Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Huawei සමාගමේ නවතම දුරකතන ද්විත්වය P30 සහ P30 Pro

පසුගිය දා පැරීසියේ දී පැවති 2019 සඳහා වූ Huawei event එකෙහි දී ඔවුන්ගේ නවතම දුරකතන දෙපළ හඳුන්වා දුන්නා. මෙයට පෙර පැවති Apple event එකට ඔවුන් විහිළුවක් ද කරමින් කියා සිටියේ Apple වෙතින් ඔවුන්ට ආරම්භයක් අරගෙන දුන්නු බව යි. එහිදී එළි දැක්වුණු P30 සහ P30 Pro දුරකතන යුවළ හොඳයි ද? අපි සොයා බලමු.

බාහිර පෙනුම

P30 දුරකතනය අතැතිව (toiimg.com)

iPhone X දුරකතනයේ මෙන් දිගැති notch එකක් වෙනුවට මෙහි ඉදිරිපස තනි කැමරාව පමණක් ආවරණය වන Tear-drop notch එකක් යොදා තිබෙනවා. මුහුණත දාරයන් P30 දුරකතනයේ සැලකිය යුතු තරම් තිබෙන අතර P30 Pro දුරකතනයේ දෙපස දාරයන් ද තිරයෙන් ආවරණය වෙනවා. නමුත් ඉහළ දාරයත්, ඊටත් වඩා පහළ දාරයත් කැපී පෙනෙන ඝනකමකින් යුක්තයි‍. ඉදිරිපස ස්පීකරය P30 දුරකතනයේ ඉහළ දාරය මත හොඳින් දකින්නට තිබෙනවා. තිරයේ මුළු සතර ද දුරකතනයේ මෙන්ම මඳක් වක්‍රාකාරව සකසා තිබෙනවා.

දුරකතනය දකුණු පස දාරයේ Power සහ Volume බොත්තම් තිබෙන අතර යට දාරයේ USB Type-C පෝට් එකක් තිබෙනවා. 3.5mm audio jack එක ඇත්තේ P30 දුරකතනයේ පමණ යි. සිම්පත් කවුළුව දුරකතනය ඉහළ දාරයේ තිබෙනවා.

දුරකතන දෙකෙහි පසුපස සංසන්දනය (digitaltrends.com)

P30 දුරකතනය පසුපස වම් පස ඉහළ කෙළවර, සිරස්ව කැමරා තුනක් යොදා තිබෙනවා. ඊට පහළින් ෆ්ලෑෂරයත්, සංවේදක දෙකකුත් අඩංගු කර තිබෙන අතර Leica තාක්ෂණයෙන් බලගැන්වූ බව සඳහන් කර තිබෙනවා. එම පේළියේම දුරකතනයේ පහළ දාරයට ආසන්නයෙන් HUAWEI යන අක්ෂර ලෝගෝව හරස් අතර සටහන් කර තිබෙනවා. මෙම තීරය හැර පසුපස ඉතිරි පෙදෙස් සම්පූර්ණයෙන්ම හිස්ව යොදා තිබෙන්නේ රැහැන් රහිත ආරෝපණයට පහසුකම් සැලකීමට විය හැකියි.

P30 Pro දුරකතනය පසුපස ‍සිරස් පේළි දෙකකට යි කැමරා පද්ධතිය අඩංගු වන්නේ. මූලික කැමරා තුනට අමතරව (කෙළින් අතට බලද්දී) දකුණු පසින් ෆ්ලෑෂරයත්, තවත් කුඩා කැමරා සංවේදකයක් ඊට යටිනුත් යොදා තිබෙනවා.

P30 Pro දුරකතනයේ වර්ණ මාදිලි (interestingengineering.com)

රතු-තැඹිලි (Amber Sunrise), දම්-නිල් (Breathing Crystal), රෝස-සුදු (Pearl White), කොළ-නිල් (Aurora), කළු යන වර්ණ මාදිලිවලින් මෙම දුරකතන දෙකම ලබා ගන්නට පුළුවන්.

