Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Microsoft සමාගමේ නවතම අඟල් 10ක Surface Go ටැබ්ලට් එක

මයික්‍රොසොෆ්ට් Surface පරිගණක පවුලේ තවත් සාමාජිකයෙක් වන Surface Go නිෂ්පාදනය පසුගියදා එළිදැක්වුණා. පරිගණකයකටත් වඩා ටැබ් එකක් වශයෙන් එය කරළියට පිවිසෙන්නේ දැරිය හැකි මිලකට ද හිමිකම් කියමින්. විශේෂාංග රැසක් සමඟින් අනෙකුත් ටැබ් පරිගණකවලට ද අභියෝගයක් වන්නට එය සමත් වෙනවා. දැනට පෙර-ඇණවුම් සඳහා විවෘතව ඇති එය අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට නියමිතයි.

බාහිර පෙනුම

microsoft.com

මැග්නීසියම්වලින් නිර්මිත රිදී පැහැති බාහිරාවරණයකින් සකසා ඇති Surface Go ටැබ් එකට ඉහළ මිල පරිගණකයක පෙනුම තිබෙනවා. සාමාන්‍ය ටැබ් එකක පෙනුමට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි පසුපසට සබඳා ඇති stand එකයි. අංශක 165ක් දක්වා පහසු ආනතියකට ටැබ් එක රඳවා ගන්නට එය පහසුකම් සපයන නිසා කලා කටයුතුවලට මෙන්ම කියවීම් වැනි දෑ කරන්නට ද මහත් පහසුවක් ගෙන දෙනවා. එම රැඳවුමෙහි මයික්‍රොසොෆ්ට් ලාංඡනය ඇතුලත් කර තිබෙනවා. ඊට අමතරව පසුපස කැමරාවක් සහ මයික්‍රොෆෝනයක් ද තිබෙනවා. එම ප්‍රදේශය තද රිදී/අළු පැහැයකින් වර්ණ ගන්වා ඇත්තේ ඊට ඉහළ ඇති දාරය ද සමඟයි. එම දාරයේ සාමාන්‍ය ටැබ් එකක මෙන්ම power බොත්තම සමඟ volume බොත්තම් අඩංගු කර තිබෙනවා. පෙර ආ Surface Pro එකට වඩා මෙහි දාර රවුම් හැඩයක් ගන්නවා. තිරය වඩා දාරය ද සැලකිය යුතු තරම් මහතින් යුතු නමුත් ටැබ් එක අතේ තබාගෙන පාවිච්චි කරද්දී එය පහසුවක් වශයෙන් සලකන්නටත් පුළුවන්.

digitaltrends.com

USB Type-C පෝට් එකක් මෙහි අඩංගු වන අතර ඉන් ටැබ් එක චාර්ජ් කරන්නට, වීඩියෝ සහ වෙනත් ගොනු බාහිර උපාංගයකට ප්‍රතිදානය කරන්නට යොදා ගත හැකියි. බොහෝ උපාංගවලින් ඉවත් කරමින් යන 3.5mm audio jack එක ද මෙහි අන්තර්ගත කර තිබෙනවා. microSDXC card reader ද ඒ සමඟ තිබෙන නිසා අභ්‍යන්තර ධාරිතාවය (Internal Storage) වැඩි කරගත හැකියි. Surface Connect නමැති මයික්‍රොසොෆ්ට් සමාගමේ විශේෂිත පෝට් එක ද මෙයට සබඳා චාර්ජ් කරන්නට පුළුවන්. එවිට පැය දෙකකින් සම්පූර්ණ ආරෝපණයක් වේගවත්ව ලබාගත හැකි වෙනවා.

තිරය

arstechnica.net

අඟල් 10ක මයික්‍රොසොෆ්ට් සමාගමේ PixelSense හාඩ්වෙයා තාක්ෂණයෙන් යුත් Display එකක් Surface Go ටැබ් එකෙහි අන්තර්ගත වෙනවා. තිර විභේදනය (Resolution) 1800×1200 වන අතර අඟලකට ඇති පික්සල් ප්‍රමාණය (ppi අගය) 217ක් වෙනවා. සාම්ප්‍රදායික 16:9 ටැබ් එකකට වඩා 3:2 අනුපාතයෙන් (aspect ratio) යුත් නිසා තිරස් අතට පාවිච්චි කිරීම පහසුයි. Windows 10 මෙහෙයුම් පද්ධතිය සමඟ තිරය දෙකට බෙදන split-screen සහ වරකට ඇප්ස් කිහිපයක් පාවිච්චි කළ හැකි multitasking විශේෂාංග ගෙන එන නිසා කාර්යක්ෂමතාව උපරිම කරගත හැකියි.

පැහැදිලි දසුන් ගෙන එන 1500:1ක Contrast ratio මෙය සතුයි. ඇඟිලි දහයක් දක්වා සහාය වන බහු ස්පර්ශ තිරයක් වන මෙයට, $99කට (රුපියල් 15,700ක් පමණ මිලකට) වෙනම මිලදී ගත හැකි Surface Pen එක භාවිතයෙන් ද කලා කටයුතු කරන්නට පුළුවන්. තිරය Corning Gorilla Glass 3 වීදුරුවකින් ආරක්ෂණය කර තිබෙනවා.

