Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොඩියුලර් ලැප්ටොප් – ඔබේ ලැප් එක ඔබට ඕනෑ විදිහට

Desktop පරිගණක එහෙමත් නැත්තම් අපි PC කියලා හඳුන්වන පරිගණකයක් අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. මව් පුවරුවේ ඉඳන් සියලු ම කොටස් සඳහා අපේ අවශ්‍යතාව සහ තේරීම අනුව කොටස් එකතු කරන්න පුළුවන්. හැබැයි ඒ පහසුකම ලැප්ටොප් පරිගණකවලට ලැබෙන්නේ නැහැ. RAM එක SSD එක වගේ සීමිත කොටස් හැරෙන්න වෙනත් කිසිවක් මාරු කරන්න නිෂ්පාදකයන් පහසුකම් ලබා දෙන්නේ නැහැ. කාලයත් එක්ක වැඩි දියුණු කිරීමක් ඕන නම් අලුත් ම ලැප්ටොප් පරිගණකයක් ගන්නවා හැරෙන්නට වෙන හොඳ විසඳුමක් නැති බව අපි දන්නවා. ඒත් අලුත් ම ව්‍යාපෘතියක් විදිහට ආරම්භ වුණු Framework Laptop පරිගණකයේ තිරය, කීබෝඩ් එක සහ Ports පවා තමන්ට ම වෙනස් කරගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. Framework සමාගමේ අලුත් වැඩේ ගැනයි මේ තොරතුරු.

අලුත් සමාගමක අලුත් ව්‍යාපෘතියක්

Framework කියන්නේ අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ආරම්භ වුණු Startup එකක්. මේ සමාගම හදන්න මුලික වුණේ Oculus කියන VR (Virtual Reality) උපකරණ නිෂ්පාදන සමාගමේ හිටපු දෘඩාංග අංශයේ ප්‍රධානියා වන Nirav Patel නැමැත්තායි. ඔහු 2019 දී තමයි Framework සමාගම මුල්වරට ආරම්භ කරන්නේ. මොඩියුලර් ලැප්ටොප් පරිගණකයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ම මෙම සමාගම ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය වෙනවා.

මොඩියුලර් (Modular) කියන වචනයේ පරිගණක ලෝකයේ අදහස වෙන්නේ වෙන් වෙන් කොටස් එකට සම්බන්ධ කරලා කරපු නිර්මාණයකින් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීම සහ වැඩි දියුණු කිරීමේ (Upgrade කිරීමේ) අවශ්‍යතාවක් අවොතින් අවසාන ප්‍රතිඵලයට කිසිදු බාධාවක් නොවී තනි තනි කොටස් වෙන ම ප්‍රතිස්ථාපනය කිරීමේ හැකි පරිදි නිර්මාණය සිදු කිරීම. උදාහරණයක් විදිහට මොඩියුලර් පරිගණකයක් නිර්මාණය කරනවා නම් පරිශීලකයාට එතරම් තාක්ෂණික දැනුමක් නොමැති ව අඩු තරමින් ඇණයක් හෝ ගැලවීමකින් තොරව ඉතා පහසුවෙන් යම් යම් කොටස් ප්‍රතිස්ථාපනය කිරීමට හැකි විය යුතුයි.

project ara
Project Ara නම් මොඩියුලර් ස්මාර්ට් ෆෝන් එකෙහි ආදර්ශනයක් – digitaltrends.com

මොඩියුලර් ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය කිරීමේ සංකල්පය Framework සමාගම ආරම්භ කළ එකක් නෙවෙයි. විවිධත්වයෙන් යුත් ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය ආරම්භ වුණු 21 වන  සියවසේ මුල්භාගයේ ඉඳන් ම මොඩියුලර් පරිගණක, ස්මාර්ට් දුරකථන ආදිය නිර්මාණය සිදුවෙනවා. Motorola සමාගම 2016 දී නිකුත් කරපු Moto Z ස්මාර්ට් දුරකථනය වඩාත් සාර්ථක ම මොඩියුලර් ස්මාර්ට් දුරකථනය විදිහට හඳුවන්න පුළුවන්. මේ දුරකතනයේ පිටුපසට කාන්දම් ලෙස සවිකරන්න හැකි Moto mods කොටස් වෙනම මිලදී ගන්න පාරිභෝගිකයන්ට පුළුවන් වුණා. ඒ Moto mods කොටස් අතර දුරකථන තිරය ප්‍රක්ෂේපණය කළහැකි කුඩා ප්‍රක්ෂේපකයක්, JBL ස්පීකරයක්, Hasselblad කාච සහිත සමීප රූප ගත හැකි කැමරාවක්, අංශක 360 ක් වීඩියෝ ගත කළ හැකි කැමරාවක් දකින්න පුළුවන් වුණා. කෙනකුට මේ පහසුකමක් අවශ්‍ය නම් අදාළ Mod එක වෙනම මිලදී ගෙන දුරකථනය පිටුපසින් ඇලවීම පමණක් ප්‍රමාණවත්. 

