Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

AI තාක්ෂණයේ ඉදිරියෙන් සිටින නවතම Huawei Mate 20 දුරකථන ත්‍රිත්වය

පසුගිය ඔක්තෝබර් 16 වැනි දා ලන්ඩනයේ දී අන්තර්ජාලය පුරා සජීවී විකාශයක් ද සමග Huawei සමාගම තම Mate දුරකථන ශ්‍රේණිය එළිදැක්වූයේ තම නවතම ජවසම්පන්න ප්‍රොසෙසරයේ ද බලය විදහාලමින්. එම අවස්ථාවේ දී Mate 20, Mate 20 Pro මෙන්ම ෆැබ්ලට් උපාංගයක් වූ Stylus එකක් ද පාවිච්චි කළ හැකි Mate 20X නමින් තවත් අතරමැද මාදිලියක් ද හඳුන්වාදුන්නා. ඊට අමතර ව Android wear නොමැති ඔවුන්ගේ ම OS එකක් සහිත Watch GT ස්මාර්ට් ඔරලෝසුවක් ද එහි දී එළිදැක්වූවා. මේ ලිපියේ අවධානය, 2018 වසරේ දුරකථන වෙළඳපොළ දෙදරවන වෙනසක් කළ Mate දුරකථන ත්‍රිත්වය ගැන යි.

බාහිර පෙනුම

දිගු notch එකක් හා පසුපස බාහිරින් ඇඟිලි සලකුණු සංවේදකයක් නොමැති Mate 20 Pro දුරකථනය (rasset.ie)

අලුතෙන් හඳුන්වාදුන් Huawei Mate 20, 20X, සහ 20 Pro දුරකථන තුනෙහි ම මුහුණත සම්පූර්ණයෙන් ම පාහේ තිරයෙන් වැසී ඇත්තේ notch එකක් ද සමග යි. ඉදිරිපස මෙන්ම පසුපස ද වීදුරුවකින් නිමවා ඇති අතර, දාරය ඇලුමිනියම්වලින් සකසා තිබෙනවා. Mate 20 දුරකථනය Twilight, Midnight Blue, කළු වර්ණයන්ගෙනුත්, Pro මාදිලිය ඊට අමතර ව Emerald green වර්ණයෙනුත් නිකුත් වෙනවා. 20X දුරකථනය Midnight Blue සහ Phantom Silver වර්ණ දෙකෙන් පමණක් සමන්විත යි.

Mate 20 දුරකථනය. 20X ද පෙනුමෙන් මෙයට සමාන මුත්, ප්‍රමාණයෙන් විශාල යි. (techandroids.com)

දුරකථන තුනෙහි ම කැමරා 3ක් සහ ෆ්ලෑෂරයක් සහිත කොටු හැඩැති විශාල පෙදෙසක් තිබෙනවා. ඉන් දුරකථනයේ ඉදිරිපස තිබෙන අභිමානය විකාරරූපී කර දමනවා. ඊට පහළින් Mate 20 සහ 20X දුරකථන දෙකෙහි ම Fingerprint sensor එක තිබෙන අතර Pro මාදිලියේ ඇඟිලි සලකුණු සංවේදකය තිරය යටට ම යොදා තිබෙන නිසා පසුපස ඉඩ ඉතිරි ව තිබෙනවා. දුරකථනය යට දාරයෙහි ස්පීකරයත්, USB Type-C පෝට් එකත් අඩංගු වෙනවා.

තිරය සහ notch එක

Mate 20 Pro වම්පස සහ Mate 20 දකුණුපසින් (androidauthority.net)

Huawei Mate 20, 20X, සහ 20 Pro දුරකථන තුනෙහි ම තිරයේ බාහිර වෙනස්කම්වලට ඇත්තේ notch එක සහ ප්‍රමාණය යි. Mate 20 සහ X දුරකථන දෙකෙහි ඉදිරිපස කැමරාව පමණක් ආවරණය වන ඉතාම කුඩා notch එකක් තිබෙන අතර, Pro දුරකථනයේ තිරයෙන් වැඩි කොටසක් notch එකෙන් වැසී තිබෙනවා. ඒ, Face unlock විශේෂාංගය වෙනුවෙන් මුහුණ ආලෝකමත් කරන flood illuminator, IR කැමරාව, සහ dot projector යන උපාංග සඳහා යි. ඇමතුම් ගැනීමේ ස්පීකරය Pro හි notch එක මතත්, අනෙක් මාදිලිවල ඉහළ දාරයේ සිහින්වත් අඩංගු කර තිබීම දැකුම්කලු යි.

