Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලැප්ටොප් එකට Lock එකක් තෝරාගන්නේ කොහොමද?

පරිගණකයේ අභ්‍යන්තර ආරක්ෂණය වෙනුවෙන් මුරපද, ප්‍රති-වෛරස් මෘදුකාංග අපි ඇතුලත් කරනවා මෙන්ම ලැප්ටොප් එකේ ආරක්ෂාව ගැනත් සිතීම අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන යනවා නම්, දුර බැහැර ගමනක් ගොස් ලැප්ටොප් වැනි උපාංග ප්‍රසිද්ධ ස්ථානවල තැබීමේ දී ද ඒවායේ ආරක්ෂාව පිළිබඳ ව ගැටලු ඇති වෙනවා. පාපැදියට දානවා වගේ ලොක් එකක් ලැප්ටොප් එකටත් සම්බන්ධ කළ හැකි නිසා එවන් අවදානම් ඒ හරහා වළක්වා ගන්නට පුළුවන්. මේ, ලැප්ටොප් Lockවල විවිධ මාදිලි සහ එකක් තෝරාගනිද්දී අත්‍යවශ්‍යයෙන් සොයා බැලිය යුතු දේවල් ගැන ඔත්තුවක්.

අවශ්‍ය වන අය සහ අවස්ථා

bhphotovideo.com

ගෙදරම ලැප්ටොප් එක තියාගෙන පාවිච්චි කරන කෙනෙක්ට Lock එකක් යෙදීමට තිබෙන අවශ්‍යතාව බොහොම අඩුයි. නිවසට ඇති වන සොර සතුරු කරදර වෙනුවෙන් වෙනත් නිවාස ආරක්ෂණ ක්‍රමවේද ඕනම කෙනෙක් ගන්නා නිසා සහ නිවසේ විවිධ ස්ථානවල තබාගෙන පාවිච්චි කරන්නට අවශ්‍ය වූ විට Lock එකක් සබඳාගෙන සිටීම අපහසු වෙන්නට පුළුවන්. නමුත් නිවසේ දරුවන් ගැවසෙනවා නම්, ඔවුන් මේසය මතින් ලැප්ටොප් එක බිමට අතහරීවියැ යි සැක සහිත නම්, නිසි සේ සබැඳීමෙන් යම්තාක් දුරකට ආරක්ෂණයක් මින් ලබාගන්නට පුළුවන්.

නිතර ගමන් බිමන් යන, ඔෆිස් එකට ලැප්ටොප් එක ගෙන යන, හා ප්‍රසිද්ධ ස්ථානවල ලැප්ටොප් එක පාවිච්චි කරන කෙනෙක්ට එය මේසය මත තබා ඉවතට යන අවස්ථාවල දී ලොක් එක මඟින් එය ආරක්ෂා කරගන්නට පුළුවන්. ව්‍යාපාරික මට්ටමෙන් බැලුවහොත් ප්‍රදර්ශනාගාර, අලෙවි සැල්, සහ ආයතනය විසින් ම ලැප්ටොප් පරිගණක සේවකයන්ට සපයන අවස්ථාවන්හි දී ඒවා සේවා ස්ථානයෙන් බැහැරට ගෙන යාම වැළැක්වීමට Lock එකකින් එය මේසයට ම තබා ස්ථිර බවට පත් කළ හැකියි.

සම්බන්ධ කරන්නට අවශ්‍ය පහසුකම්

ලැප්ටොප් අගුළක් පාවිච්චි කරන්නට බාහිර පහසුකම් දෙකක් අවශ්‍ය වෙනවා. ඒ, එක් කෙළවරක් ලැප්ටොප් එකට සහ අනෙක එය සබැඳිය හැකි ස්ථානයක් ලෙසයි. මින් වැඩිපුර ම ගැටලුව ඇති වන්නේ දෙවැන්නෙහි යි.

ලැප්ටොප් බඳෙහි සවි කිරීමට ස්ථානයක්

iPad එකකට අලවා ඇති slot එකක් (vnsatech.co.in)

නූතනයේ එන බොහෝ ලැප්ටොප්වල කුඩා දිගටි සිදුරක් දකින්නට ලැබෙනවා. ඒ වෙත Laptop Lock එක සමග ලැබෙන අගුළු කොටස ස්ථාවර ව සම්බන්ධ කිරීමට හැකියි. මෙය ලැප්ටොප් රාමුව සමග සවිව බැඳෙන නිසා පහසුවෙන් ඉවත් කිරීමට (ඔබට හැර) හැකිවන්නේ නැහැ. ලැප්ටොප් නිෂ්පාදකයාගේ තීරණය මත එහි ඇති slot එක තීරණය වෙනවා. අවුරුදු 22ක් පමණ කාලයක සිට එන සම්මතයක් වන Kensington ස්ලොට් එක Kensington, Kensington mini ලෙස ආකාර දෙකකින් ලැප්ටොප්වල අඩංගු කර ඇති අතර ඇතැම් සමාගම් Noble slot ද අඩංගු කරනවා. එනිසා ලොක් එක තෝරාගැනීමේ දී තමන්ගේ ලැප්ටොප් එකට ගැළපෙන එකක් ද යන වග තහවුරු කර ගත යුතු යි.

ඇපල් හෝ පැරණි ලැප්ටොප් ආදී slot එකක් නොමැති ඒවා සඳහා ද විසඳුම් තිබෙනවා. ඇතැම් Lock නිෂ්පාදන සමාගම්වලින් පරිගණකය මත ස්ථිරව ඇලවෙන කොටසක් ලබාදෙනවා. එය සබැඳීමෙන් slot නැති පරිගණකයකට වුවත් එවැන්නක් ලබාගත හැකියි. නමුත් එහි ගැටලු කිහිපයක් වන්නේ: ලැප්ටොප් එකේ සමබරතාව නැතිවීම, කාලයක් යද්දී ඇලවූ කොටසේ සවිබලය අඩුවී යාම ආදිය යි.