moto z and moto mods
Moto Z ස්මාර්ට් ජංගම දුරකථනය එයට සවිකළ හැකි Moto mods සමඟ – androidcommunity.com

Fairphone කියන ජංගම දුරකථන නිෂ්පදනයේත් අරමුණ වුණේ පරිශීලකයාට පහසුවෙන් තමන්ගේ දුරකථනය අලුත්වැඩියා කරගන්නට හැකි විදිහට නිර්මාණය කිරීම. 2019 දී ඔවුන්ගේ Fairphone 3 කියන තෙවැනි සංස්කරණයේදී දුරකථනයේ කැමරාව, බැටරිය වගේ කොටස් පහසුවෙන් ම ඕනෑම කෙනකුට වෙන් කරගන්න පුළුවන් විදිහටයි සවිකරලා තිබුණේ. මේ නිසා දුරකථනයේ යම් කොටසක දෝෂයක් අවොතින් අදාළ කොටස තමන්ට ම මාරු කරලා අලුත් කොටසක් ඒ වෙනුවට සවි කරගන්න හැකියාව තිබෙනවා. 

fairphone 3
පහසුවෙන් වෙන්කළ හැකි ලෙස සැකසූ Fairphone 3 හි මොඩියුල වෙන්කර තිබෙන අයුරු – en.wikipedia.org

ස්මාර්ට් දුරකථන බොහොමයක් වර්තමානයේදී නිකුත් කෙරෙන්නේ මුද්‍රා කරපු ඇසුරුමක් විදිහට. දැන් දැන් ලැප්ටොප් පරිගණක සඳහාත් මේ ක්‍රමය භාවිත වෙනවා. ඇපල් සමාගමේ MacBook පරිගණකවල වැඩිදියුණු කිරීමක් හෝ අලුත්වැඩියා කිරීමක් සිදුකිරීම ඉතාම අසීරු බව අපි කවුරුත් දන්නවා. බොහොමයක් කොටස් පරිගණකයේ මව් පුවරුවට ම පාස්සා තිබීම මේකට හේතුවයි. ශක්ති හානිය අවම කරන්නත් සිසිලනය වගේ දේවල් පහසුවීමත් කියන කරුණු නිසයි නිෂ්පාදකයන් මේ ක්‍රමවේදය අනුගමනය කරන්නේ.

ඉහළ යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය

වැඩි හැකියාවක් තියෙන පරිගණකයක් අවශ්‍ය නම් ඔවුන්ගේ ම වෙනත් මාදිලියක් තෝරාගන්න මේ නිසා පාරිභෝගිකයාට සිදු වෙනවා. එතකොට ඔවුන්ගේ අසාධාරණ මිල ගණන්වලටත් යටත් වෙන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම යි අනාගතයේදී ඔබට එන අවශ්‍යතාව අනුව අද ඔබ මිලදී ගන්න ලැප්ටොප් පරිගණකය ප්‍රමාණවත් වේවිද යන්නත් විශාල ගැටලුවක්.

මේ සියල්ලට ම වඩා ඇතිවෙන ප්‍රධාන ම අහිතකර ප්‍රතිඵලය වෙන්නේ දවසින් දවස ලෝකයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e -waste) ප්‍රමාණය ඉහළ යෑම. සාමාන්‍යයෙන් වසරකට එක් පුද්ගලයකු නිසා පරිසරයට එකතු වෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 6ක් විතර වෙනවා කියලා ගණන් බලලා තියෙනවා. දියුණු වෙන තාක්ෂණයත් එක්ක වැඩි දියුණු කරගන්න පුළුවන් ජංගම උපකරණ නිර්මාණය කිරීම වැදගත් වෙන්නේ මේ නිසයි. Framework සමාගමේ මොඩියුලර් ලැප්ටොප් පරිගණක නිෂ්පාදනයත් අනාගතය වෙනස් කරන්න පුළුවන් අලුත් මාවතක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

e-waste production per capita 2019
එක් එක් රටවලින් වසරකට එකතුවන ඒක පුද්ගල ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය – statista.com