මෙහෙයුම් පද්ධතිය

techcrunch.com

නවතම වින්ඩෝස් 10 ස්ථාපිතව එන මෙහි S mode නමින් විශේෂිත ආකාරයකටයි පෙරනිමියෙන් ලැබෙන්නේ. එම ක්‍රමවේදයට අනුව, Microsoft Store එකෙන් පමණක් ඇප්ස් ස්ථාපනය කරගන්න පුළුවන්. අන්තර්ජාලයට පිවිසීමට Microsoft Edge වෙබ් බ්‍රවුසරයත්, Bing සෙවුම් යන්ත්‍රයත් පමණක් භාවිතා කරන්නට ලැබෙනවා. මෙය හරහා ඔවුන් පෙන්වා දෙන්නේ එලෙස පාවිච්චි කිරීමෙන් කිසිදු malware එකක් පද්ධතියට ඇතුල්වීමට ඇති අවදානම අඩු බවයි. ඒ අතරේ ඔවුන් තමන්ගේ නිෂ්පාදන අපට බලෙන් පාවිච්චි කරවන බවයි අපේ හැඟීම. කොහොම නමුත්, S mode එකෙන් තොරව ටැබ් එක පාවිච්චි කරන්නට ද ඔවුන් අවස්ථාව සලසා තිබෙනවා. එහෙත් එය ස්ථිර තෝරාගැනීමක් බවට පත්වන අතර නැවත S mode එකට පිවිසීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ සමඟ Microsoft Office 365 Home ලැබෙන්නේ දින 30ක trial එකක් වශයෙන් නිසා අවශ්‍ය නම් එය ද වෙනම මිලදී ගන්නට සිදු වෙනවා.

අනෙකුත් විශේෂාංග

microsoft.com

මෙහි ඇති ප්‍රොසෙසරය Dual core 7th gen වන Intel සමාගමේ Pentium Gold 4415Y මාදිලිය තෝරා ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර ඇත්තේ අඩු බැටරි බල භාවිතයකින් වැඩි ක්‍රියාකාරී හැකියාවක් ලබා දෙන්නට සහ ෆෑන් එකක් නොමැතිව උෂ්ණත්ව පාලනය කරන්නට තුනී ඉඩකඩකින් ම හැකියාව ලැබෙන සේ එය සැලසුම් කොට ඇති නිසායි. එයට පැය 9ක බැටරි ආයු කාලයක් තිබෙනවා.

මාදිලි දෙකකින්

Internal Storage එක ලෙස ගිගාබයිට් 64ක eMMC ධාරිතාවක් (SSD වලට වඩා වේගය අඩු, බහුතරයක් දුරකතන/ටැබ්වල දකින්න ලැබෙන මිල අඩු ධාරිතා ක්‍රමයක්) හෝ ගිගාබයිට් 128ක SSD එකක් සහිතව මාදිලි දෙකකින් මෙය නිකුත් වෙනවා. 64GB මාදිලියට 4GB රැම් එකකුත්, 128GB එකට 8GB රැම් එකකුත් ලැබෙනවා. දැනට WiFi පමණක් ඇති මාදිලියකුත් පසුකාලීනව LTE සහිත (සිම්පත් දැමිය හැකි) මාදිලියක් නිකුත් කරන්නටයි ඔවුන් සැලසුම් කරන්නේ.

කැමරාව

Skype HD (1080p) වීඩියෝ සමඟ ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 5.0කින් යුතු අතර එය භාවිතයෙන් face recognition ආරක්ෂාව Windows Hello තාක්ෂණය සමඟ ලැබෙනවා. පසුපස කැමරාවේ autofocus තිබෙනවා. එහි මෙගා පික්සල් අගය 8.0ක් වන අතර 1080p HD video ලබාගන්නටත් පුළුවන්. තනි මයික්‍රොෆෝන සැකැස්මක් මෙහි දකින්නට ලැබෙනවා.

වැඩිපුර එක් කරගත හැකි උපාංග

starkinsider.com

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මේ ටැබ් එක වෙනුවෙන් ම ට්‍රැක්පෑඩ් එක ද පෙරට වඩා විශාල කරන ලද කීබෝඩ් එකක් නිපදවා තිබෙනවා. Type cover ලෙස එය හඳුන්වන අතර scissor key යාන්ත්‍රණය එහි යොදා ඇති නිසා සාමාන්‍ය ලැප්ටොප් එකක ටයිප් කරන්නාක් මෙන් ඉහළ අත්දැකීමක් ඉන් ලබා ගත හැකියි. කළු පැහැ කවරයක් වෙනම $100කට (රුපියල් 16,000කට පමණ) මිලදී ගත යුතු වෙනවා. වර්ණ සහිත කවර රතු, Platinum (රිදී), Burgundy (රතු-දුඹුරු) සහ Alcantara අමුද්‍රව්‍යයෙන් හැදූ කොබෝල්ට් නිල් පැහැයෙන් ද ඇති අතර ඒවා $130 (රුපියල් 20,700ක්) පමණ වෙනවා. Surface Proහි දකින්නට ලැබුණු Surface Dial උපාංගය ද තිරය මත නොතබා වුව පාවිච්චි කරන්නට හැකියාව තිබෙන අතර එය ද $100ක් (රුපියල් 16, 000ක්) පමණ වෙනවා.

ඒ අනුව බලන කල විවිධ අනවශ්‍ය බාහිර උපාංග අතහැර හුදෙක් උපාංගය පමණක් අවශ්‍ය කෙනෙක්ට මෙම ක්‍රමය හරහා වාසියක් සැලසෙන නමුත් බාහිර උපාංගවල මිල වැඩි බව ඒවා ද අවශ්‍ය කෙනෙක්ට අවාසියක් බවට පත් වෙන්නට පුළුවන්. ටැබ් එකේ 64GB මාදිලිය $400 (රු. 63,700) පමණ මිලකටත්, 128GB මාදිලිය $550 (රු. 87,500) පමණ අගයකටත් පෙර ඇණවුම් සඳහා මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

කවරයේ ඡායාරූපය: vox-cdn.com

Related Articles