AMOLED තිරයක් සහිත Mate 20 X  සහ Pro දුරකථනවල තිර ප්‍රමාණයන් පිළිවෙළින් අඟල් 7.2ක් සහ 6.39ක් වනවා. Mate 20 දුරකථනයට ඇත්තේ අඟල් 6.53ක IPS LCD තිරයක්. සියල්ලේ ම තිරය, දාර ඉතාම අඩුවෙන් සකසා තිබීම මේ වසරේ අපි දුටු අනෙක් දුරකථනවලට සාපේක්ෂ ව සුවිශේෂී යි. සැම්සන්ග් දුරකථනවල Infinity display සංකල්පය යටතේත්, ඒවායේ යට දාරයෙහි වැඩි ඝනකමක් තිබූ නමුත් නව Huawei දුරකථනවල එය නොසැලකිය හැකි තරම් කුඩා කර තිබෙනවා.

කැමරා හැකියා

Leica තාක්ෂණයෙන් බලගැන්වූ පසුපස කැමරා ත්‍රිත්වය (alluremedia.com.au)

AI තාක්ෂණයෙන් බලගන්වන ලද නිසා ම මේ දුරකථනවල ඇති කැමරාවන්ගේ හැකියාවන් ප්‍රමාණය ද නිතැතින් ම ඉහළ මට්ටමක තිබෙනවා. පසුපස ප්‍රධාන කැමරාව Mate20 දුරකථනයේ 12MP f/1.8 වන අතර අනෙකුත් මාදිලි දෙකෙහි මෙගා පික්සල් අගය 40ක් වනවා. එය wide lens එකක්. දෙවැනියට ඇති මොනොක්‍රෝම් Ultra wide කාචය Mate 20හි 16 MP f/2.2 ද, අනෙක් දෙකෙහි මෙගා පික්සල් 20ක් ද වනවා. අනෙක් කැමරාව zoomingවලට ද දායක වන 8 MP, f/2.4 අගයක telephoto lens එකක්. 20X සහ Pro මාදිලිවල zoom අගය පස් ගුණයක් දක්වා ඉහළ යි. මාදිලි තුනෙහි ම ඉදිරිපස කැමරාව 24MP f/2.0 වනවා.

ඡායාරූප ගන්නා අවස්ථාවක් (brecorder.com)

මෘදුකාංග මට්ටමේ සහාය උපරිමයෙන් එයට AI බලයෙන් ලැබෙනවා. කැමරාව විසින් දකින සියලු දේ ගැන දුරකථනය අවබෝධයෙන් සිටින නිසා අවස්ථාවන්, පුද්ගලයන් හඳුනාගැනීමට සහ effects එක් කරන්නට ඊට හැකියි. උදාහරණයක් ලෙස බාහිර පසුබිම කළුසුදු කර, සජීවී ව ම මිනිසුන් පමණක් වර්ණ ගන්වමින් ඡායාරූප, වීඩියෝ ගැනීමේ හැකියාව එය සතු යි. අවස්ථාවට උචිත ලෙස කැමරා තුන යොදාගැනීමේ පහසුකම ද තිබෙනවා. ඡායාරූප ගැනීම හැරුණු කොට කිසියම් වස්තුවක් (ප්‍රසිද්ධ චිත්‍රයක් වැනි) පිළිබඳ ව සහාය ලබාගැනීමටත්, දකින දෙයක් මිල දී ගැනීමට සහාය ලබාගැනීමටත් කැමරාවට සබැඳූ කෘත්‍රීම බුද්ධිය සහාය වෙනවා.

