Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දැවැන්ත කැමරාවක් පෙරටු කරගත් Samsung Galaxy S20

ඔබ ස්මාර්ට් ෆෝන් එකක් තෝරා ගනිද්දී මුලින්ම බලන්නේ කුමක්ද? අලුත් S20 දුරකතනය අනුව නම්; ඔබේ පිළිතුර “කැමරාව” බව යි පෙනී යන්නේ. 20? ඔව්, Apple සමාගම iPhone 8 සිට X (10) වෙත පිම්මක් පනිද්දී S10 සිට එක්වරම S20 වෙත පනින්නට Samsung සමාගම තීරණය කර තිබේ.

මෙරට වේලාව අනුව, පසුගිය 12 වැනි දා අලුයම Galaxy UNPACKED 2020 පැවැත්වුණා. එහි තිබූ සුවිශේෂී අංගයක් වූයේ, එය Live Stream කිරීම සඳහා වීඩියෝ කැමරා වෙනුවට S20 දුරකතන යොදාගෙන තිබීම යි.

බාහිර පෙනුම

පිළිවෙලින් S20, S20+ සහ S20+ Ultra පසුපස පෙනුම (xda-developers.com)

සරලව කිවහොත්, S20 දුරකතනයේ ඉදිරිපස මෙවර පසුගිය වසරේ Note 10 දුරකතයට බෙහෙවින් සමාන යි. ඒ, Selfie කැමරාව හරි මැදින් ‍යොදන ලද නිසා යි. එසේම, Note 10 මෙන් දෙපසට නොනැමුණු සමතල තිර පෘෂ්ඨයක් තිබීම විශේෂත්වයක්.

Button ඇති ප්‍රදේශවල කොටස් හැර, ලෝහමය දාරය සිහින් කරමින්, පසුපස පෘෂ්ඨය ඉදිරියට නවා ඇති නිසා අතෙහි තබා ගැනීම පහසුයි. මෙවර Volume සහ Power බොත්තම් දකුණු පසට ගෙන, Bixby බොත්තම ඉවත් කර තිබෙනවා. Power Key එකම දැන් Bixby ලෙස ක්‍රියා කරයි.

Samsung ‍Galaxy S20 දුරකතනයෙහි දෙපසම Gorilla Glass 6 ආරක්ෂණයකට හිමිකම් කියනවා. ඉන් සුපුරුදු පරිදි අතැඟිලිවල දහඩිය සලකුණු රැඳීමට ඇති හැකියාව ද වැඩිව තිබේ. මාදිලි තුනෙහිම පහළට ආසන්නයෙන් Samsung ලෝගෝව සටහන් කර ඇත.

වර්ණ මාදිලි 4ක් (samsung.com)

Galaxy S20 සහ S20+ දුරකතන මාදිලි දෙකෙහිම පසුපස කැමරා රැඳවුම දිගටි ඍජුකෝණාස්‍රයක් වන අතර, එක සමාන ප්‍රමාණයකින් යුතු යි. S20 Ultra දුරකතනයේ එහි දිග අඩු නමුත්, පළල සහ ඝනකම ‍වැඩි කර තිබේ. එහි පහතින් Space Zoom 100x ලෙස සඳහන් කළ Folded zoom lens එකක් තිබේ.

S20 දුරකතනය අළු (Cosmic Gray), නිල් (Cloud Blue) සහ රෝස (Cloud Pink) වර්ණවලිනුත්, S20+ කළු (Cosmic Black), අළු සහ නිල් වර්ණවලිනුත්, Galaxy S20 Ultra දුරකතනය කළු සහ අළු වර්ණයන්ගෙන් ද ලබා ගත හැක.

