Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුතින්ම පැමිණි නැවිය හැකි Huawei Mate X

2018 වර්ෂය Notchවල වර්ෂය වූවාක් මෙන්, 2019 වර්ෂය Foldable වර්ෂය ලෙස හඳුන්වන්නට අපි කැමතියි. Flexpai උපාංගයෙන් ඇරඹී, Samsung සමාගමේ Galaxy Foldable උපාංගයට පසු දැන් Huawei සමාගමෙන් ද නැවිය හැකි ටැබ්ලට් එකක් දකින්නට ලැබෙනවා. Huawei Mate X ලෙස නම් කර ඇති මෙය iPhone X මෙන් ‘X’ අකුර ‘ටෙන්’ ලෙස නොව, ‘එක්ස්’ ලෙස යි කියැවිය යුත්තේ. දිගහැරි විට ටැබ්ලට් එකක් ලෙසත්, නැවූ විට දුරකතනයක් ලෙසත් පාවිච්චි කළ හැකි මෙය Galaxy Foldable උපාංගයටත් වඩා හොඳ සමත්කම් පෙන්වනවා.

බාහිර පෙනුම

දිගහැරෙන ආකාරය (huawei.com)

දිගහැර ඇති අවස්ථාවේ දී මුහුණත සම්පූර්ණයෙන්ම පාහේ තිරයෙන් යුතු මෙහි දකුණු පස දාරය හැර අනෙක් දාර සාපේක්ෂ ඝනකමකින් යුතු යි. Lenovo සමාගමේ Yoga ටැබ්වල දකින්නට ඇතිවාක් මෙන් අල්වා ගැනී‍ම සඳහා ඝනකම් දාරයක් තිබෙනවා. හැඳින්වීමේ පහසුව පිණිස අප එයට ‘ඇල්වුම් දාරය’ යැයි කියමු. නවන ලද අවස්ථාවේදී අගුළකින් එය රැ‍ඳවෙන අතර, මෙකී ඇල්වුම් දාරයේ ඇති බොත්තමක් තදකර, අගුළ හැරීමෙන් පසුව උපාංගය දිගහරින්නට හැකි වෙනවා. Galaxy foldable උපාංගය දිග හරිද්දී විශාල තිරය ඇත්තේ උපාංගයේ ඇතුල් පැත්තේ නමුත්, මෙය නවද්දී තිරය උපාංගයේ පිටත දෙපසට එන ලෙස යි නැවෙන්නේ. එනිසා කැමති පැත්තකට හරවමින් තිරයන් දෙකම පහසු ආකාරයට පාවිච්චි කරන්නට පුළුවන්. Flexpai උපාංගය නැවීමේදී මැදින් තිබූ භයංකර නැමුම් දාරය මෙහි දකින්නට නැහැ. මෙය නවන ලද අවස්ථාවේ දී මැදින් වායු හිඩැසක් නොතබා එකිනෙක ස්පර්ශ වෙනවා.

ඇල්වුම් දාරයේ ඇති මහත බව නිසාම එම පැත්තට ලැබෙන තිරය කොටස පළලින් අඩුයි. කැමරා 4ක්, ෆ්ලෑෂරය, දිගහැරීම සඳහා බොත්තමක් සහ පහළින් Huawei ලාංඡනය අඩංගු වෙනවා. එහි ම වම්පස දාරයේ ශබ්ද පාලක බොත්තම් සහ ඇඟිලි සලකුණු සංවේදකය සහිත Power බොත්තම තිබෙනවා.

පසුපස කළු පැහැයට හුරු නිල් පැහැයෙන් (Interstellar Blue) සකසා ඇති අතර සැකසීමට යොදාගත් ද්‍රව්‍ය 5G සිග්නල් වලට බාධා නොවන එකක් බව සඳහන් වෙනවා.

තිරය

දිගහැරිවිට පෙනුම (timeincuk.net)

අඟල් 8ක තිරය AMOLED නිසා යි නැවීමේ හැකියාව ලබන්නේ. අසව්ව උකුසු පිහාටු හැඩය සහිතව සකසා ඇති අතර Falcon design ලෙසයි ඔවුන් හඳුන්වන්න‍ේ. සවිමත් බව සහ මැද හිඩැසක් ඉතිරි නොවන සේ තිරය නැවීමට එය උපකාරී වෙනවා. නවන ලද අවස්ථාවේදී එක් පසක ප්‍රමාණය අඟල් 6.6ක් බවට පත් වෙනවා. දෙපසට ලැබෙන කොටස්වලින් අවශ්‍ය තිරයක් පාවිච්චි කරන්නට පුළුවන්.

