Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Google I/O හි දී හඳුන්වාදුන් අලුත්ම Pixel 3a දුරකතනය

ගූග්ල් සමාගම වාර්ෂිකව තම නිෂ්පාදන එළිදක්වන Google I/O 2019 අවස්ථාවේ දී ඔවුන්ගේ Pixel දුරකතන ශ්‍රේණිය සඳහා නව දුරකතනයක් හඳුන්වා දුන්නා. එය නූතන‍යේ උපාංගයක් මෙන් බැලු බැල්මට නොපෙනුනත් අභ්‍යන්තරික වශයෙන් දැරිය හැකි මිලකට ගූග්ල් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධති අත්දැකීම් ලැබීමේ අවස්ථාව අපට ගෙන එනවා.

බාහිර පෙනුම

අතේ ප්‍රමාණයට ගැලපෙන විශාලත්වයක් (purch.com)

දුරකතන දාරයත්, ඊට ගැලපෙන සේ තිරයේ දාරයත් වක්‍රාකාරව සකසා ඇති Pixel 3a දුරකතනය පෙනුමෙන් ඉතා පැරණි උපාංගයක් මෙන් පෙනෙන්නේ මුහුණත පුරා තිරය විහිදී නොමැති නිසා යි. මුහුණත ඉහළ මහත දාරයක් ඇති අතර, එහි notchවලට සිර නොවී ඇමතුම් ස්පීකරයත්, සෙල්ෆි කැමරාවත් නිදහසේ රැ‍ඳෙනවා. පහළ දාරයත් ඉතාම ඝනකම් දාරයක් දරන අතර, දෙපස දාර මඳක් සිහින් බවින් යුතු යි.

උපාංගය පසුපස; ඉහළින් කැමරා තීරය වෙනත් අඳුරු කරන ලද වර්ණයකින් යොදා තිබෙනවා. වමට බරව; තනි කැමරාවක් සහ ෆ්ලෑෂරයක් එහි අඩංගු වෙනවා. ඊට පහළින්, මැදින් ඇඟිලි සලකුණු සංවේදකය යොදා තිබෙනවා. යට කෙළවරට ආසන්නව Google සමාගමේ කෙටි ලෝගෝව වන “G” සටහන් කර තිබෙනවා.

ඉහළ දාරයේ වම් පසින් දැනට ඇති බොහෝ mid-range දුරකතනවල දකින්නට නැති 3.5mm jack එක අඩංගු යි. පහළ දාරයේ USB-C port එකක් අඩංගු යි.

වර්ණ මාදිලි තුනක් (imgix.net)

කළු (Just Black), සුදු (Clearly White), දම් (Purple-ish) ලෙස වර්ණ මාදිලි තුනක් ඇති අතර, සුදු සහ දම් පැහැ දුරකතනවල Power බොත්තම කහ සහ තැඹිලි වර්ණ ගන්වා තිබෙනවා. ඉදිරිපස Asahi Dragontrail Glass නමැති වීදුරුවකින් ද පසුපස ප්ලාස්ටික් සැකසුමකින් ද යුතු යි.

තිරය

වර්ණ එතරම් ම තීව්‍ර නැහැ (phonedog.com)

අඟලකට පික්සල (ppi) 441ක් ඇති, අඟල් 5.6ක, OLED තිරයක් මේ දුරකතනය සතු යි. OLED නිසාම ‍එයට Always-on display එකක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව තිබෙනවා. Full HD+ හෙවත් 2220 x 1080 px තිර විභේදනයක් (resolution) මෙහි තිබෙනවා. අව්ව සහිත අවස්ථාවල දී අඩු තිර දීප්තියක් මෙන්ම චිත්‍රපට, වීඩියෝ නැරඹීමේ දී වර්ණවල අවපැහැ බවක් දැකිය හැකි යි.

තිරය දුරකතනයේ මුහුණත මධ්‍යයේ ස්ථානගතව ඇති නිසා භාවිතයේ දී නූතන දුරකතනවල මෙන් ඇඟිලිවලට අපහසුවක් නොවන අතර තනි අතින් භාවිතයේ දී ද ගැටළු ඇතිවන්නේ නැහැ.

