Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මීළඟ Apple Event එකේ දී එළිදකින නව Apple මෙවලම්

හැම වසරක ම වගේ මේ අවුරුද්දෙත් අලුත් iPhone එකක් එක්ක අලුත් ම අලුත් ඇපල් උපාංග කිහිපයක් ම එළි දක්වන්නට ඇපල් සමාගම සූදානම් වෙනවා. නව තාක්ෂණය සමඟ එන මේ උපාංගවල මිල ගණන් අහස උසට නැග තිබුණත් මීළඟ ඇපල් ඉවෙන්ට් එක ගැන, ඒවා හොයන අයට තියෙන උනන්දුව නම් කලින් වසරවල වගේ ම යි.

2022 වසරේ නව iPhone දුරකථනය නිකුත්වන ඇපල් ඉවෙන්ට් එක පැවැත්වෙන්නේ සැප්තැම්බර් 7 වැනිදා යි. 2020 වසරේ දී කොවිඩ් වසංගතය නිසා මිසක අනෙක් සෑම වසරකම නව iPhone දුරකථනය එළි දක්වා තිබෙන්නේ සැප්තැම්බර් 7 – 12 දින අතර දිනයක දී වීම විශේෂත්වයක් වනවා. මෙහි දී එළි දකින නව ඇපල් උපාංග සහ ඒවායේ විශේෂත්වයන් මොනවාද යන්න පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

Pro නොවන iPhone Max  එකක්?

සෑම වසරක ම අලුත් iPhone එකක් නිකුත් වීම සුපුරුදු දෙයක් වුණත් මෙවර iPhone දුරකථන පෙළට සුළු වෙනසක් කරන්න ඇපල් සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ iPhone Mini වෙනුවට iPhone 14 Max නමින් නව දුරකථනයක් හඳුන්වා දෙමිනුයි. iPhone 13 Mini දුරකථනය පසුගිය වසරේ දී බොහෝ දෙනා කතාබහ කළ හුරුබුහුටි දුරකථනයක් වුණත් එහි එතරම් මිලදී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වූයේ නැහැ.

iPhone Pro Max දුරකථනයක් මිල දී ගැනීමට මූල්‍යමය අපහසුකම් ඇති ඒත් සාමාන්‍ය iPhone එකකට වඩා විශාල තිරයක් සහිත දුරකථනයක් අවශ්‍ය ප්‍රජාව, iPhone Mini වැනි කුඩා තිරයක් සහිත දුරකථනයක් අවශ්‍ය ප්‍රජාවට වඩා වැඩි බව ඇපල් සමාගම අවබෝධ කර ගෙන තිබෙනවා. ඒ අනුවයි මේ වසරේ දී iPhone 14 දුරකථනය තිර ප්‍රමාණ දෙකකින් නිකුත් වන්නේ.

iPhone 14 දුරකථන පෙළ සඳහා නිකුත් වී ඇති තිර ආරක්ෂණ – www.specdecoder.com

iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro සහ iPhone 14 Pro Max යන නව iPhone දුරකථන සතර සැපතැම්බර් අගදී වෙළඳපළට නිකුත් වේවි. iPhone 14 සහ iPhone 14 Max දුරකථන ප්‍රමාණයෙන් පමණක් එකිනෙකට වෙනස් වන අතර ඒවායේ තිර අඟල් 6.1ක් සහ අඟල් 6.7ක් බැගින් වනු ඇති. ඇපල් සමාගමේ ProMotion තාක්ෂණය හෙවත් 120Hz කRefresh Rate එක තවදුරටත් iPhone Pro මාදිලි සඳහා පමණක් පවතින විශේෂාංගයක් වනවා. එසේම iPhone 14 සහ 14 Maxවල Notch එකෙහි ප්‍රමාණයේ ද වෙනසක් සිදු වන්නේ නැහැ. එනම් iPhone 13 දුරකථනයේ තිරය එලෙසින් ම ප්‍රමාණ දෙකකින් iPhone 14 සහ iPhone 14 Max දුරකථන ද්විත්වය සඳහා යොදා ගැනෙන බව සරල ව ම කිව හැකි යි.