කැමරා

P30 Pro දුරකතනයේ කැමරා සැකැස්ම (alluremedia.com.au)

තිරස් කැමරා තීරයෙහි මැදින් තිබෙන්නේ ප්‍රධාන කැමරාව යි. 27mm මෙගා පික්සල් 40ක කැමරාවක් වන එය OIS සහ f/1.6 apperture එකකින් යුතු යි. සාමාන්‍යයෙන් කැමරාවක් මූලික ආලෝක වර්ණ තුන වන රතු-කොළ-නිල් (RGB) සඳහා සංවේදී නමුත් මෙම SuperSpectrum ලෙස හඳුන්වන සංවේදකය RYB හෙවත් රතු-කහ-නිල් යන වර්ණවලට යි සංවේදී වන්නේ. ඉන් අඩු ආලෝක තත්ත්ව යටතේ දී පවා හොඳ වර්ණ ලබා ගන්නට හැකියාව ලැබෙනවා. නමුත් මින් ගැටළුවක් වෙනවා. කහ වර්ණය එලෙස යොදාගත්තාම රතු මෙන්ම කොළ වර්ණය යන දෙකම වැඩිපුර ලැබෙනවා. මන්ද එම වර්ණය සැකසෙන්නේ රතු+කොළ එක් වීමෙන්. මෙය විසඳන්නේ ප්‍රොසෙසරයට එක් කර ඇති විශේෂ ඇල්ගොරිතම හරහා යි. P20 Pro කැමරාවේ ISO අගය 409,600 තරම් ඉහළ නිසා අඩු ආලෝකයන් ඇති අවස්ථාවන්වල ගන්නා ඡායාරූප වලට වැඩි පෙනුමක් ලැබෙනවා.

P30 Pro දුරකතනයේ කැමරා පද්ධතිය (popsci.com)

P30 දුරකතනයේ අනෙකුත් කැමරාවන් වන්නේ මෙගා පික්සල් 16ක, ලේසර් auto focus සහිත Ultra-Wide කැමරාවත්, මෙගා පික්සල් 8ක telephoto කැමරාවයි. මෙම ටෙලිෆොටෝ කාචයට තුන් ගුණයක optical zoom කිරීමේ හැකියාවත් OIS බල ගැන්වුමත් තිබෙනවා. OIS කියන්නේ ඡායාරූප ගනිද්දී සෙලැවීම් නිසා ඇතිවන බොඳවීම් වැළැක්වීමේ තාක්ෂණය යි.

Periscope කැමරාවේ සැකැස්ම (alluremedia.com.au)

P30 Pro දුරකතනයේ ඉහළින් ඇත්තේ 20 MP Ultra-Wide කාචයක්. පහළින්ම ඇති කැමරාව සිත්ගන්නා සුළුයි. සාමාන්‍ය කැමරා කවුළු රවුම් නමුත් මෙය කොටු හැඩැතියි. මෙහි බාහිරට කැමරා කාචය පෙනෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රිස්මයක් තබා, ආලෝක කිරණ අංශක 90කින් නවා දුරකතනයේ සිරස්ව තබා ඇති කාච රැසකින් ගමන් කරවා 5x optical zoom හැකියාවක් ලබා ගන්නවා. මේවාට කියන්නේ Periscope කැමරා කියා යි. Oppo දුරකතනයක ද මීට පෙර මෙය දකින්නට ලැබුණා. මෙම ක්‍රමය නිසා දුරකතනයේ තුනී බව පවත්වා ගෙන zoom හැකියාවන් ලබා දෙන්නට නිෂ්පාදකයන්ට හැකි වෙනවා. මේ කැමරා තුනට පිටතින්, ෆ්ලෑෂරයට යටින් ඇත්තේ TOF හෙවත් ආලෝකයේ වේගය අනුව දුර තීරණය කරන සංවේදකයක්.

දෙකෙහි ම ඉදිරිපස Wide කාචයක් සහිත 32MP කැමරාවක් තිබෙනවා.