අවශ්‍ය Port සියල්ල පමණක් ඇති පරිගණකයක්

සිහින් සහ බරින් අඩු (thin and light) කියන වර්ගයට අයිති ලැප්ටොප් පරිගණක තමයි අද වෙද්දී ව්‍යාපාර සහ කාර්යයාල කටයුතු කරන බොහෝ දෙනා භාවිත කරන්නේ. තැනින් තැනට රැගෙන යාමේ පහසුව නිසා මෙවැනි ලැප්ටොප් යන්ත්‍රයක් භාවිතය ඉතාම පහසුයි. ඒ නිසා බොහොමයක් නිෂ්පාදකයින් පරිගණකවල ඝනකම අව ම කිරීම වෙනුවෙන් අද වෙද්දී භාවිත කරන්නේ USB C වර්ගයේ Port විතරයි. කෙනකුට වෙන වර්ගයේ Port එකක් අවශ්‍ය නම් වෙනම Dongle එකක් භාවිත කිරීමට සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ඔබ ඡායාරූප ශිල්පියකු නම් ලබාගත් ඡායාරූප සංස්කරණයට SD Card reader එකක් සහිත USB C dongle එකක් යොදාගන්න වෙනවා. HDMI port පවා දැන් බොහොමයක් ලැප්ටොප් යන්ත්‍රවල දකින්න නැහැ.

Framework සමාගමේ අලුත් ම මොඩියුලර් ලැප්ටොප් පරිගණකය මේකට අපූරු විසඳුමක් ලබාදෙනවා. Framework ලැප්ටොප් එක මිලදී ගනිද්දී ඔබට වෙනම ම කුඩා මොඩියුල් කොටස් මිලදී ගන්න වෙනවා. මේවා මිලෙන් ඉතාම අඩුයි. පරිගණකයේ පෙනුමට කිසිදු හානියක් නොවී පරිගණකයේ කොටසක් ම විදිහටයි මේ මොඩියුල කොටස් සවි කළා ම දිස්වෙන්නේ. Port වෙනුවෙන් ම නිර්මාණය කරපු මේ මොඩියුල 4ක් ඔබට ලැප්ටොප් එකට සවි කළ හැකියි. මේවා සම්බන්ධ වෙන්නේ පරිගණකයේ යට තියෙන USB C port 4කට. ප්‍රමාණයෙන් වර්ග අඟලක් විතර වෙන මේ මොඩියුල අතර USB C, USB A, HDMI, Micro SD වගේ port එක බැගින් සහිත මොඩියුල තියෙනවා.

port modules of framework laptop
Port මොඩියුල සහ ඒවා සවි කෙරෙන ආකාරය – notebookcheck.net

සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගණක වල දකින්න ලැබෙන නැති Display Port එකක් සහිත මොඩියුලයක් වුණත් ඔබට ලබාගන්න පුළුවන්. 250GB හෝ 1TB විශාල SSD එකක් සහිත මොඩියුලයක් වුණත් ඔබට Port එකක් වෙනුවට ලබාගන්න පුළුවන්. එතකොට ඔබේ පරිගණකයට ස්ථිර ලෙස ම සවිවුණු SSD එකක් කිසිදු අවහිරයකින් තොර ව භාවිත කරන්න පුළුවන්. මෙය Flash Drive එකක් විදිහට වෙනත් පරිගණක හෝ කැමරා උපකරණවලටත් සවිකර භාවිත කරන්න පුළුවන් වීම අමතර වාසියක් වෙනවා. කෙනකුට අවශ්‍ය නම් තමන්ගේ ලැප්ටොප් පරිගණකයේ Port 4ම HDMI කරන්න එයටත් මේ මොඩියුලර් ක්‍රමය පහසුකම් සලසනවා.