A15 Bionic ප්‍රොසෙසරය

මෙවර Pro නොවන iPhone මාදිලි සඳහා ඇපල් සමාගම පසුගිය වසරේ A15 Bionic ප්‍රොසෙසරය ම භාවිත කිරීමට යන බව මේ වන විට බොහෝ පුවත් වාර්තා කරනවා. මෙයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගත අවධියේ සිට ලොව පුරා තවමත් පවතින ප්‍රොසෙසර නිෂ්පාදන හිඟය (Chip Shortage) යි.

Pro නොවන iPhone මාදිලි සඳහා පසුගිය වසරේනිකුත් වූ A15 චිපයේ CPU Core 6 ක් සහ GPU Core 4ක් අඩංගු යි. නමුත් එම වසරේ ම iPhone Pro මාදිලි සඳහා වැඩිපුර GPU Core 1ක් අන්තර්ගත කර තිබූ අතර RAM ධාරිතාව ද Pro නොවන මාදිලි හා සැසඳීමේ දී 2GBවලින් වැඩි කර තිබුණා. මේ ඔස්සේ අදහස් පළ කරන විචාරකයන් පවසන්නේ iPhone 14 සහ iPhone 14 Max දුරකථන සඳහා iPhone 13 Pro හි භාවිත කළ GPU Core 5කින් සමන්විත චිපයත් 6GB RAM ධාරිතාවක් ද අන්තර්ගත කරනු ඇති බව යි.

iPhone 13 දුරකථනයක් –  www.tomsguide.com

හොඳ ම දේවල් ටික iPhone Proවලට

පෙනුම, තිරය, කැමරාව සහ ප්‍රොසෙසරය පවා Pro නොවන iPhone මාදිලි සඳහා කිසිදු වෙනසක් සිදු නොවෙද්දී iPhone 14 Pro සහ iPhone 14 Max හි ඒ සියල්ල වෙනස් වනවා. පෙනුම අතින් ගත් කල iPhone 13 Pro දුරකථනයට වඩා නව iPhone 14 Pro දුරකථනයේ ඝනකම ඉතාම සුළු ප්‍රමාණයකින් වැඩි වනු ඇති බව වාර්තා වනවා.

එයට Notch එක වෙනුවට කුඩා දිගටි බෙහෙත් පෙත්තක ආකාරයට (Pill shape) තිරය මත ඇති සිදුරකට Face ID සඳහා අවශ්‍ය වන උපාංග ඇතුළත් කිරීමට නියමිත යි. Selfie කැමරාව සඳහා වෙන ම කුඩා සිදුරක් නව Pro දුරකථනවල අඩංගු වනවා. Screen Protectors සහ Cases නිපදවන සමාගම් සඳහා දුරකථනය නිකුත් කිරීමට පෙර ලබා දෙන මොඩල මඟින් ඉහත කරුණු ද්විත්වය තහවුරු වී තිබෙනවා.

Notch එක රහිත iPhone 14 Pro හි නව පෙනුම දකුණුපසින් දිස්වේ – 9to5mac.com

Pro motion තාක්ෂණය මෙවර තවදුරටත් වැඩි දියුණු වනු ඇති බවට ද වාර්තා පළ වනවා. දැනට iPhone Pro මාදිලියේ දුරකථනවල Refresh Rate එකේ විචලනය වීම 10Hz සිට 120Hz දක්වායි පවතින්නේ. එමඟින් තිරය ස්පර්ශ නොකරන අවසථාවේ දී Refresh අගය 10Hz දක්වාත් වීඩියෝ නැරඹීමේ දී වීඩියෝවේ fps (24, 30 හෝ 60 ආදි) අගයට සමාන වන ලෙසත් වෙනස් කරමිනු යි. මෙය බැටරි බලය වැයවීම අවම කිරීමට ප්‍රයෝජනවත් වනවා. මෙවර එය 1Hz දක්වා පහළ අගයක සිට120Hz දක්වා විචලනය වනු ඇතැයි සඳහන්. එමගින් iOS 16 මෙහෙයුම් පද්ධතිය හරහා අලුතින් පැමිණීමට නියමිත Always On Display පහසුකම නිසා අමතර ව වැයවිය හැකි බැටරි බලය ද ඉතිරි කර දීම සිදුවනු ඇතැයි පැවසෙනවා.

iPhone Pro සඳහා නව කැමරාවක්

iPhone Pro සඳහා නව කැමරාවක් ඇතුළත් කිරීමට ද ඇපල් සමාගම කටයුතු කරනු ඇතැයි වාර්තා පළවනවා. 2015 සිට 2021 දක්වා ඇපල් සමාගම සිය දුරකථනවල පිටුපස මූලික කැමරාව ලෙස භාවිත කළේ 12MP සෙන්සරයක්. මෙය වසරෙන් වසර වැඩි දියුණු වුවත් එහි Megapixel අගය නම් වෙනසක් වූයේ නැහැ. මෙවර එය 48MP දක්වා ඉහළ දැමීමට ඇපල් සමාගම සූදානම් වනවා.