පද්ධති ගුණාංග

EMUI නව වෙළුම 9.1 (androidupdated.com)

P30 සහ P30 Pro දුරකතන දෙකෙහිම Huawei සමාග‍මේම නිෂ්පාදිත Kirin 980 (7 nm) ප්‍රොසෙසරය අඩංගු කර තිබෙනවා. Mate 20 දුරකතනයේ ද දකින්නට ලැබුණේ මේ ප්‍රොසෙසරයම නිසා ඔවුන් අලුත් එකක් මේ ‍ඉදිරිපෙළ ‍දුරකතනයට නොයෙදීම ටිකක් කනගාටුවට කරුණක්. මෙය AIවලට සහාය දක්වන NPU 2ක් සහිත වූ ලොව පළමු 7nm ප්‍රොසෙසරය යි. P30 දුරකතනය 64 GB, 128 GB සහ 256 GB ලෙස අභ්‍යන්තර ධාරිතාව සහිත මාදිලි තුනකින් ද P30 Pro දුරකතනය 128 GB, 256 GB හා 512 GB ලෙස ද නිකුත් කර තිබෙනවා. මෙයට Nano Memory නමින් Huawi සමාගම විසින්ම හඳුන්වා දෙන ලද කුඩා ප්‍රමාණයේ මෙමරි චිප් මගින් තවත් ධාරිතාව වැඩි කරගත හැකියි. ඒ දෙවන සිම්පත වෙනුවට යි. RAM එක 6 GB හෝ 8 GB ලෙස ලබා ගත හැකියි.

කැමරා දෙකෙන් එක්වර වීඩියෝ කළ හැකියි (huawei.com)

Android Pie (9.0) ධාවනය කරන මෙහි බෙ‍ාහෝ දෙනෙක් අකමැති නමුත් කරන්නට දෙයක් නැති EMUI අතුරුමුහුණතේ වැඩිදියුණු කළ 9.1 වෙළුම ත‍ිබෙනවා. පසුපස කැමරා දෙකෙන්ම එකවර වීඩියෝ කිරීමේ හැකියාව මෙන්ම AI වලින් බල ගැන්වූ Video editor එකක් ද මෙහෙයුම් පද්ධතිය සතුයි.

අනෙකුත් විශේෂාංග

ඇඟිලි සලකුණු සංවේදකය ඇත්තේ තිරය යට යි. (firstpost.com)

P30 සතුව අඟල් 6.1ක සහ P30 Pro සතුව 6.47ක ද OLED තිරයන් තිබෙනවා. තිරය යට ඇඟිලි සලකුණු සංවේදකය අඩංගු යි. P30 දුරකතනය දූවිලි සහ ජලය ඉසීම්වලට ඔරොත්තු දෙන IP53 අගයකුත්, P30 Pro දුරකතනය IP68 හෙවත් විනාඩි 30ක් මීටර් දෙකක් යට ජලයෙහි තැබිය හැකි තරම් ජල සහ දූවිලි ප්‍රතිරෝධීත්වයක් දරනවා.

දුරකතන දෙකෙහිම Bluetooth 5.0 සහ NFC තිබෙනවා. Dolby Atmos ශබ්ද මාධූර්යයන් ඇති අතර P30 Pro දුරකතනයේ ඉදිරිපස ස්පීකරය ඇත්තේ ද තිරය යට යි. එහි IR පෝට් එකක් තිබෙන නිසා රූපවාහිනී ආදියට දුරස්ථ පාලකයක් සේ පාවිච්චි කළ හැකියි. P30 සතුව 3650mAh බැටරියක් හා වේගවත් ආරෝපණ හැකියාවක් තිබෙනවා. Pro මාදිලියෙහි 4,200mAh බැටරියක් සහ රැහැන් රහිත ආරෝපණ හැකියාවත්, තවත් දුරකතනයක් එහි පසුපසට මත තබා ආරෝපණය කරගැනීමේ පහසුකමත් තිබෙනවා.

P30 දුරකතනය අන්තර්ජාල වෙළඳපොළවල රු. 162,000 සහ P30 Pro රු. 209,000 පමණ ද පෙර ඇණවුම් මිල ලෙස සටහන් කර තිබෙනවා.

කවරය: expertreviews.co.uk

Related Articles