අලුත්වැඩියා කිරීමේ පහසුව

Framework ලැප්ටොප් පරිගණකය විවෘත කිරීමට නම් ගැලවීමට අවශ්‍ය වෙන්නේ ඉස්කුරුප්පු ඇණ 5ක් විතරයි. මේ සඳහා ඉස්කුරුප්පු නියනක් ඔබට පරිගණකය සමඟ ම ලැබෙනවා. මේ ඇණ කිහිපය බුරුල් කරත් ඒවා ලැප් එකේ පිටුපස පුවරුවෙන් පිටතට ගන්න බැහැ. ඒ නිසා අස්ථානගත වීම වැළකෙනවා. මොනයම් විදිහකින් ඇණ අස්ථානගත වුණොත් අමතර ඇණ කීපයකුත් පරිගණකය තුළ ම ඇතුළත් කර තිබෙනවා. පිටුපසින් ඇණ බුරුල් කළාට පරිගණකය විවෘත වෙන්නේ ඉදිරිපසින්. ඉදිරිපස පැනලය සවි වෙලා තියෙනේ කාන්දම්වලින්. ඒ නිසා ඇණ බුරුල් කරත් පැනලය නිකන් ම ගැලවෙන්නේ නැහැ. කාන්දම්වලින් ගලවගන්න කුඩා බලයක් යෙදුවා ම කීබෝඩ් එක සම්බන්ධ වෙන රිබන් වයරය විතරක් පහසුවෙන් ම ගලවලා පරිගණකය ඇතුළට පිවිසෙන්න ඔබට පුළුවන්.

inside of framework laptop
Framework ලැප්ටොප් පරිගණකයේ ඇතුළත – frame.work

මෙම ලැප්ටොප් පරිගණකයේ ඇතුළත ඉතා ම ක්‍රමවත් විදිහට සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හඳුනා ගන්න පහසු විදිහට හැම කොටසක් ම ලේබල් කරලා තියෙනවා දැකගන්න පුළුවන්. Battery, Storage, Memory ආදී විදිහට පැහැදිලි ලොකු අකුරෙන් නාමකරණයත් ඊට පහතින් කුමන වර්ගයේ කොටසක් සවිකළ යුතු ද කියලා කෙටි විස්තරයකුත් පැහැදිලි ව දක්වලා තියෙනවා. මේ නිසා සාමාන්‍ය පරිගණක දැනුමක් තියෙන කෙනකුට වුණත් පහසුවෙන් ම අලුත්වැඩියාවක් හෝ අලුත් කොටසක් එකතු කිරීමක් කරන්න පුළුවන්. එක් එක් කොටස් ගැලවීම හෝ අලුත්වැඩියා කිරීම ගැන තොරතුරුවලට පිවිසෙන්න පුළුවන් QR කේතයන් සහ Framework සමාගමේ පණිවිඩයකුත් ඔබට මේ පරිගණකය තුළ දකින්න පුළුවන්.

message from framework
Framework කණ්ඩායමේ නම් සඳහන් පණිවිඩය – notebookcheck.net

බොහොමයක් Windows ලැප්ටොප් පරිගණකවල වගේ RAM, Wi-Fi card සහ SSD කොටස් මාරු කරන්න මේ පරිගණකයේත් වඩා පහසුවෙන් පුළුවන්. ඊට අමතරව ස්පීකරය සහ බැටරියත් පහසුවෙන් ම ගලවා ප්‍රතිස්ථාපනය කරන්න හැකියි. Framework පරිගණකයේ ප්‍රොසෙසරය නම් ගලවා මාරු කිරීමට හැකියාවක් නැහැ. මිලදී ගනිද්දීම 11 වන පරම්පරාවේ Intel ප්‍රොසෙසර මාදිලි 3ක් අතරින් එකක් ඔබට තෝරාගැනීමට සිද්ධ වෙනවා. නමුත් මේ පරිගණකයේ මව් පුවරුවත් පහසුවෙන් ගලවන්න පුළුවන් නිසා තාක්ෂණික අත්හදා බැලීම් කරන කෙනකුට එය යොදා ගෙන වෙනත් නිර්මාණයක් කිරීමේ හැකියාව තියෙනවා.