8K වීඩියෝ රූපගත කිරීම සඳහා කැමරාවක තිබිය යුතු අවම Megapixel අගය වන 33.2MP ප්‍රමාණය ඒ අනුව ඉක්මවා යන නිසා iPhone 14 Pro දුරකථනවලින් පළමු වරට 8K වීඩියෝ රූපගත කිරීමේ පහසුකම සැලසෙනු ඇතැයි වර්තා පළ වනවා. නව කැමරාවට ඉඩ ලබා ගැනීම වෙනුවෙන් iPhone 14 Pro දුරකථනය පිටුපස Camera Bump එක ද සුළු වශයෙන් වැඩි වනු ඇති බවත් සඳහන්.

iPhone 14 Pro දුරකථනයේ Camera Bump එකේ ප්‍රමාණය සැසඳීමක් – getarticlestoday.com

iPhone Pro සහ Pro Max දුරකථනවල පසුගිය වසරේ මිල ගණන් ආරම්භ වූයේ පිළිවෙළින් $999 සහ $1099 යන අගයන්වල සිට යි. මෙවර ඒවා $1099 සහ $1199 සිට ආරම්භ වනු ඇති බවට බොහෝ වාර්තා පළ වනවා. iPhone 14 හි මිල iPhone 13හි මිල වන $799 ම වනු ඇති බවත්, iPhone 14 Max හි මිල $899 වනු ඇති බවත් විශ්වාස කෙරෙනවා. iPhone 14 Max දුරකථනය මේ වසරේ දී වැඩියෙන් ම අලෙවි වන iPhone දුරකථනය බවට පත්වෙනු ඇතැයි යන්න විචාරකයන්ගේ මතය යි.

අලුත්වන Apple Watch සහ AirPods

මෙවර සැප්තැමබර් ඇපල් Event හි දී ම Apple Watch Series 8 ස්මාර්ට් අත් ඔරලෝසු පෙළ හඳුන්වා දීමට ඇපල් සමාගම සැරසෙනවා. Standard සහ SE මාදිලි ද්විත්වයට අමතර ව නව Pro මාදිලියක් අලුතින් ම එළිදකිනු ඇතැයි Bloomberg අඩවියවාර්තා කර තිබුණා. Apple Watch Series 8 සහ Apple Watch Series 8 SE මාදිලි ඒවායේ 7 වන පරම්පරාවේ ස්මාර්ට් අත් ඔරලෝසුවලට පෙනුමින් සමාන වනු ඇති. නමුත් Apple Watch Series 8 Pro හි තිරය සාමාන්‍ය 45mm Series 7 ඔරලෝසුවට වඩා 7%  කින් විශාලත්වයෙන් වැඩි බවයි වාර්තා වන්නේ.

Apple Watch Series 8 හි Pro මාදිලිය පැතලි තිරයක් සහ පැතලි පැතිවලින් සමන්විත යැයි උපකල්පනය කර සිදු කළ ග්‍රැෆික් ඡායාරූපයක් – appleinsider.com