පද්ධති ගුණාංග

අභ්‍යන්තර පෙනුම (alluremedia.com.au)

දුරකථන ත්‍රිත්වය ම Huawei සමාගමේ නවතම ප්‍රොසෙසරය වන, Kirin 980 හෙවත් ලොව ප්‍රථම 7nm ප්‍රොසෙසරයට හිමිකම් කියනවා. ප්‍රොසෙසරවල මෙම nm (නැනෝමීටර්) අගයයෙන් කියැවෙන්නේ එහි චිප්සෙට් එක තුළ ඇති ට්‍රාන්සිස්ටර් අතර ඇති දුර ප්‍රමාණය වන අතර, දුර අඩුවන තරමට වැඩි බලයක් එතුළ රැඳවීමට හැකියාව ලැබෙනවා. Kirin 980 ප්‍රොසෙසරය සතු ව NPU (Neural Processing Unit) දෙකක් තිබෙන නිසා කෘත්‍රීම බුද්ධිමය හැකියාවන්, වේගය පෙර ආ 970 ප්‍රොසෙසරයට වඩා දෙගුණයකින් ඉහළ යනවා. ඒ අතින් ද එය ලොව පළමු ද්විත්ව NPU ප්‍රොසෙසරය බවට පත් වෙනවා.

AI හැකියාවන්ගෙන් සවිබල ගැන්වූ Kirin 980 ප්‍රොසෙසරය (alluremedia.com.au)

Mate 20 දුරකථනය 4GB සහ 6GB RAM ලෙස මාදිලි දෙකකින් යුතු යි. 20X සතු ව 6GB RAM එකකුත්, Pro සතුව 6GB සහ 8GB මාදිලි දෙකකුත් තිබෙනවා. සියල්ලම නූතන ඇන්ඩ්‍රොයිඩ් වෙළුම වන Android Pie 9.0 ධාවනය කරනවා. අභ්‍යන්තර ධාරිතාව ලෙස Mate 20, 20X යුවළෙහි 128GB ඇති අතර Pro සතු ව 256GB මාදිලියක් ද සතු යි. මෙහි ධාරිතාව තවත් වැඩි කරගන්න පුළුවන්. ඒත් ඒ සාම්ප්‍රදායික micro SD කාඩ් එකකින් නොවෙයි; වේගයෙන් වැඩි, ප්‍රමාණයෙන් කුඩා Huawei සමාගමේ ම nm card නමැති මතකපතකින්. එය දෙවැනි සිම්පත වෙනුවට යෙදිය හැකියි.

වෙනත් විශේෂාංග

Mate Pro දුරකථනයෙන් රැහැන් රහිත ව ආරෝපණය කළ හැකි තවත් දුරකථනයකට ආරෝපණය සැපයිය හැකියි (wccftech.com)

Mate 20X මාදිලියේ විශේෂත්වයක් වන්නේ එයට වෙනම මිල දී ගත යුතු HUAWEI M-Pen නමැති stylus එක පාවිච්චි කිරීමේ හැකියාව තිබීම යි. එහි 5000mAh බැටරියක් සහ Stereo ශබ්ද හැකියාවන් තිබෙනවා. 4000mAh බැටරියක් ඇති Mate 20 හා 20X දුරකථනයට ද වේගවත් ආරෝපණ හැකියාවන් (fast charging) තිබෙනවා. Pro මාදිලියට 3.5mm audio jack ඇඩැප්ටරයක් ලැබෙන අතර Li-Po 4200mAh බැටරියක් තිබෙනවා. එයට රැහැන් රහිත වේගවත් ආරෝපණ හැකියාවක් (wireless fast charging) මෙන්ම වෙනත් රැහැන් රහිත ව ආරෝපණය කළ හැකි දුරකථනයකට තමාගෙන් ආරෝපණය ලබාදීමට ද හැකියාව තිබීම විශේෂත්වයක්. එය Reverse wireless charging ලෙස යි හඳුන්වන්නේ.

Mate 20X මාදිලිය මොබයිල් ගේමිං සඳහා වැඩි බලයක් සපයන්නේ වාෂ්ප කුටීරයක් (Vapour Chamber) හා ග්‍රැෆීන් පටලයක් අඩංගු ද්‍රව සිසිලන පද්ධතියක් සමග යි.

අනෙක් ඉහළ පෙළ සමාගම්වලවත් දකින්නට නොලැබුණු මේ ඇහිබැමි ඉහළ යවන්නට සමත් විශේෂාංග ගැන ඔබේ අදහස් මොනවාද?

කවරයේ ඡායාරූපය: dailycambridge.co.uk

 

Related Articles