තිරය

සුමට දසුන් ගෙ‍න එන 120Hz තිරයක් (samsung.com)

පෙර කී පරිදි මාදිලි තුනෙහිම Infinity-O හෙවත් ඉහළ මධ්‍යයේ කුඩා කැපුමක් Selfie කැමරාවට වෙන්ව ඇති අතර, පසුගිය වසරේ මෙන් Selfie කැමරා 2ක් නිසා තිරයේ වැඩි කොටසක් අහිමි වී නැත. තිරය සතුව HDR10+ සහාය, Dynamic AMOLED 2X තාක්ෂණයෙන් යුත් Quad HD+ තිර විභේදනයක් (resolution) තිබේ.

S20 දුරකතන තිරය වෙළඳ ප්‍රචාරණය සඳහා 120Hz තිරයකැ යි කීවත්, මිල දී ගත් විට ඇත්තේ 60Hz බවත්, Resolution එක FHD (2400×1080) දක්වා අඩු කළ විට 120Hz ලබා ගත හැකි බවත් MKBHD පෙන්වා දෙයි. Touch sensitivity එක ද ඊට සාපේක්ෂව 240Hz දක්වා වැඩි කර තිබෙන බැවින් සුමට තිර අත්දැකීමක් ලැබෙනවා.

මාදිලි තුනෙහි තිර ප්‍රමාණයන් Galaxy S20 හි අඟල් 6.2, S20+ අඟල් 6.7, සහ Ultra හි අඟල් 6.9″ වේ. තිර දීප්තිය (brightness) 1200 nits තරම් ඉහළ අගයක් දක්වා වැඩි කළ හැකි අතර, විවිධ දීප්ති මට්ටම්වල දී ද නිවැරදි වර්ණ දර්ශනය කළ හැකි වීම වෙනුවෙන් ජර්මනියේ VDE ආයතන සහතිකයක් ලබා ඇත. එසේම, ඇස වෙහෙස කරවන නිල් වර්ණය වැළැක්වීම වෙනුවෙන් SGS සහතිකය ලබා තිබේ.

කැමරා

Galaxy S20 Ultra කැමරා සැලැස්ම (samsung.com)

Samsung Galaxy S20 සහ 20+ දුරකතන දෙකෙහිම සෙල්ෆි කැමරාව මෙගා පික්සල් 10ක, f/2.2 සහ 26mm වූ wide කාචයකි. ඉන් 4K වීඩියෝ ගත හැකි අතර, Samsung Galaxy S20 Ultra සතු වෙනස මෙගා පික්සල් 40ක කැමරාවක් තිබීම යි.

පසුපස කැමරා ගත් කල, S20 සහ S20+ සතුව කැමරා 3කි. ඒ, 12 MP wide කැමරාවක්, තවත් 12 MP ultra-wide කැමරාවක්, සහ 64 MP ටෙලිෆොටෝ කාචයකි. S20+ හි ඊට අමතරව ගැඹුර සංවේදනය කරන මෙගාපික්සල් 0.3ක සංවේදකයක් ඇත.

S20 Ultra සතුව වම්පස කෙළවර 12 MP ultra wide කැමරාවක්, ඊට යටින් 108 MP wide-angle කැමරාවක්, සහ ඒ සමගම ගැඹුර සං‍වේදනය කරන DepthVision නම් සංවේදක කට්ටලයක් ඇත.

Galaxy S20 Ultra දුරකතනයක Zoom කරමින් (gadgethacks.com)

එහි පහළ විශේෂ කොටස 48 MP ටෙලිෆොටෝ කාචයකි. එයට මෘදුකාංග සහාය ද ඇතිව 100x තරම් අධික zoom හැකියාවක් ගෙන ආ හැකිය. Samsung සමාගම එයට Space Zoom ලෙස නමක් දමා තිබේ.

මාදිලි තුනටම 8K වීඩියෝ ගත හැකි අතර, වීඩියෝවේ Frame එකක් ඉවතට ගෙන එය 30MP ඡායාරූපයක් බවට පත් කරගන්නට අවස්ථාව සලසයි. නමුත්, 8K සතුව එක් ගැටළුවක් තිබේ. එනම්, S20 සහ S20+ ද්විත්වයම 8K රෙකෝඩ් කරන්නේ ටෙලිෆොටෝ කාචයෙන් වන අතර, Tracking auto focus සහ Video effects ලද නොහැකියි. Ultra මාදිලියේ මේ ගැටළුව නැත.