ඇපල් ඔරලෝසුවට සාමාන්‍යයෙන් තිබෙන්නේ හතරැස් නමුත් වටකුරු හැඩයක්. මෙය Squircle ලෙසත් හඳුන්වනවා. නව Pro ඔරලෝසුව සඳහා පැතලි පැති (iPhone සහ iPadවල දැනට පවතින ආකරයට) සහ පැතලි තිරයක් හඳුන්වා දෙනු ඇතැයි මත පළ වූව ද පසුගියදා අනාවරණය වූ ඡායාරූපවලට අනුව එම කරුණ බැහැර කළ හැකි බව යි පැවසෙන්නේ. නමුත් මෙය 100%ක් තහවුරු වී නැහැ. ඇතැම්විට පැතලි තිරයක් පමණක් හෝ නව Pro මාදිලියේ Apple Watch සමඟ පැමිණෙනු ඇතැයි විශ්වාසකළ හැකි යි. Apple Watch Series 8 Pro හි පෙනුම සම්බන්ධ ව දැනට තහවුරු කළ හැකි එක ම කරුණ වන්නේ එය වඩා සවිශක්තියෙන් යුත් වැඩි දියුණු කළ ටයිටේනියම් මූලද්‍රව්‍යයකින් නිමවා ඇති බව යි. Apple Watch Series 7 හි ඉහළ පෙළේ ඔරලෝසු නිපදවීම සඳහා ටයිටේනියම් යොදා ගැනුණත් Series 8 ඊටත් වඩා සවිශක්තිමත් බව වාර්තා වනවා.

Health Tracking සඳහා Apple Watch Series 8 හි ශරීර උෂ්ණත්වය මැනීමේ සංවේදකයක් සවිකර තිබෙනවා. මෙමගින් ශරීරයේ යම් මොහොතක පවතින උෂ්ණත්වය නිශ්චිත අගයක් ලෙස ප්‍රකාශ කළ නොහැකි නමුත් උෂ්ණත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වුවහොත් ඒ බව දැනුම් දීමට මෙයට හැකියාව තිබෙනවා. Apple Watch Series 8 Pro සඳහා අමතර fitness සහ health tracking පහසුකම් ලබා දෙනු ඇතැයි ද සඳහන්. මක් නිසා ද ඇපල් සමාගම Pro මාදිලිය නිකුත් කරන්නේ Extreme Sports පාදක කර ගෙන වීම යි. Apple Watch Series 8 ක්‍රියාකරවීම සඳහා ඇපල් සමාගමේ නව S8 චිපය අඩංගු වනු ඇති.

සාමාන්‍ය Apple Watch Series 8 හි පෙනුම Series 7 හි පෙනුම ම වේ – topteknews.net

ඇපල් සමාගමේ නව Airpods Pro 2 ද ලබන මස දී එළිදැක්වෙනු ඇතැයි වාර්තා වනවා. මෙහි හැඩය සහ පෙනුම පළමු පරම්පරාවේ Airpods Pro සමඟ සමපාත වන බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් ඇපල් සමාගමේ H1 ශබ්ද ප්‍රොසෙසරයේ මීළඟ සංස්කරණය Airpods Pro 2 වලට යෙදවෙනු ඇති. මෙය මගින් LC3 Codec සඳහාත් Bluetooth 5.2 සඳහාත් ඉඩලබාදෙනවා. LC3 Codec මගින් AirPodsවල ස්ථායිතාව සහ කාර්යකෂමතාව වැඩි දියුණු කෙරෙනවා. එසේ ම ශබ්ද වලගුණාත්මක බව තවදුරටත් ඉහළ දැමීමටත් Voice Calls සහ ගීත සඳහා වැඩි Bitrate අගයන් ලබා දීමටත් මෙය උපකාරී වනවා.

iPhone සහ iPad මෙහෙයුම් පද්ධතිත් අලුත් වෙයි

iOS 16 සංස්කරණය සැප්තැම්බර් 07 Apple Event එකේ දී හඳුන්වා දීමට නියමිත යි. මෙහි බොහෝ දෙනාගේ සිත් ගත් නව පහසුකම වන්නේ LockScreen එක තමන්ගේ සිතැඟි පරිදි Customize කිරීමේ හැකියාව යි. වේලාව පෙන්වන ඩිජිටල් ඔරලෝසුවේ Font style එක, වර්ණය, පසුබිම් පින්තූරය, ආදිය වෙනස් කිරීමේ හැකියාව, කැමති Widgets කිහිපයක් LockScreen එකට එකතු කිරීමේ හැකියාව, Focus Mode එක අනුව ඉහත සියලු වෙනස් කිරීම් අනුගත කිරීමේ හැකියාව වැනි අංග නව සංස්කරණයෙන් ලබා දෙනවා. පෙර සඳහන් කළාක් මෙන් Always on Display අංගය ද iOS 16 සංස්කරණය හරහා ලබා දීමට නියමිත යි.