කැමරා

පසුපස කැමරාව (forbes.com)

පසුපස තනි කැමරාව 12.2MP වූ f/1.8 සෙන්සරයක්. එහි OIS ඇති නිසා ඡායාරූප ගැනීමේ දී ඇති වන සෙලවීම් නිසා ඇති වන බොඳවීම් අවම කරන්නට හැකියි. මෙහි ඇති සුවිශේෂී හැකියාවක් වන්නේ සාමාන්‍ය දුරකතනයකට ගැඹුර හඳුනාගැනීමට ප්‍රධාන කැමරාවට අමතරව ගැඹුර හඳුනාගැනීමේ සංවේදකයක් (depth sensor) ද අවශ්‍ය නමුත්, මෘදුකාංග ඇල්ගොරිතම භාවිතයෙන් වඩාත් සාර්ථකව තනි කැමරාවකින් එය කරගැනීම යි. මීට පෙර ආ Pixel 3 හා XL මාදිලිවල ද මෙම හැකියාව තිබුණා.

වැඩිදුර කියැවීමට: ගූග්ල් Pixel 3 සහ දැවැන්ත notch එකක් ඇති XL

ගන්නා ලද ඡායාරූපයක මෑතින් සිටින පුද්ගලයෙකු හෝ වස්තුවක් තිබිය දී පසුබිම බොඳ කළ හැකි Depth Editor එකක් මෙහි තිබෙනවා. නැතහොත්, Color pop විශේෂාංගයෙන් පසුබිම වර්ණ පමණක් කළු-සුදු ගන්වන්නට පුළුවන්. අඳුරේ දී ගන්නා ඡායාරූප iPhone XSවලටත් වඩා සුපැහැදිලි බව නිල වෙබ් පිටුවෙහි ඔවුන් සංසන්දනාත්මකව දක්වනවා.

අඳුරේ දී ගත් ඡායාරූප සංසන්දනය (wp.com)

ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක f/2.0 සෙන්සරයක්. එහි HDR හැකියාවන් ද තිබෙනවා. 1080p ප්‍රමාණයේ වීඩියෝ 30fpsවලින් ලබාගන්නට එය සමත් වෙනවා.

පද්ධති හැකියාවන්

අභ්‍යන්තර ව්‍යුහය (ifixit)

මඳක් පැරණි නමුත් Qualcomm Snapdragon 670 ප්‍රොසෙසරය මෙහි අඩංගු වීම මිල අඩු දුරකතනයක් වශයෙන් සමාව දිය හැකි කාරණයක්. Adreno 615 GPU එකක්, 4 GB RAM සහිත මෙය Android 9.0 (Pie) ධාවනය කරනවා. ලැබෙන දුරකතන ඇමතුම්වලට ස්වයංක්‍රීයව පිළිතුරු දීමට, හඬ විධාන අනුව ගීත ධාවනය කිරීම, මැසේජ් යැවීම ඇතුළු Google Assistant සතු හැකියාවන් වෙනත් දුරකතනවලට පෙර මෙහි අඩංගු වන අතර, අලුතින්ම ආ Android Q අත්හදා බලන්නට මෙම Pixel ශ්‍රේණියේ දුරකතන සමග අවස්ථාව ලැබෙනවා.

Google සමාගම ඔවුන් වෙනුවෙන්ම සකසා ගත් Titan M නමැති security chip එකට මුරපද ඇතුළු සංවේදී පෞද්ගලික දත්ත ආරක්ෂිතව ගබඩා කරග්නනට හැකියාව තිබෙනවා. වසර තුනක් දක්වා ආරක්ෂණ යාවත්කාලීන (Security updates) ලැබෙන නිසා වඩාත් ආරක්ෂිතව කටයුතු කරන්නට හැකි වෙනවා.

