Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

MWC 2018 දී එළිදැක්වුණු Huawei MateBook X Pro

පසුගිය දා පැවැත්වුණු 2018 ලෝක මොබයිල් සමුළුවේ දී (MWC) එළිදැක්වුණු තවත් අංගයක් වන්නේ ඇමරිකානු බුද්ධි අංශ විසින් ප්‍රතික්ෂේප කරන ලද Huawei සමාගමේ, නවතම ඇපල් මැක්බුක් වෙත අභියෝග එල්ල කරන ලැප්ටොප් එක සහ ඔවුන්ගේ MediaPad ටැබ් ශ්‍රේණියේ නවතමයා වන M5 ටැබ් එකයි.

බැලු බැල්මට ඇපල් මැක්බුක් පරිගණකයක පෙනුමැති නවතම MateBook X Pro පරිගණකය එම වර්ණයන්ගෙන්ම, හැකියාවන්ගෙන් ඊට ආසන්නව සහ ඇතැම් තැන් වල දී ඇපල් ද අභිබවා යමින් කරළියට පිවිසෙන්නේ හැකියාවන්ගෙන් ඉහළ මට්ටමේ මෙන්ම ඉහළ මිල මට්ටමේ ලැප්ටොප් පරිගණකයක් බවට පත් වෙමින්.

91%ක පැතිරුණු තිරයක්

windowsreport.com

2017 වසර දුරකථනවල Full View Display හෙවත් මුහුණත පුරාම තිරය ඇති වර්ෂය බවට පත්වෙද්දී Huawei සමාගම ඔවුන්ගේ නවතම ලැප්ටොප් එක ප්‍රථම වරට FullView සැලසුම සහිතව හඳුන්වා දුන්නා. බඳට සාපේක්ෂව තිරය 91%ක් වන මෙහි තිරය වටා වූ ඉහළ හා දෙපස දාර ඉතාම තුනී ඒවා යි. තිරයේ යට කොටසේ ආයතන ලාංඡනය සහිතව මඳක් මහත දාරයක් තිබෙනවා. මෙම LTPS (අඩු උෂ්ණත්ව පොලිසිලිකන් LCD) තිරය 3K හෙවත් 3000 x 2000 තිර විභේදනයකින්, 260 PPI අගයකින්, 100% sRGB වර්ණ සංයුතියකින්, ඉහළ තිර දීප්තියකින් හා 1500:1 contrast අනුපාතයෙන් යුතු යි. මේ නිසා 4K HD වීඩියෝ නැරඹීමේ දී හොඳ අත්දැකීමක් විඳින්නට අවස්ථාව සැලසෙනවා. ඉතා තුනී Corning Gorilla glass එකකින් ආරක්ෂිත මෙය ස්පර්ශ තිරයක් ලෙස ද ක්‍රියා කරනවා. ඇඟිලි සලකුණු නොරඳන ආකාරයේ ආලේපනයක් මුහුණතෙහි යොදා ඇති නිසා ස්පර්ශ කිරීමේදී ඇඟිලි පැල්ලම් තිරය මත රඳන්නේ නැහැ.

පහසුවෙන් අතේ ගෙන යා හැකි කිලෝ ග්‍රෑම් 1.33ක බරක් සහ 14.6 mm මහතකින් යුතු මෙය නිතර ගමන් බිමන් යන කෙනෙක්ට වඩාත් උචිත වන්නේ 57.4 Wh තරම් ඉහළ අගයක බැටරිය පැය 12ක් එක දිගට වීඩියෝවක් නැරඹීමට තරම් බැටරි සවියකින් යුතුව පැමිණෙන නිසායි. ස්පීකර් 4ක් සහ සංඛ්‍යාත වෙන් වෙන්ව ඒවාට ලබාදෙන සැලසුම නිසාත්, Dolby Atmos තාක්ෂණය නිසාත් වඩාත් සුපැහැදිලි ශ්‍රව්‍ය අත්දැකීමක් මෙය හරහා ලැබෙනවා. මෙම පරිගණකයේ යොදා ඇති මයික්‍රොෆෝනය මීටර් 4ක් තරම් දුරක සිට ඇසෙන ශබ්ද පවා ග්‍රහණය කරගන්නා බවට විද්‍යාගාර පර්යේෂණ හරහා තහවුරු කොට නිල වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

