරා ගැනීම නුවණට හුරුයි.

ඉදිරිපස ද වැසෙන පසුම්බි කවර

ytimg.com

පර්ස් එක වෙනුවට ෆෝන් එක පාවිච්ච කළ හැකි ලෙස ක්‍රෙඩිට් කාඩ්පත් ආදිය දැමිය හැකි, සාක්කු ද ලෙදර්වලින් සැකසූ ඉහළ මිල කවර මෙන්ම හුදෙක් ආරක්ෂාව පිණිස දුරකතන මුහුණත ද වැසෙන ආකාරයේ කවර ද වෙළඳපොළෙහි දකින්නට ලැබෙනවා. මෙවැන්නක් මිලදී ගනිද්දී දුරකතන ඇමතුමක් ගනිද්දී ඉදිරියෙන් වැසෙන කොටස බාධාවක් නොවන එකක් බවට සැලකිලිමත් විය යුතුයි. නොඑසේ නම් ඔබ ඇමතුම ගනිද්දී එය පියනක් මෙන් හිසෙහි වැදී බාධා ගෙන දෙන්නක් බවට පත් වෙනවා. ඇතැම්වායේ එම පියන නැවී දුරකතනයේ ප්‍රමාණයටම පත්වන අතර තවත් ඒවායේ මැදින් නැවී කුඩා ප්‍රමාණ වෙනවා. මෙම අවස්ථාවේදී දුරකථනයේ ඝනකම වැඩිව යන නිසා එය බොහෝ වේලා අතේ තබාගෙන සිටීමේදී අපහසුතා ඇතිවන අතර අතහැරී බිමට වැටීමට ඇති ප්‍රවණතාවය ද වැඩියි. දුරකතනය නිශ්චලව තිබියදී පියන හරින විටම තිරය සබලවන ආකාරයේ පහසුකමක් මෙම කවරයක් හරහා ලැබුණත් ටැබ් එකක් වැනි විශාල ප්‍රමාණයේ උපකරණයකට හැර දුරකතනයකට මෙවැන්නක් සුදුසු වන්නේ ඩෙනිම් වැනි හිර කලිසම් සාක්කුවල දුරකථනය දැමීමේදී ඉහළින් ඇති ආවරණය හරහා තිරය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම් පමණයි.

විශේෂ හැකියාවන් ඇති කවර

ආරක්ෂාවම නොව, පාවිච්චියේ පහසුව වෙනුවෙන් යොදා ගත හැකි විශේෂාංග සහිත කවරද වෙළඳපොළේ විවිධ මිල ගණන් යටතේ දකින්නට ලැබෙනවා. දුරකතනය ප්‍රවේශමෙන් පාවිච්චි කරන, අමතර පහසුකම් අවශ්‍ය කෙනෙක්ට මේ ආකාරයේ තෝරාගැනීමට උචිත වෙනවා.

බැටරි කවර

apple.com

පවර් බෑන්ක් එකක් වෙනම පාවිච්චි කරනවා වෙනුවට ෆෝන් කවරය ම පවර් බෑන්ක් එකක් ලෙස ක්‍රියාත්මක වන ආකාරයේ ඒවාත් තිබෙනවා. දුරකතනය වැඩිපුර පාවිච්චි කරන, චාරිකා හෝ එළිමහනේ ගත කරන නිතර චාර්ජ් කරගන්නට අවස්ථාව නොලැබෙන අයට මේ ආකාරයේ කවරයක් වඩාත් සුදුසුයි. මෙය ෆෝන් එකේ charging port එකටම සම්බන්ධ වෙමින් සවි වෙනවා. එවිට එහි ඇති බැටරිය හරහා නිරන්තරයෙන් ෆෝන් එක ආරෝපිතව පවත්වා ගන්නට එයට පුළුවන්. එහි ඇති අවාසියක් වන්නේ එහි අඩංගු බැටරිය නිසා දුරකථනයේ මහත වැඩිවීමයි. මෙමගින් දුරකතනයට ආරක්ෂාවකට වඩා, බැටරිය නිතර ආරෝපණය වීමෙන් පාවිච්චි කිරීමට පහසුවකුයි ලැබෙන්නේ.

ස්ටෑන්ඩ් කිරීමේ පහසුකම්

fingoshop.com

ෆෝන් එකෙන් චිත්‍රපට බලන්නට ඔබ පුරුදුව සිටිනවා නම් එය අතේ තබාගෙන නැරඹීම කරදරයක් වෙනවා. මේ නිසා එය කුමකට හෝ හේත්තු කොට අපහසුවෙන් හිඳ තමයි බලන්නට වෙන්නේ. මෙය වළක්වා ගන්නට ෆෝන් කවරයටම ආඳන ලද මුක්කු වැනි රැඳවුම් තිබෙනවා. මේවා සාමාන්‍යයෙන් තිබියදී ෆෝන් කවරයේ උස මට්ටමේම සැඟව තිබෙන අතර අවශ්‍ය අවස්ථාවේදී එළියට ඇද පාවිච්චි කරන්නට පුළුවන් නිසා සාමාන්‍ය භාවිතයට කරදරයක් වන්නේත් නැහැ.

ඔබේ දැනට ෆෝන් එක කවරයක් ඇතිව හෝ නැතිව පාවිච්චි කරනවා නම් දැන් එහි තත්ත්වය මොන වගේද? Photo comment එකක් දාගෙනම යන්න.

කවරයේ ඡායාරූපය: youtube.com

Related Articles