අනෙකුත් විශේෂාංග

Google Maps සඳහා AR තාක්ෂණය ප්‍රථමයෙන් ලැබෙන්නේ Pixel උපාංගවලට යි. (futurecdn.net)

දුරකතනය දෙපසින් තදකර මිරිකීම මඟින් ඇතිවන ඝර්ෂණය හඳුනාගෙන Google Assistant ක්‍රියා කරවන්නට මෙයට පුළුවන්. මෙම මිල පරාසයේ නොමැති විශේෂාංගයක් ලෙස එය හැඳින්විය හැකි නමුත්, පෙර පැමිණි ඉහළ මිල Pixel දුරකතනයට වඩා තදින් මෙය කරන්නට සිදුවීම මඳක් අතට අපහසුවක් විය හැකියි.

අමතර මතකපත් (memory card) ඇතුළත් කිරීමට හැකියාවක් නොමැති අතර, Google Photos මත Unlimited Storage එකක් ලැබෙන නිසා එය එතරම් ගැටළුවක් වන්නේ නැති බව ඔවුන් ඒත්තු ගැන්වූවත් ඕනෑම දුරකතනයකින් 16MP දක්වා Unlimited storage එකක් Google Photosවලින් ලැබෙන නිසා එය විශේෂාංගයකැ යි සැලකිය නොහැකි යි.

Bluetooth 5.0 සහ NFC සමග USB 2.0 Type-C port එකක් තිබෙනවා. රැහැන් රහිත ආරෝපණ හැකියාවක් ද නොමැති නමුත් ගැලවිය නොහැකි Li-Poවලින් සැකසූ 3000 mAh බැටරියක් තිබෙනවා. මෙහෙයුම් පද්ධතියේ Adaptive Battery හැකියාවන් නිසා මෙයට පැය 30ක් බැටරි ආයු කාලයක් ලැබීම විශේෂත්වයක්. එසේම වේගවත් ආරෝපණ හැකියාව ඇති නිසා විනාඩි 15ක ආරෝපණයකින් පැය 7ක භාවිත කාලයක් ලබාගන්නට පුළුවන්.

ගැලපෙන්නේ කාට ද? සහ මිල

Galaxy S10, Pixel 3a සහ OnePlus 6T උපාංග සංසන්දනය (indianexpress.com)

2015 කාලයේ තිබුණු දුරකතනවල පෙනුම සහිත මෙය බාහිර ආටෝපය සඳහා භාවිතා කරන්නට නොහැකි යි. පසුගිය වසරේ Xiaomi වෙතින් ආ Poco F1 දුරකතනයේ තිබුණේත් මීට සමාන සැලසුමක්. මෙම නිෂ්පාදනය මඟින් ඔවුන්ගේ අරමුණ වන්නේ අඩු මිලකට, පෙනුම ගැන නොසලකා අභ්‍යන්තර හැකියාවන් උපරි‍මයෙන් ලබාදීම යි. තනි කැමරාවක් යෙදීම මඟින් ගූග්ල් සමාගම තමන්ගේ හැකියා ප්‍රදර්ශනය මෙන්ම තමාට නිෂ්පාදන වියදමත් අඩු කරගන්නවා. ඒ වගේම ප්‍රමාණයෙන් කුඩා බව සහ මුළු තිරයම තනි අතින් වුව පාවිච්චි කරන්නට හැකි නිසා විශාල ප්‍රමාණයේ දුරකතනවලට අකමැති කෙනෙක්ට මෙය භාවිතය පහසු යි.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ පිරිසිදු අත්දැකීමක් විඳින්නට, නවතම ඇන්ඩ්‍රොයිඩ් වෙළුම් අත්හදා බලන්නට සහ ගූග්ල් සමාගමේ රසිකයෙක් වන කෙනෙක්ට මෙන්ම නිතර රාත්‍රියේ හෝ අඩු ආලෝක තත්ත්වයන්හි ඡායාරූප ගන්නා කෙනෙක්ට මේ දුරකතනය වඩාත් උචිත වෙනවා.

නිල වෙබ් අඩවියේ එහි මිල සඳහන් කර ඇත්තේ $399 හෙවත් රුපියල් 70,000ක් පමණ අගයකට යි.

කවරය: xda-developers.com

Related Articles