බැටරිය පහසුවෙන් ප්‍රතිස්ථාපනය

ඉස්සර ආපු ලැප්ටොප්වල බැටරිය ගලවන්න පුළුවන් විදිහට තිබුණා ඔබට මතක ඇති. ඒ බැටරි පිහිටලා තිබ්බේ පරිගණකයේ පිටතින් ම නිසා පහසුවෙන් ගලවන්න පුළුවන් වුණා. ඒත් Thin and Light මාදිලියේ පරිගණකවලට ඒ වගේ ලොකු බැටරි කොටසක් පිටතින් සවිකළා ම පෙනුමට හානි වෙන නිසා දැන් දැන් බොහොමයක් නිෂ්පාදකයන් බැටරිය සවිකරන්නේ පරිගණකයට ඇතුළතින් ස්ථිර ලෙස සවි වෙන විදිහට. ඒ හින්දා කාලයත් එක්ක බැටරියේ ධාරිතාව අඩු වීම පාඩුවක් විදිහට දරාගන්න පරිශීලකයාට සිද්ධ වෙනවා. ඒත් මේ Framework ලැප්ටොප් එකේ බැටරිය පහසුවෙන් ම ඕනෑම කෙනකු ට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ. ලැප්ටොප් එකේ සිහින් සහ ආකර්ශනීය පෙනුමත් රැකගෙන මේ වගේ අලුත්වැඩියා කිරීමේ පහසුව සලසන එකම ලැප්ටොප් පරිගණකය මෙය වන්නට පුළුවන්.

framework laptop
ආකර්ශණිය පෙනුමක් ඇති Framework ලැප්ටොප් පරිගණකය – notebookcheck.net

Framework පරිගණකයේ තිරය

සාමාන්‍ය ලැප්ටොප් පරිගණකවල තිරය මාරු කරන්න නම් එය වටේ තියෙන Bezel කොටස උණුසුම් කර සෙමින් ගැලවිය යුතුයි. ඒවා බොහෝ විට මුද්‍රා සහිත ව සවි කරලා තිබීම මිට හේතුවෙනවා. Heat gun එකක් ඇතුළු උපකරණ කීපයක් මේ වැඩේට අවශ්‍ය වෙනවා. එහෙම තිබුණත් ඒවා ගැලවීම ගැන දැනුමක් තියෙන අයකුට මිසක් සාමාන්‍ය කෙනකුට තිරය මාරු කරගන්න වැඩේ කරන්න අමාරුයි. ඒත් Framework ලැප්ටොප් පරිගණකයේ Bezel එක ගැලවීමට කිසිදු උපකරණයක් භාවිත නොකර අතෙන් කුඩා බලයක් යෙදීම ප්‍රමාණවත්.  එය සවිවෙලා තියෙන්නේ කාන්දම්වලින් පමණක් වීම නිසා. ප්ලාස්ටික්වලින් නිර්මාණය කරලා තියෙන මේ Bezel එක සඳහා නුදුරේදී ම වෙනත් වර්ණ විකල්ප ඉදිරිපත් කරන්නත් Framework සමාගම බලාපොරොත්තුවෙන් සිටිනවා. එතකොට පරිශීලකයාගේ අභිමතය පරිදි තමන් කැමති වර්ණයකින් ලැප්ටොප් පරිගණකයේ පෙනුමත් සකස් කරගත හැකිවනු ඇති.

removable bezel
Bezel කොටස ගලවා මාරු කිරීමට හැකියි – community.frame.work

Bezel එක ඉවත් කළාට පස්සේ ඉස්කුරුප්පු ඇණ කීපයක් ගැලවීමෙන් පමණක් ඉතා පහසුවෙන් ලැප්ටොප් තිර පැනලය ගලවා ගත හැකියි. මේ තිරය අඟල් 13.5 ක 3:2 දර්ශනානුපාතයක් (Aspect ratio) එකක් සහිත 2256 x 1504 විභේදනයක පැනලයක් වනවා. Framework සමාගම දැනට නිර්මාණය කරන්නේ ඉහත හැකියාවන් සහිත තිර පැනලයක් පමණක් වුණත් ඉදිරියේදී ස්පර්ශ සංවේදක පහසුකම හෝ 4K වැනි ඉහළ විභේදනයක් ඇති තිර පැනල හඳුන්වා දීමටත් ඔවුන් සැලසුම් කරනවා. එතකොට මේ පරිගණකය මිලදී ගත් කෙනකුට අනාගතයේදී වැඩි දියුණු කළ තිරයක් තම ලැප්ටොප් පරිගණකයට යොදවන්න අවශ්‍ය නම් එය පහසුවෙන් ම කරගන්න හැකියාව ලැබෙනවා.