අර්ධව නැවූ අවස්ථාවක් (aolcdn.com)

Flexpai උපාංගයේ තිරය දිගහරින විට එහි මෙහෙයුම් පද්ධතියේ animations වල දෝෂ රැසක් දකින්නට ලැබුණා. නමුත් Mate X එය හොඳින් සිදුකරන අතර, දිග හැරිවිට Apps දෙකක් දෙපස තබාගෙන Drag කරමින් ඡායාරූප ආදිය ඇද දැමිය හැකියි. Galaxy Foldable දුරකතනය දිගහැරි විට තිරයෙහි පසෙක Notch එකක් තිබෙන නමුත් මෙහි සම්පූර්ණ ඍජුකෝණාස්‍රාකාර මතුපිට පුරාම තිරය විහිදී තිබීම විශේෂත්වයක්. අතේ තබාගැනීමට ඇල්වුම් දාරය උපකාර වන අතර, බාගෙට නවා ඇති අවස්ථාවක බිම වැටුණොත් තිරය කෙසේ මුහුණ දේවිදැයි සැක සහිතයි. සාමාන්‍ය දුරකතනවල Gorilla Glass වැනි ආරක්ෂණයන් තිබුණ ද මෙවන් නැවෙනසුළු උපාංගවලට තවමත් එවන් ආරක්ෂණයක් නැහැ.

කැමරා

කැමරා සංවේදක හතරක් (phonearena.com)

Mate X සතුව කාච සැකසීමට නම් දැරූ Leica සමාගම විසින් නිපදවන ලද කැමරා 4ක් තිබෙනවා. ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 40ක f/1.8 වූ wide කැමරාවක්. දෙවැන්න මෙගා පික්සල් 16ක f/2.2 වූ ultrawide කැමරාවක්. තෙවැන්න මෙගා පික්සල් 8ක telephoto කැමරාවක් වන අතර සිව්වැන්න TOF හෙවත් ගැඹුර හඳුනාගැනීමට ආලෝක පරාවර්තන වේගය භාවිතා කරන සංවේදකයක්. ඡායාරූප ගැනීමේදී තිරයේ දෙපසම සක්‍රීය කළ හැකි නිසා ඔබේ ඡායාරූපයක් වෙනත් කෙනෙක් ගනිද්දී ඔබටත් තිරයෙන් ඔබවම දැකගත හැකි නිසා pose කරන්න පහසු යි. දුරකතනයේ දෙපසම පාවිච්චි කළ හැකි නිසා සෙල්ෆි කැමරාවක් කියා විශේෂ කැමරාවක් එක් පසක නැහැ.

AI විශේෂාංග, Portrait ඡායාරූපවල දී පසුපස සාර්ථකව බොඳ කිරීමට කැමරා පද්ධතියේ භෞතික දායකත්වය ලබා ගැනීම මෙහි ඇති විශේෂාංග බවට පත් වෙනවා.

පද්ධති ගුණාංග සහ වෙනත් විශේෂාංග

නැවුණු අවස්ථාවේ දී තිරය (bgr.com)

නැනෝමීටර් 7ක HiSilicon Kirin 980 සහිත මෙය 8 GB RAM එකක් සමග Android 9.0 Pie ධාවනය කරනවා. හුවාවේ සමාගමේ UI එක වන EMUI 9.1 මෙහි අඩංගු කර තිබෙනවා. අභ්‍යන්තර ධාරිතාව ලැප්ටොප් එකක මෙන් 512GB තරම් ඉහළ ධාරිතාවක් දරන අතර සිම්පත් දෙකින් එකක් වෙනුවට 256GB දක්වා වූ මෙමරි කාඩ් එකක් යොදන්නට ද හැකියාව තිබෙනවා. 5G ඇන්ටෙනා 3ක් ඇල්වුම් දාරයේත්, තවෙකක් ඊට ආසන්න කොටසේත් තබමින් අඛණ්ඩ, වේගවත් අන්තර්ජාල වේගයක් ලබා දෙන්නට එය සැලසුම් කර තිබෙනවා.

ඇඟිලි සලකුණු ආරක්ෂාව සහිත Power බොත්තම නිසා ක්ෂණිකව උපාංගය Unlock කරගන්නට පුළුවන්‍. 3.5mm audio jack එක මෙහි අඩංගු කර නැහැ. ආරෝපණයට 3.1, Type-C පෝට් එකක් ඇති අතර ඉන් Huawei SuperCharge තාක්ෂණය සමඟ පැය බාගයකින් 85%ක් ආරෝපණය කරගත හැකියි‍. නැවෙනසුළු බව නිසා බැටරිය දෙකඩ කොට තිරයේ දෙපසට යොදා තිබෙන අතර සම්පූර්ණ බැටරි ධාරිතාව 4500mAh ක් වෙනවා‍. Bluetooth 5.0, NFC මෙන්ම දුරස්ථ පාලකයක් සේ වෙනත් උපාංගවලට යොදාගැනීමට හැකි Infrared port එකක් ද මෙය සතු යි.

කවරය: independent.co.uk

Related Articles