අමුතු තැනක ඇති කැමරාව

techadvisor.co.uk

අප දකින සෑම ලැප්ටොප් පරිගණකයම කැමරාව තිබෙන්නේ තිරයේ ඉහළ දාරයේ මැදින්. නමුත් තිරයේ දාර සිහින් කොට උපරිම තිර පරාසයක් ලබා ඇති නිසා මේ පරිගණකයේ කැමරාව තිබෙන්නේ ටිකක් වෙනස් තැනකයි. ඒ, F6 සහ F7 යතුරු අතර තවත් යතුරක් ලෙසයි. එය තද කළ විට යතුර ඉහළට එසැවී මෙගා පික්සල් එකක කැමරාව නිරාවරණය වෙනවා. පසුගිය කාලයේ කැමරාව හැක් කොට ලැප්ටොප් හිමියන්ගේ ඡායාරූප සහ වීඩියෝ වෙනත් අය සහ FBI වැනි ආරක්ෂක අංශ වලින් සිදු කරන බවට ඇති වූ භීතිකාව නිසා ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවා තම කැමරාව ආවරණය කරගෙන සිටිනු දකින්නට ලැබුණා. එවන් තත්ත්වයක් යටතේ මේ ස්ථානගත කිරීම හොඳ නමුත් මෙහි පිහිටීම නිසා මුහුණ නොව, බෙල්ල සහ පපු ප්‍රදේශයට එය යොමුවී තිබීම භාවිතයට අපහසුවක්.

Touch කළ හැකි සහ Fingerprint සංවේදී Power බොත්තම

lowyat.net

ප්‍රමාණයෙන් විශාල touchpad එක සහ backlit හෙවත් ආලෝකය විහිදුවන යතුරු පුවරුව නිසා රාත්‍රී කාලයේ දී වුවත් යුතු යතුරු සොයාගැනීමේදී අපහසුවක් වන්නේ නැහැ. මෙම යතුරුපුවරුව දියර වලට ප්‍රතිවිරෝධී නිසා තේ කෝප්පය හැලුණාට පොඩ්ඩක්වත් බය වෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. Power බොත්තම ටච් කර තත්පර 7.8කින් වින්ඩෝස්හි desktop එකට පැමිණිය හැකි බවයි වෙබ් අඩවිය කියන්නේ. මෙම power බොත්තමත් සුවිශේෂී එකක්. එය touch කරන්නට පුළුවන් වගේම එහි ඇති ඇඟිලි සලකුණු සංවේදකය නිසා මෙතෙක් දුටු පරිගණකවල මෙන් power බොත්තම ඔබා නැවත fingerprint එක ලබා දෙන්නේ නැතිව, ඔබ බලගන්වද්දීම අනන්‍යතාව තහවුරු කිරීමත් එම අවස්ථාවේදීම කරන්නට පුළුවන්.

digitaltrends.com

තවමත් භාවිත වන USB Type A ආකාරයේ 3.0 පෝට් එකක් ලැප්ටොප් එකේ එක් පසෙකත්, USB Type-C පෝට් දෙකක් වම් පැත්තේත් තිබෙන අතර ඉන් එක් පෝට් එකක් Thunderbolt 3 ආකාරයේ නිසා 4K තිරයක් හා external graphics card එකක් සම්බන්ධ කරන්නට පුළුවන්. මැක්බුක් සඳහා වෙනම මිල දී ගැනීමට ඇති ඇඩැප්ටර මෙන්ම මේ පරිගණකය සඳහා ද සමාගම විසින් අතුරු උපාංග නිපදවා තිබෙනවා. MateDock 2 ලෙස නම් කොට ඇති ඇඩැප්ටරය Type-C පෝට් එක හරහා සම්බන්ධ කර ඊට VGA, HDMI සහ දිගු කරන ලද type-C port එකක් යන තුනම එකවර භාවිත කිරීමේ පහසුව සලසා ගන්නට පුළුවන්. එසේම ඔවුන් USB 3.0 සිට RJ45 අන්තර්ජාල කේබලය සම්බන්ධ කළ හැකි ආකාරයේ ඇඩැප්ටරයක් ද වෙනම මිල දී ගැනීමට සපයා තිබෙනවා.

කවරයේ ඡායාරූපය: timeincuk.net‍

Related Articles