බාහිර සම්බන්ධකයක්

securtech.com

ලෝකෙ හොඳම ලොක් එකක් ගත්තත් වැඩක් නෑ අපි ඉන්න තැන ඒක රඳවන්න තැනක් නැත්නම්. බොහෝ කාර්යාල මේසවල නම් grommets (රැඳවුම්) තිබෙන නිසා එය හරහා ලොක් එකේ වයරය යවා ඊට සබඳන්නට පුළුවන්. නමුත් පොදු ස්ථානයක රඳවන්නට අවශ්‍ය නම් නොසෙල්වෙන දෙයකට තබා ලොක් කරන්නට සිදුවෙනවා. මේ සඳහා අවන්හල් ආදියේ මැදින් යොදා ඇති ඔබ අසල ඇති කොන්ක්‍රීට් කණු, මේස කකුල් ආදියට සබඳන්නට පුළුවන්. එහි දී ඒවා පොළොවට ස්ථිරව සවි කරන ලද මේසදැ යි සැලකිලිමත් වීම වැදගත්.

නිවසේ හෝ කාර්යාල මේසවල දැනටමත් පහසුකමක් නොමැති නම් ඒ සඳහා ද මේසය මත ස්ථිරව ගම් යොදා ඇලවිය හැකි රැඳවුම් මිල දී ගන්නට පුළුවන්. නැත්නම්, ඇතැම් laptop lock මාදිලි සමග ඒවා ද ලැබෙනවා. රැඳවුම ස්ථිරව අලවා ගත් විට ඊට ලැප්ටොප් ලොක් එකේ වයරය යොදා ආරක්ෂාව සලසා ගන්නට හැකි වන නමුත් වෙනත් ප්‍රසිද්ධ ස්ථානවලට එය ප්‍රායෝගික නැහැ.

තෝරාගන්නට විශේෂාංග රැසක්

ලැප්ටොප් කිහිපයකට සබැඳිය හැකි alarm එකක් (smartcomer.com)

ලැප්ටොප් Lock මූලික ආරක්ෂණ ආකාර දෙකකින් දකින්නට පුළුවන්. එකක්, යතුරු සහ අනෙක අංක කරකැවීමෙන් (Briefcase, පාපැදි ලොක් ආදියේ මෙන්) අගුළු දැමිය හැකි ආකාර යි. ඊට අමතර ව එම ආරක්ෂණ ආකාර දෙක ම සහිත ඒවා ද තිබෙනවා. වෙළඳපොළ තරගය නිසා ම නූතන ලැප්ටොප් Lock හුදෙක් මූලික ආරක්ෂණයක් ලබාදීමෙන් නවතින්නේ නැහැ.

හොඳ මට්ටමේ ආරක්ෂකවල slot එකක් නොමැති ඒවායේ ගම්වලින් ඇලවීමෙන් පවා 45kg (440N පමණ) බලයකට පවා මුහුණ දීමට හැකි ශක්තියක් දරනවා. ThinkPad වැනි ලැප්ටොප් සඳහා Lock එක වශයෙන් ඇත්තේ Dock එකකුයි. එවිට ලැප්ටොප් එක මේසයට ඇලවූ කොටසකට සබැඳුණු dock එකෙහි රැඳවෙනවා. ආයතනයක් සඳහා විශාල වශයෙන් මිලදී ගන්නවා නම් සියල්ල ම තනි යතුරකින් (master key එකකින්) පාලනය කළ හැකි ආකාරයේ නිෂ්පාදන ද තිබෙනවා. ඒවා නිෂ්පාදක සමාගම විසින් ලබාදෙන අන්තර්ජාල ගිණුමක යතුරු පිළිබඳ ව, අගුළු හැරීමේ අංක ආදිය ගබඩා කරන්නට සහ නැතිවූ යතුරු අදාළ අගුළට ගැලපෙන සේ යළි ඇණවුම් කිරීමට අවස්ථාව ලැබෙනවා.

ආරක්ෂණ dock එකක් (notebookcheck.net)

තවත් මාදිලිවල වාහනවල ඇති ආරක්ෂණ පද්ධති මෙන්, වැරදි යතුරු ඇතුළු කිරීම්, වැරදි අංක කිහිපවරක් ඇතුලත් කිරීම්, වේගයෙන් ඇදීම් ආදී ලැප්ටොප් එක සොරකම් කිරීමට උත්සාහ දැරීමක් හඳුනාගත් විට එළාම් එකක් ද සක්‍රීය වෙනවා. මෙම විශේෂාංගවල වැඩිවීමත් සමග අගුළෙහි මිල ද වැඩි වන නිසා තමන් ලැප්ටොප් එක පාවිච්චි කිරීමට අදහස් කරන පරිසරය අනුව සැලකීමෙන් හොඳම තෝරාගැනීමක් කරන්නට පුළුවන්. ලැප්ටොප් එක නැතිවීමෙන් එහි ඇති වටිනා දත්ත මෙන්ම ලැප්ටොප් එක වෙනුවෙන් යෙදවූ මුදල සම්පූර්ණයෙන් අහිමි කරගන්නවාට වඩා මෙවන් ආරක්ෂණයක් කියන්නේ ආයෝජනයක්.

කවරයේ ඡායාරූපය: kinja-img.com

Related Articles