iOS 16 සමඟ එන LockScreen එක customize කිරීමේ හැකියාව – apple.com

 Live Text හෙවත් ඡයාරූපවල ඇති වචන text ලෙස පිටපත් කිරීමේ තාක්ෂණය තවදුරටත් වැඩි දියුණු කර තිබෙනවා. නව සංස්කරණයේ දී ඔබට වීඩියෝවක් අතරමැද දී නවතා එහි ඇති වචන text ලෙස පිටපත් කිරීමට ඉදිරියේ දී පිළිවන්. Visual Look up පහසුකම හරහා ඡායාරූපයක subject එක, එනම් එහි පසුබිමෙන් වෙන් ව දිස්වන පුද්ගලයා හෝ වස්තුව කිසිදු ආයාසයකින් තොර ව පහසුවෙන් වෙන් කිරීමේ හැකියාව දැන් පවතිනවා.

iOS 16 සමඟ තෙවන පාර්ශවයක වෙබ් බ්‍රවුසරයක් (Chrome, Firefox වැනි) භාවිත කිරීමේ හැකියාව ද පරිශීලකයාට ලැබෙනවා. මෙය දැනටමත් iOS 16 beta 4 සමඟ නිකුත් කර තිබෙනු දැකිය හැකි යි. iMessagesවල පණිවිඩ edit කිරීමට සහ delete කිරීමට ද නව iOS සංස්කරණය සමඟ පිළිවන්. SharePlay පහසුකම ද iMessages සමඟ ක්‍රියා කළ හැකි නිසා ලිපිගොනු සහ Spreadsheets ආදිය ද හුවමාරු කර ගැනීම සඳහා මින්‍ ඉදිරියට iMessages භාවිත කළ හැකි යි. Apple Pay ඔස්සේ කරන ස්පර්ශයෙන් තොර (Contactless) ගෙවීමක් ලබා ගැනිමට වෙළෙන්දාට මින් ඉදිරියට වෙන ම උපකරණයක් අවශ්‍යවන්නේ නැහැ. ඒ සඳහා ඔවුන් සතුව iPhone එකක් තිබීම ප්‍රමාණවත් වනවා.

iOS 16 හි නව පහසුකම් – apple.com

ඉහත ප්‍රධාන වෙනස්කම්වලට අමතර ව මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂම බව සහ ගුණාත්මක බව වැඩි කිරීම වෙනුවෙන් කළ නව පහසුකම් එකතු කිරීම් සහ වැරදි නිවැරදි කිරීම් ගණනාවක් ම iOS 16 හරහා පරිශීලකයාට ලබා දෙනු ඇති. මෙම නව සංස්කරණය iPhone 8 සහ ඉන්පසු ව නිකුත් වූ iPhone සඳහා බාගත කිරීමේ හැකියාව පවතිනවා.

මෙම වෙනස්කම්වලින් LockScreen customization හැර සෙසු සියලු වෙනස්කම් iPadOS 16 සමඟ ද පැමිණෙනු ඇති. iPadOS 16 සංස්කරණයට සිදුවන ප්‍රධාන ම වෙනස්කම වන්නේ Stage Manager නමින් එන Multitasking පහසුකම යි. මෙමඟින් පරිගණකයකට සමාන ලෙසින් විවෘත කළ ඇප් කිහිපයක් සමඟ එකවර කටයුතු කිරීමේ හැකියාව ලබා දෙනවා. බාහිර තිරයකට iPad එකක් සම්බන්ධ කළ විට මේ දක්වා ලබා දුන්නේ iPad තිරයේ ම අනුපිටපතක් (Duplicate) පමණ යි. නමුත් නව සංස්කරණයෙන් සම්බන්ධ කරන මොනිටරයේ විභේදනයෙන් ම දෙවන තිරයක් ලෙස ක්‍රියා කළ හැකි යි. මෙය iPad පරිශීලකයන් කලක සිට ඉල්ලා සිටි වෙනස්කමක් වනවා.

iPad Pro ටැබ්ලටයක් මොනිටරයකට සම්බන්ධ කර නව Stage Manager පහසුකම මගින් ඇප් කිහිපයක් සමඟ එකවර වැඩකළ හැකි අයුරු – www.macrumors.com