මොඩියුලර් උපකරණ නිෂ්පාදනයේ අභියෝගය

සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක් නිර්මාණයේදී අලුත්වැඩියා කිරීමේ පහසුව හෝ වැඩි දියුණු කිරීමේ පහසුව ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. නිෂ්පාදන වියදම මේ නිසා බොහෝ සෙයින් අඩුවෙනවා. ඒත් මොඩියුලර් ක්‍රමයට නිෂ්පාදනය කරන ලැප්ටොප් පරිගණක හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණවලට සාමාන්‍ය උපකරණයට වැයවන වියදමට වඩා අමතර වියදමක් දැරීමට නිෂ්පාදකයාට සිදුවෙනවා. මෙම මුදල පරිශීලකයගෙන් අය කරගැනීමට සිදුවීම නිසා මොඩියුලර් උපකරණවල මිල ඉහළ යනවා.

මොඩියුලර් තාක්ෂණය ගැන විශාල කැමැත්තක් හා උනන්දුවක් ඇති පරිශීලකයන් විතරක් පමණයි වැඩි මුදලක් ගෙවලා මොඩියුලර් උපකරණ මිලදී ගන්නේ. අන්තිමේදී ලාභයක් ඉපයීමට නොහැකි වීමෙන් මෙවැනි ව්‍යාපෘති අතහැර දැමෙනවා. Motorola සමාගමේ Moto mod ව්‍යාපෘතිය සහ Dell සමාගමේ Alienware Area 51 පරිගණක ව්‍යාපෘතිවලට සිදුවුණේ මේ ඉරණමයි. ඒත් Framework සමාගම ආරම්භ වෙන්නෙ ම මොඩියුලර් ලැප්ටොප් කර්මාන්තය මත ඉඳලා නිසා ඔවුන්ගේ නිෂ්පාදනවල දියුණුව ගැන වැඩි විශ්වාසයක් තබන්න පුළුවන් බවයි බොහෝ විචාරකයන් පවසන්නේ.

framework laptop parts
Framework පරිගණකය කොටස් වලට වෙන් කළ හැකි ආකාරය – pcmag.com

Framework ලැප්ටොප් පරිගණකයේ GPU එක ගැලවීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීම කරන්නට හැකියාවක් නැහැ. මොකද එය Intel ප්‍රොසෙසරයේම අඩංගු inbuilt එකක් නිසා. එම හැකියාව එකතු කරන්න Framework පරිගණකය තව බොහෝ දුර යා යුතුයි. අද වෙද්දී කිසිම GPU නිෂ්පාදන සමාගමක් ලැප්ටොප් පරිගණක තුළට සවි කරන්න හෝ ගලවන්න හැකි විදිහට GPU තව ම නිපදවන්නේ නැහැ. මේ නිසා දැනට නිකුත්වෙන Framework ලැප්ටොප් පරිගණකයේ ප්‍රොසෙසරය සතු හැකියාවත් තව වසර කීපයකින් යල් පැන ගිය එකක් බවට පත්වෙනවා.

plug and play වර්ගයේ GPU

ඒත් GPU නිෂ්පාදන සමාගම් පවා නුදුරේදී ම කුඩා ප්‍රමාණයේ plug and play වර්ගයේ GPU නිපදවන්න යොමු කරවන්න Framework වගේ සමාගම්වල මොඩියුලර් නිෂ්පාදන හේතුවෙනවා. එවැනි GPU නිර්මාණය වුණොත් ලැප්ටොප් පරිගණක කීපයක් අතර හුවමාරු කර භාවිත කරන්න අපිට එක Graphic card එකක් පමණක් මිල දී ගැනීම ප්‍රමාණවත් වේවි.

Framework සමාගමේ මේ උත්සාහය තවත් සාර්ථක වුණෝතින් අනාගතයේදී අපිට එකම ලැප්ටොප් චැසියක් අවශ්‍ය වැඩි දියුණු කිරීම් සහ අලුත්වැඩියා කිරීම් කරලා බොහෝ කාලයක් තබාගන්න පුළුවන් වේවි. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැටලුවත් වසරෙන් වසර එන අලුත් තාක්ෂණය එක්ක අධික මුදලක් වැය කරලා අලුත් ම ලැප්ටොප් එකකට මාරු වීමට අවශ්‍ය වීමේ ගැටලුවත් විසඳන්න මේ අයට හැකිවේවි.

 කවරයේ පින්තූරය - Framework ලැප්ටොප් පරිගණකය - allaboutwindowsphone.com

තොරතුරු -

frame.work

theverge.com

engadget.com

fairphone.com

futurefive.co.nz

 whatis.techtarget.com  

Related Articles