මෙවර Single Take නමින් mode එකක් ලබා දී තිබෙනවා. එමඟින් විවිධ කාලයන්ගෙන් යුත් වීඩියෝ කීපයක්, විවිධ ෆිල්ටර් යෙදූ ඡායාරූප කීපයක් තනි tap එකකින් ලබා ගන්නට හැකියි.

පද්ධති හැකියාවන්

Galaxy UNPACKED 2020 වැඩසටහනේ දී S20 හඳුන්වාදෙමින් (samsung.com)

Android 10.0 සහ One UI 2 සහිත නව දුරකතන ත්‍රිත්වය Exynos 990 ප්‍රොසෙසරයක්, Mali-G77 ග්‍රැෆික් ප්‍රොසෙසරයක්, සහ UFS 3.0 ධාරිතාවකින් ද සමන්විත වේ.

මෙහි 4G මෙන්ම 5G මාදිලි ද තිබේ. එහෙත්, මේවායේ ඇත්තේ 5G sub-6 බැවින් හොඳ මට්ටමේ 4G වේගයකට වඩා 20%ක පමණ වේගය වැඩි වීමක් පමණක් ලැබේ.

S20, S20+ සහ S20 Ultra බැටරි ධාරිතාවන් පිළිවෙලින් 4000 mAh, 4500 mAh, 5000 mAh වේ.

S20 සහ S20+ දුරකතනවල 4G මාදිලිය 128 GB අභ්‍යන්තර ධාරිතාවක් සහ 8 GB RAM අගයකින් ලද හැක. S20+ 5G මාදිලිය අභ්‍යන්තර ධාරිතාව 128/ 256/ 512GB සමග 12GB RAM එකකින් ලද හැක.

Galaxy UNPACKED 2020 වැඩසටහන S20 දුරකතනවලින් රූගත කෙරිණි. (sammobile.com)

S20 Ultra සතුව 5G මාදිලියක් පමණක් ඇති අතර, අභ්‍යන්තර ධාරිතාව 128 / 256GB සමග 12GB RAM එකකුත්, අභ්‍යන්තර ධාරිතාව 512GB සමග 16GB RAM එකකුත් ලද හැක.

IP68 නිසා පිරිසිදු වතුරෙහි මීටර් 1.5ක්, විනාඩි 30ක් දක්වා තැබිය හැකි අතර තිරය යට Ultrasonic Fingerprint සංවේදකයක්, USB-C හරහා සබැඳිය හැකි AKG හෙඩ්ෆෝන් එකක් මෙහි අඩංගු වේ. HDMI Adapter එකක් හරහා රූපවාහිනියකට සබැඳිය හැක.

සමස්තයක් වශයෙන් ගත් කල, මෙවර “wow..!” හැඟීම දෙන සුවිශේෂී විශේෂාංගයක් නැති තරම් ය. පෙර වසරේ මෙන් සෙල්ෆි කැමරාව පසෙකින් නොයොදා තිරය මැදින් යෙදීම සෑහීමකට පත් විය හැක්කකි. පසුපස Design එක ද, iPhone 11 සේ ම ප්‍රිය උපදවන්නක් නොවේ. මේ ගැන ඔබේ අදහස කුමක්ද? කැමරාව, 120Hz තිරය සහ 5G sub-6 වෙනුවෙන් ඔබ ලක්ෂ 2 ඉක්මවා වියදම් කරන්නට සූදානම් ද?

කවරය: samsung.com

මූලාශ්‍රයයන්:

  • samsung.com
  • YT/MKBHD
  • gsmarena.com
  • businessinsider.com
  • theverge.com

Related Articles