ඉහත පහසුකම් ක්‍රියාකළ හැක්කේ M1 චිපය සහිත iPad සඳහා පමණක් බව ඇපල් සමාගම නිවේදනය කරනවා. එයට හේතුව වන්නේ Stage manager ක්‍රියාකරවීම සඳහා වැඩි ගණන හැකියාවක් ඇති ප්‍රොසෙසරයක් අවශ්‍ය වීම යි. මීට අමතරව හඳුන්වා දෙන අනෙකුත් පහසුකම් සියලු ම iPad Pro මාදිලි සඳහාත් iPad Air තෙවන පරම්පරාව සහ ඉන් පසු මාදිලි සඳහාත්, iPad පස්වන පරම්පරාව සහ ඉන් පසු මාදිලි සඳහාත් iPad mini පස්වන පරම්පරාව සහ ඉන් පසු මාදිලි සඳහාත් බාගත කිරීමේ හැකියාව පවතිනවා. iOS 16 සහ iPadOS 16 සංස්කරණය සමඟ එන සියලු ම පහසුකම් ගැන ඉහත සබැඳි හරහා ඔබට දැනුම්වත් විය හැකි යි.

සැප්තැම්බරයෙන් පසු නිකුත් වන නව මෙවලම්

සැප්තැම්බරයේ පැවැත්වෙන ඇපල් ඉවෙන්ට් එක නිමා වීමෙන් පසු ඔක්තෝම්බර් මාසය ද ඇපල් පරිශීලකයන්ට වැදගත් වනවා. ඒ එම මස අග දී තවත් මෙවලම් කීපයක් නිකුත් වීමට නියමිත නිසා යි. iPad Pro සහ සාමන්‍ය iPad එක සඳහා මීළඟ සංස්කරණ මෙහිදී නිකුත් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.  iPadOS 16 ද මෙහි දී නිකුත් වනු ඇති බවට වාර්තා වනවා. ඒ MacOS හි නවසංස්කරණය වන MacOS Ventura සමඟ යි.

අඟල් 11 සහ 12.9 iPad Pro මාදිලිවලට M2 චිපය හඳුන්වා දීම මෙහිදී අපේක්ෂා කළ හැකි යි. ඊට අමතර ව MagSafe සබඳතාව ද නව iPad සඳහා ලැබෙනු ඇති බවටයි වාර්තා වන්නේ. 10වන පරම්පරාවේ iPad එකෙහි පෙනුම නවීකරණය වනබව මේ වන විට තහවුරු වී තිබෙනවා. එයට ද අනෙකුත් iPad හා සමාන ව ම පැතලි පැති සහිත හැඩයක් පැමිණුනත් තිරයේ ප්‍රමාණය, හෝම් බට්න් එක හෝ Bezelවල ප්‍රමාණය් වෙනසක් සිදුවන්නේ නැහැ. දැනට පවතින මිල ($329) ට වඩා වැඩි මිලකට මෙහි මිල නියම වනු ඇති.

10වන පරම්පරාවේ iPad එකෙහි නව පෙනුම දැක්වෙන ග්‍රැෆික් ඡායාරූපයක් – hungary.postsen.com

M2 චිපය ඇපල් සමාගම තවමත් අන්තර්ගත කර තිබෙන්නේ MacBook Air සහ 13 inch MacBook Pro තුළ පමණ යි. ඉදිරියේදී ඔවුන්ගේ සියලුම පරිගණක M2 චිපය සමඟ යාවත්කාලීන කෙරෙනු ඇති. මේ අතරින් M2 Mac Mini සහ M1 Ultra Mac Pro පරිගණක ඔක්තෝම්බරයේ දී නිකුත් වනු ඇතැයි මත පළ වනවා. කෙසේවෙතත් M2 Pro සහ M2 Max චිප ගැන තවමත් සඳහනක් නොමැති නිසා ඒවා ඇතුළත් කෙරෙන 14 inch සහ 16 inch MacBook Pro මාදිලි ද M2 Mac Studio ද නිකුත් කිරීම ලබන වසරේ දී සිදුවනු ඇති.

කවරයේ ඡායාරූපය - www.forbes.com

www.Apple.com

9to5mac.com

www.macrumors.com

www.tomsguide.com

www.trustedreviews.com

www.digitaltrends.com

Related Articles